ඡායාරුප ගැලරියේවිශේෂාංග

කාබනික වගාවෙන් සරු පල ලබන රජයේ සේවකයෝ

නවීන පන්නයේ රසායනික කෘෂිකර්මයත් සමඟ අපේ රටේ පාරම්පාරික වී ගොවිතැන ටිකෙන් ටික වඳ වී යමින් තිබේ. 1960 හරිත විප්ලවයෙන් පසු අපේ ගොවියෝද රට පොහොරවලට හා රට බෙහෙත්වලට හුරු වූහ. රසායනික පොහොර හා රසායනික පළිබෝධනාශක වර්ග ඇති පදම් භාවිත කොට සහල් හා එළවළු නිෂ්පාදනය කිරීමට අපේ ගොවීහු පෙළඹුණහ. මේ නිසා නවීන සහලින් පිසූ නීරස බත් ගිල දැමීමට අපේ ඇත්තන්ට සිදුවිය. රට පොහොර හා රට තෙල් භාවිත නොකොට දේශීය වී වර්ග වගා කොට ඉන් නිපදවන සහල් පිළිබඳව මෙන්ම එම සහල්වලින් පිසූ බත්වල රස ගුණ පවා බොහෝ දෙනෙක් නොදනිති. අතීතයේ දී අපේ පැරුන්නෝ වී ඇතුළු එළවළු බෝග වගා කිරීම සදහා රසායනික පොහොර හා පළිබෝධනාශක වර්ග භාවිත නොකළහ.

පස සාරවත් කර ගැනීම සඳහා ගෙරිකටු හා කාබනික පොහොර භාවිත කෙරිණි. කුඹුරේ වල් මර්දනය සඳහා ජල පාලනය කරනු ලැබිණි. කෘමි හා පළිබෝධ හානි පාලනය කර ගැනීම සඳහා කෙම් ක්‍රම මෙන්ම ස්වභාවික ක්‍රම යොදාගනු ලැබීය. කොටින්ම කිවහොත් අපේ පැරුන්නෝ වස විෂයෙන් තොරව ස්වභාවධර්මයට අනුගත වෙමින් පාරිසරික කෘෂිකර්මයේ නිරත වූහ.

ජනගහනය වැඩිවීමත් සමඟ අපේ බඩ කට පිරවීම සඳහා ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට නව දෙමුහුන් වී වර්ග, දෙමුහුන් එළවළු බීජ හඳුන්වා දීමට කෘෂි විද්‍යාඥයෝ කටයුතු කළහ. අපේ පාරම්පරික ගොවියා නවීන පන්නයේ කෘෂිකර්මාන්තයට හසුවුවත් දේශීය කෘෂිකර්මාන්තය මුළුමනින්ම මිය ගොස් නොතිබිණි. අපේ ඇතැම් ගොවීහු නවීන වී වර්ග වගා කරන අතරතුර දේශීය වී වර්ග ද ටිකෙන් ටික වගා කළහ. එපමණක් නොව ඉපැරණි වගා ක්‍රම මෙන්ම දේශීය බීජ වර්ග රුකගැනීමට ඔවුහු කටයුතු කළහ. හරිත විප්ලවයත් සමඟ නවීන වී වර්ග රටේ වියළි කලාපීය ගොවි ජනපද ව්‍යාපාර ආශ්‍රිතව වේගයෙන් පැතිර ගියේය. එහෙත් තෙත් කලාපය ආශ්‍රිතව නවීන වී වර්ග පැතිර ගියේ අඩුවෙනි. තෙත් කලාපයේ ඇතැම් ගොවීහු පාරම්පරික දේශීය වී වර්ග වගා කිරීම අත් නොහළහ. මේ නිසා දේශීය වී වර්ග රාශියක් ගොවීන් අත ඉබේටම පාහේ සංරක්ෂණය විය.

අදටත් තෙත් කලාපයේ ගොවීහු ටිකෙන් ටික දේශීය වී වර්ග වගා කරති. ගාල්ල දිස්ත්‍රික්කයේ තැනින් තැන කුඩා කණ්ඩායම් වශයෙන් එක් වී දේශීය වී වර්ග වගා කරන ගොවීන් දැකිය හැකිය. රට්ටු මේ දිනවල කාබනික පොහොර නිෂ්පාදනය හා කාබනික ආහාර ගැන වැඩි වශයෙන් කථා කරති. අප මේ කියන්නට යන්නේ කාබනික පොහොර දියර පොහොර පමණක් භාවිත කරමින් පාරම්පරික වී ගොවිතැනට යළි පණදීම සඳහා කටයුතු කරන ගොවීන් පිරිසක් ගැනය. ඔවුන්ගේ අත්දැකීම් අපිට විස්තර කළේ මේ අයුරිනි.

ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචි සමරසිංහලාගේ චන්ද්‍රසේන (63) විශ්‍රාමික ගණිත ගුරුවරයෙකි. මෙකී විශ්‍රාමික ගුරුවරයා පාරිසරික කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අතර අක්කරයක පමණ භුමි භාගයක සුවදැල්, කුරුළුතුඩු, පච්චපෙරුමාල් යන දේශීය වී වර්ග දැනට වසර තුනක සිට වගා කරයි. තවත් අක්කර භාගයක කීර සම්බා වී වර්ගය වගා කොට ඇත. රජය මගින් වස විසෙන් තොර හරිත රටක් යන සංකල්පය යටතේ කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමත් සමඟ චන්ද්‍රසේන ගොවි මහතා දැඩි උනන්දුවකින් යුතුව පාරිසරික ගොවිතැනට යොමුවී ඇත. මේ වන විට ඔහු දේශීය වී වර්ගවලට අමතරව නියර මත කොළ එළවළු, මාළු මිරිස්, වම්බටු, දේශීය කරවිල වර්ග, මඤ්ඤොක්කා ආදී බෝග වගා කොට ඇත. මෙකී විශ්‍රාමික ගුරුවරයාගේ ගෙවත්තේ කාබනික පොහොර නිෂ්පාදන ඒකකයක් ද ස්ථාපිත කොට තිබේ.

“මීට වසර 03ක පෙර මට ඉතා තදින් දියවැඩියා රෝගය තිබුණා. ඒ සමඟ තමයි මා දේශීය වී වර්ග වගා කිරීමට යොමුවුණේ. රජය මගින් කාබනික වගාව සඳහා ප්‍රමුඛතාවය ලබාදීමත් සමඟ මා දැඩි උද්‍යෝගයෙන් යුතුව මේ සදහා යොමුවුණා. කාබනික හා දියර පොහොර භාවිත කරනවා. මීට අමතරව වගාව සඳහා දහයියා අඟුරු, ක්ෂුදුජීව ද්‍රාවණ භාවිත කරනවා. වී වගාවේ අස්වැන්න නෙලාගත් පසු අතරමැදි කාලය තුළ මුංඇට, කවුපි වගා කරනවා. එළවළු බීජ මා විසින්ම හදාගන්නවා. ඒ විතරක් නෙවෙයි, කෘමි හානි සහ පළිබෝධ පාලන කටයුතු සඳහා කෙම් ක්‍රම භාවිත කරනවා. ඇත්තටම පරිසරික කෘෂිකර්මාන්තයේ යෙදීම නිසා ඇතිවන මානසික සතුට ගොඩක් වටිනවා. උදේ පාන්දර කුඹුරට ගොස් පැය කිහිපයක් වැඩ කරනවා. එළවළු වගාවේ ඵලදාව දකින විට මට ඇතිවන සතුට කියලා නිම කරන්න බැහැ. කුඹුරේ නියර මත ගොඩ බෝග වගාව අතරේ කෘමි හානි පාලනය කිරීම සඳහා දාස් මල් වගා කරනවා. ඇත්තටම මගේ දියවැඩියා රෝගී තත්ත්වයත් පාලනය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අමතර ආදායමක් ද ලබාගන්නවා. ලබුදුව ගොවිජන සංවර්ධන ප්‍රදේශීය නිලධාරී කේ.එච්.ජේ. සඳමාලි මහත්මිය හා වසමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී එස්.ඩබ්ලිව්. ගුණවර්ධන මහතා අවශ්‍ය උපදෙස් හා කාබනික පොහොර ලබාදෙමින් නිරතුරුව මා දිරිමත් කරනවා.” යැයි ද චන්ද්‍රසේන මහතා කීවේය.

නිමල් සිල්වා මහතා වසර ගණනාවක් තිස්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන අයෙකි.

“කාබනික ගොවිතැන් කටයුතු කරන විවිධ කණ්ඩායම් ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිටිනවා. ඒ අයත් සමඟ අපි වැඩ කරනවා. පස මැරිලා තියෙන්නේ. මියගිය පස සුවපත් කිරීම සඳහා මෙන්ම ශාකයේ මුල මණ්ඩලයේ වර්ධනය සඳහා ජීව මුත්‍රම් දියර පොහොර යොදනවා. ගව මුත්‍ර යොදාගෙන තමයි ජීව මුත්‍ර හදාගන්නේ. ශාකයේ පෝෂණය සඳහා මාළු ට්‍රෝනික් දියර ද්‍රාවණය යොදාගන්නවා. මත්ස්‍යයන්ගේ අපද්‍රව්‍යවලින් තමයි මෙම දියර පොහොර හදාගන්නේ. වගාවට හදිසි රෝගයක් ආවොත් ගිනි ප්‍රතිකාර ක්‍රමය භාවිත කරනවා. ලබුදුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් වක්වැල්ල ප්‍රදේශයේ අක්කරයක පමණ කුරුළුතුඩ හා මඩතවාලු යන දේශීය වී වගා කරලා තියෙනවා. කුරුළුතුඩ අක්කරයක් පමණ වගා කළා. වී මළු 30ක විතර අස්වැන්නක් නෙලාගත්තා. මඩතවාලුවල එක වී කරලක ඇට 340ක් විතර තියෙනවා. දහයියා අඟුරු, ග්ලිඩිසියා, දමා වී වැපිරීමේ කටයුතු කළා. වී වපුරලා දින 14කින් දියර පොහොර මිශ්‍රණය යෙදුවා. දින 28කින් ජීව මුත්‍රම් දියර පොහොර යෙදීමට කටයුතු කළා. ඇත්තටම චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම ඉතා භයානකයි. ඒ පොහොරවල හානිදායක බැක්ටීරියා තියෙන බව කියනවා. මේ නිසා නැවත වරක් ගොවීන් පොහොර කඩයට ගිහින් කාබනික පොහොර ගන්න කටයුතු කරාවි. ගොවීන්ට කාබනික පොහොර හදාගන්න කීවත් ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කරන්න වැඩපිළිවෙළක් නැහැ. අපි විසින් හදාගත්ත මත්ස්‍ය දියර පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කර ගන්න දින 41ක් ගියා. මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් යෙදිය යුතුයි.” යැයි ද නිමල් ද සිල්වා මහතා කීය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරියකු වන කපිල මහේන්ද්‍ර මෙන්ඩිස් හා තරුණයකු වන එම්. නිශාන්ත ලසන්ත එක්වී ලබුදුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් බාස්වත්ත ප්‍රදේශයේ වසර 30ක් තිස්සේ පුරන්ව පැවති කුඹුරු අක්කර 05ක කාබනික පොහොර පමණක් භාවිත කරමින් වී හා එළවළු බෝග වගා කොට සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබේ. අක්කර 04ක පමණ භූමි ප්‍රමාණයක සම්බා නැමති වී වර්ගය වගා කොට ඇත. අක්කරයක පමණ එළවළු භෝග වගා කොට තිබේ. වගා කටයුතු සඳහා කාබනික පොහොරවලට අමතරව ක්ෂුද්‍රජීවී ද්‍රාවණ, ජීව මුත්‍රම්, මාළු ට්‍රොනික් යන දියර පොහොර වර්ගද භාවිත කොට ඇත. වැඩිදියුණු කළ වී වර්ග සඳහා කාබනික පොහොර හා දියර පොහොර පමණක් භාවිත කරමින් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බවද හෙද නිලධාරී කපිල මහේන්ද්‍ර මෙන්ඩිස් මහතා පවසයි.

&බෝ නොවන රෝග හැදෙන්න ප්‍රධාන හේතුව තමයි අපි ගන්නා ආහාර. ගුණාත්මක ආහාර අපි පරිභෝජනය කරන්නේ ඉතා අඩුවෙන්. එළවළු පළතුරු ඇතුළු වී වර්ග සඳහා රසායනික පොහොර පළිබෝධනාශක යොදනවා. වස විසෙන් තොර ගුණාත්මක ආහාර නිෂ්පාදනය සඳහා යොමුවෙන්න තමයි මට අවශ්‍ය වුණේ. මේ වන විට කාබනික පොහොර හා දියර පොහොර යොදාගෙන බෝංචි, බණ්ඩක්කා, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල, මෑ කරල්, කරවිල යන එළවළු වර්ග අක්කරයක පමණ භුමියක වගා කොට තියෙනවා. මේ දිනවල එළවළු වගාවේ අස්වැන්න නෙලමින් තියෙනවා. මෙම එළවළු සඳහා පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් තියෙනවා. මෙකී එළවළු අස්වැන්නෙන් කොටසක් කරාපිටිය ශික්ෂණ රෝහලේ මුළුතැන්ගෙය සඳහා අලෙවි කිරීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කොට තියෙනවා. රෝහල් සේවකයන්ගෙන්ද එළවළු සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. අපේ ප්‍රධාන අරමුණ තමයි මුදලට වඩා ගුණාත්මක එළවළු හා පළතුරු ටිකක් සහල් ටිකක් පාරිභෝගිකයන්ට ලබාදීම.* බවද හෙද නිලධාරිවරයා කිවේය.

එම්. නිශාන්ත ලසන්ත (40) තරුණයා කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියෙකි. ඔහු සිය අත්දැකම් අප සමග කීවේ මෙසේය.
පුරන්ව පැවති මෙකී කුඹුරු යාය නැවත වගා කිරීමට කටයුතු කළේ. ඒ සඳහා අපි විශාල කැප කිරීමක් කළා. කුකුළු පොහොර, දහයියා අඟුරු යොදාගෙන පස සාරවත් කර ගත්තා. අක්කරයක පමණ එළවළු වගා කරලා තියෙනවා. මීට අමතරව කුරුන්ද ප්‍රදේශය තුළ කාබනික පොහොර පමණක් යොදාගෙන සුවදැල් කුරුළුතුඩ යන දේශීය වී වර්ග හා කොළ වර්ග අපි දෙදෙනා එක්වී වගා කරනවා. වස විස නැතිව සහල් හා එළවළු තමයි අපි පාරිභෝගික ජනතාවට ලබාදිමට කටයුතු කරන්නේ. ඇත්තටම මා මුල් කාලයේ දී කොළ එළවළු වගා කළේ රසායනික පොහොර යොදලා. නමුත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී වයි.එම්.ඒ. චාන්දනී මහත්මියගේ උපදෙස් මත මා දැන් කාබනික වගාව සඳහා සම්පූර්ණයෙන් යොමුවී තිබෙනවා.* නිශාන්ත පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස්. ප්‍රියන්ජන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ලබුදුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී කේ.එච්.ජේ. සඳමාලි මහත්මිය ඇතුළු කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීහු දේශීය වී වගාව තම බල ප්‍රදේශය තුළ ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කරමින් සිටිති. මේ වන විට ලබුදුව ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ ගොවීන් විසින් කාබනික පොහොර මෙට්‍රික් ට්‍රොන් 140ක් නිෂ්පාදනය කොට ඇති බව ලබුදුව ගොවිජන සංවර්ධන ප්‍රදේශීය නිලධාරී කේ.එච්.ජේ. සඳමාලි මහත්මිය සඳහන් කළාය.

(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද – දේශය පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x