ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

විවේකයක් ලැබුණම සෙට් එකේ ඉන්න අය එක්ක ටික් ටොක් කරනවා

සමාජ මාධ්‍ය යනු නිර්මාණකරණයට මෙන්ම කෙනෙකුගේ දක්ෂතා එළියට ගන්නත් හොඳ මෙවලමකි. ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යට අභියෝගයක් වන තරමටම අද සමාජමාධ්‍ය සමාජය වැලඳගනිමින් සිටී. ඇයත් සමාජ මාධ්‍ය තුළ ප්‍රබල ක්‍රියාකාරිනියක්. ඇගේ විහිළුවකට හිනා නොගිය කෙනෙක් නැති තරම්. අදවන විට ඇය තම රංගන කුසලතාවය ටෙලිනාට්‍ය හරහාද ප්‍රේක්ෂක ඔබට පෙන්වමින් සිටී. ඒ සතියේ දිනවල රාත්‍රි 8.00 ට සියත ටීවී ඔස්සේ විකාශය වන රේස් ටෙලිකතාවේ රන්දුලිගේ චරිතයෙනි. කලා ලෝකයට පිවිසෙන තරු කරන අලුත් වෙනස් වැඩ හොයාගෙන යන සරසවිය අපි අද කතා කරන්නේ ඇය සමඟ. ලෝචනා ජයකොඩි නැත්නම් කවුරුත් දන්න ලෝචි එක්කයි මේ පිළිසඳර.

ලෝචි ඔබ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නෑ කිව්වට මේ දවස්වල ඔබ ටෙලිනාට්‍ය තුළින් දකින්න ලැබෙනවා නේද? ඇත්තටම මගේ මෙගා නාට්‍යවල රඟපාන්න කැමැත්තක් නැහැ. මම මෙය භාරගත්තේ මෙය මෙගා ටෙලිනාට්‍යයක් නොවන නිසා. මේ නාට්‍යය තුළ මම, සිකා, රැට්ටා වගේ අපි කිහිප දෙනෙක්ම රඟපානවා. විශේෂම කාරණය නම් මේ නාට්‍යය ආරම්භයේදීම මට මෙහි පිටපත ලැබුණා. ඒ නිසා මෙහි මුල මැද අග පිළිබඳ මට අවබෝධයක් තියෙනවා. අනෙක් අතට බොහෝ ප්‍රේක්ෂක ඉල්ලීම් තිබුණා රඟපාන්න කියලා ඒ අය මාව ටෙලිනාට්‍ය තුළින් දකින්න ආසයි කියලා. ඉතින් ඒ සෑම දේකම එකතු වීමෙන් රඟපාන්න තීරණය කළා. චරිතය නිරූපණයේදී නම් ලෝචිට එච්චර අපහසු නොවෙන්න ඇති? මොකද ඔබේ සැබෑ චරිතයට බෙහෙවින් සමානයි රන්දුලිගේ චරිතය? ඔව්. සමාජ මාධ්‍ය පරිහරණය කරන යූටියුබ් චැනල් එකක් කරන චරිතයක්. චරිතයේ හැටියට අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති වුණත් සැබෑ ජීවීතයේ නම් එහෙම නෙවෙයි. එය මට කරන්න හරිම පහසුයි.

ආරාධනාව ලැබුණම දැනුණ හැඟීම මොකද්ද? මට චරිතයට ආරාධනා කළාම මම මුලින්ම කිව්වේ මට පිටපත කියවන්න ඕනෑ කියලා. පිටපත කියනවගෙන යන විට මට තේරුණා මෙය මට කළ හැකියි කියලා. පසුව මට ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ධනුෂ්ක රේමන් කතා කරලා චරිතය පිළිබඳ පැහැදිළි කිරීමක් කළා. මෙගා නාට්‍ය නොකිරීමේ ප්‍රතිපත්තියක් මට තියෙන නිසාත් මේ නිර්මාණය කොටස් කිහිපයක එකක් නිසාත් මට එය ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නෑ. මගේ වැඩවලට පාඩුවක් නොවෙන්න ඒවට වෙලාව වෙන්කරන්න පුළුවන් නිසා මම මෙය භාරගත්තා.

ලෝචිගේ සුපුරුදු වැඩකටයුතු කරගෙන යනවද? අලුත් වීඩීයෝ කළාද? ඔව්. කලින් රූගත කිරීම් කළ වීඩියෝවක් මීට දින කිහිපකට පෙර යූටියුබ් හි පළකළා. කොරෝනා නිසා රූගත කිරීම් කිරීමට අපහසුයි. කොහොම වුණත් අවදානමක් නොගෙන වැඩ කරගෙන යන්නයි මගේ බලාපොරොත්තුව. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. ටෙලිනාට්‍යය බලන මගේ යාළුවෝ සහ සමාජමාධ්‍ය හරහා මා සමඟ සම්බන්ධ සියලු දෙනාගෙන්ම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම ප්‍රතිචාරයක්ම මට ආශීර්වාදයක්.

ඔබේ නිර්මාණ කාර්යයේදී ඔබ දන්න කිහිප දෙනෙක් එක්කයි ගනුදෙනුව වෙන්නේ. ඒත් ටෙලිනිර්මාණයකට එන විට එය වෙනස්. ඒ සඳහා විශේෂ වූ පිරිසක් එක්කයි ඔබට කටයුතු කරන්න වෙන්නේ. මේ අද්දැකීම ඔබට දැනුණේ කොහොමද? මම මේ නිර්මාණයට කැමති වෙන්න තවත් හේතුවක් තමයි මේ අත්දැකීමත් මට ලබාගැනීමේ වුවමනාව. එය ඉතාම හොඳ අත්දැකීමක්. වෙනස් අත්දැකීමක්. ආසාවෙන් කරනවා. පිරිසක් සමඟ වැඩ කිරීමේදී හරිම පහසුයි. මගේ නිර්මාණ කටයුතුවලදි ඒ දේවල් බොහෝ වෙලාවට වෙන්නේ මගේ අතින්. මෙතැනදි වැඩ බෙදිලා යනවා. මේක මගේ ජීවිතේට ලොකු අද්දැකීමක්.

රන්දුලිගේ අම්මයි තාත්තායි වෙන්නේ රටේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඒ අයගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු? ඒ අය එක්ක රඟපාන්න ලැබීමම මගේ වාසනාවක්. ඔවුන් රඟපාන විට රඟපානවා කියලා තේරෙන්නේ නෑ. ඒ තරමටම ස්වාභාවිකයි. එය මට ලොකු අත්දැකීමක්. ඒවගේම ටෙලිනාට්‍ය කණ්ඩායම හරිම විනෝදයි. ඉතාම හොඳීන් වැඩ කරන්න පුළුවන්. පොඩි වෙනසකට තියෙන්නේ උදේ පහාමාරට නැගිටින්න වෙන එක. (සිනාසෙමින්) ලෝචිගේ ආදරණීය සහෝදරියන් දෙදෙනා ලෝචි ටීවී එකේ දකිනවිට මොකද කියන්නේ? ඒ දෙන්නා හරිම ආසාවෙන් බලනවා. මට විහිළු කරනවා. හරි නැත්නම් ඒකත් කියනවා. ඒ දෙන්නගේ ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි. ඒ දෙන්නා කැමැතියි මම මේ වගේ වෙනස් දේවල් කරනවට.

රූගතකිරීම් අතරතුර විවේකයක් ලැබුණම ඒ විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවලු නේද ලෝචි? (සිනාසෙමින්) විවේකයක් ලැබුණම සෙට් එකේ ඉන්න අය එක්ක ටික් ටොක් කරනවා. අධ්‍යක්ෂ ධනුෂ්ක අයියා ඇවිත් බලන් ඉන්නවා. ඊළඟ සීන් එක ගන්න තිබුණත් ඔහු කරන්න කියලා ඉඩ දෙනවා. ඔවුන් හරි ආසාවෙන් බලන් ඉන්නවා. කිසිම බලපෑමක් නෑ. හරිම මිත්‍රශීලීයි සියලු දෙනාම. ලෝචී ටික් ටොක්, යූටියුබ් එක්ක අද විවිධ වෘත්තීන්හි නියැළෙන බොහෝ පිරිසක් එකතුවෙලා. මුල් කාලයේ ආරම්භක සාමාජිකාවක් විදිහට වගේම තවමත් ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට මේ වෙනස ඔබට දැනෙන්නේ කොහොමද? ගොඩක් හොඳ ප්‍රවණතාවක් ඒක. මොකද ඉස්සර බොහෝ දෙනෙක් ටික් ටොක් එකට දෝෂාරෝපණය කළා. දැන් ඒ අයත් ටික් ටොක් කරනවා. ඒ අය දකින විට ලොකු සතුටක් දැනෙනවා. ටික් ටොක් එක කියන්නේ සින්දුවකට නටන එකක් විතරක් නෙවෙයි. මේ ප්ලැට්ෆෝම් එක තුළ බොහෝ හරවත් දේ කළ හැකියි. නටන්න, කෑම හදන්න, වෛද්‍ය උපදෙස්, ඉගැන්වීම්වලට වගේ ලොකු දෙයක් කරන්න පුළුවන් වගේම අද වන විට මේවා අත්විදින්නත් පුළුවන්. සතුටුයි ඒ ගැන. මම පටන්ගන්න කාලේ ටික් ටොක් විරෝධි සංගම් නිර්මාණය වුණා. ටික් ටොක්වලට රිපෝට් කළා. අදවනවිට ලංකාවේ ටික් ටොක් වෙරිෆයි වෙලා තියෙනවා. ඉන්දියන් ටික් ටොක් ටීම් එක ලංකාවේ ටික් ටොක් හැන්ඩ්ල් කරනවා. මට හිතෙනවා අද වනවිට එය ඉතාම හොඳ තැනක තියෙනවා.

බොහෝ ප්‍රසිද්ධ චරිත ඔවුන්ගේ ඇතුළු පැත්ත සඟවගෙන ඉන්න කාලයක ඔබ ඇයි ඔබේ එය ප්‍රසිද්ධියේ කියන්න ඕනෙ කියලා හිතුවේ? ඇත්තටම මගේ කතාව මම එළියට දෙන්න ඕන කියලා මම හිතුවේ නෑ. ඒක වුණේ අහම්බයෙන්. මගේ අම්මා නැතිවෙලා දැන් අවුරුදු නවයක් වෙනවා. මෑතක මට සයිබර් බුලින්වලට මුහුණ දෙන්න වුණ වෙලාවෙදි මට කියන්න තිබුණා මගේ අම්මා නෑ. ඇයි මට මෙහෙම කරන්නේ කියලා. මම කවදාවත් එහෙම අනුකම්පාවක් බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි. ළහිරුගෙ වැඩසටහනට කතා කරන විට ඔහු මා ගැන පෞද්ගලිකව නොදන්නා නිසා වැඩසටහනට පෙර මා සමඟ දුරකතනයෙන් කතා කළා. එහිදී තමයි ඔහු දැනගන්නේ මගේ මව නැතිබව. ඒ වැඩසටහනින් පසුව බොහෝ දෙනෙක් මට කතා කළා. ගොඩක් ගැහැනු ළමයින්ගේ ප්‍රශ්න මා එක්ක කතා කළා. මම ඇත්තටම අද හිතනවා මගේ කතාව හරිම වෙලාවෙදි එළියට ආවා කියලා. ඒකෙන් හොඳ දෙයක් වුණා. බොහෝ දෙනෙක් මට ආදරේ කරන්න ගත්තා. නමුත් මට කිසිම වෙලාවක් ඒක මාර්කට් කිරීමට අවශ්‍ය වුණේ නෑ.

සමාජ මාධ්‍ය නොතිබුණා නම් ටික් ටොක් යූටියුබ් නොතිබුණානම් ලෝචි කවුද? එහෙනම් මම මේ තරම් පිරිසක් දන්න හඳුනන කෙනෙක් නොවෙන්න පුළුවන්. අද වන විට මට ලක්ෂ පහකට වැඩි සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. මම ඉන්දියාවට ගිහින් සුම්බා උපදේශක පාඨමාලාව හැදෑරුවා. මට ඇමරිකානු ලයිසන්ස් එක තියෙනවා. එහෙම වුණොත් මම ඒ පැත්තෙන් හෝ නර්තන ගුරුවරියක් හෝ වීමට ඉඩ තිබුණා. ලෝචිගේ අනාගත බලාපොරොත්තු මොනවද? ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම තවමත් නිසි පිළිතුරක් ලබා දී නෑ ඔවුන්ට මම සම්බන්ධ වෙනවද කියලා. මට අවශ්‍ය මගේ වැඩ කරගෙන ලැබෙන ඉතුරු කාලය මෙවැනි නිර්මාණවලට යොදවන්න. මගේ ලොකුම බලාපොරොත්තුව ලංකාවේ සයිබර් බුලිං නිසා ගෑනු ළමයින්ට වන හිංසනය පිළිබඳ යමක් කරන්න. කොරෝනා නිසා ඒ වෙනුවෙන් යමක් කරන්න එළියට යන්න මේ වෙලාවේ අපහසුයි. මේ ප්‍රශ්නෙට මමත් මුහුණ දුන්නා. ඒ වගේම මෙවැනි ප්‍රශ්න නිසා පීඩාවට පත්වුණ සහෝදරියන් බොහෝ දෙනෙක් මට මැසේජ්වලින් ඊමේල්වලින් ඔවුන්ගේ දුක කියනවා. මේ වෙනුවෙන් නීතීයක්, යම් ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ වුවමනාව තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිමේ අවශ්‍යතාව මට තියෙනවා. මේ ලිපිය බලලා කෙනෙක් කැමති නම් ඒ වෙනුවෙන් උදව් කරන්න ඒකත් මට වටිනවා.

තිළිණි රාජපතිරණ – සරසවිය පුවත්පත

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x