ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

හැමෝගෙම ආදරණීය ආශිර්වාදයෙන් මම සුවය ලැබුවා

පුරා වසර තිහකට වඩා වැඩි කාලයක් වේදිකාව, ටෙලිනාට්‍ය, චිත්‍රපට වලින් ආදරණීය පෙම්වතියක, සෙනෙහෙබර සහෝදරියක, මවක, මිත්තණියක ලෙස ඔබේ හදවතට ආමන්ත්‍රණය කළ අය සුසන්තා චන්ද්‍රමාලි නම් වේ. හැකියාවෙන් ,දක්ෂතාවයෙන් පරිපූර්ණ රූමත් දියණියක් කලා ලොවට එක් කළ ආදරණීය මව්වරුන් අතලොස්ස අතර ද ඇය සිටී. කෝවිඞ් මාරයාගෙන් බේරෙන්න දහසකුත් එකත් වැට මායිම් බැඳි ඇති වටපිටාවක සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරමින් මම ඇයගේ මුළුතැන් ගෙට ගොඩ වූයෙමි. නිරෝගී කම උදුරා ගැනීමට උත්සාහ දැරූ පිළිකා මාරයා සමග සටන් කර නිරෝගී සුවය ලබා සිටින ඇය ,නිරෝගී කම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොනව ද කළේ . ඇතුළු තවත් බොහෝ තොරතුරුත් සමඟ ඇය සමඟ දොඩමළු වෙමු .

කොහොමද සුසන්තා අක්කා? ගෙන් මම ඇසුවෙමි. අනේ හොඳින් ඉන්නවා නංගි. හැමෝගෙම ආදරණීය ආශිර්වාදයෙන් මම සුවය ලැබුවා. ආපස්සට හැරිලා බලද්දී නං ,හදවතට දරාගන්න බැරි අත්දැකීම් සමුදායක් එක්ක යුද්ධයක් කළා හා සමානවයි දැනෙන්නේ .ඒ සියල්ල හොඳින් විසඳුනා. දැන් වෙනදටත් වැඩිය කෑම බීම ගැන සැලකිලිමත් වෙනවා නේද? දැන් විතරක් නෙමෙයි, මං හැමදාමත් කෑම බීම ගැන සැලකිලිමත් වෙච්ච කෙනෙක්. මං කොච්චර සැලකිලිමත් ද කියනවා නම් ගෙදර අය මට කියන්නේ ”ගුණවතී” කියලා . ගුණදායක කෑම බීම ම යි,හොය හොය කෑවෙ බිව්වෙ. මගේ අසනීපය දැනගත්ත ගොඩක් අයත් කිව්වේ ” අක්කේ ඔයාට කොහොමද එ ලෙඬේ හැදුනෙ ” කියලා. නමුත් රෝගී වීම කියන පොදු ධර්මතාවයට මමත් මුහුණ දුන්නා. ඒ සියල්ල සාර්ථකව මැඩ පවත්වා ගන්න නිවැරදි ආහාර රටාව ඉවහල් වුණා කියලා මං අදටත් විශ්වාස කරනවා.

මේ දවස්වල මොනාද වැඩිපුරම කෑමට ගන්නෙ? ඇයගෙන් මම ඇසුවෙමි. හැම උදෑසනකම පාරම්පරික සහල් වර්ගයකින් සැකසූ කැඳ වර්ගයක් හෝ ඖෂධීය කැඳ වර්ගයක් පානය කරනවා .ඊට අමතර ව මේ දවස් වල ශරීරයට වැඩි කැල්සියම් ප්‍රතිශතයක් අවශ්‍ය නිසා කුඩා මාළු වර්ග ,කිරි ,දෙළුම් වැනි පලතුරු ,නැවුම් එළවළු, පලතුරු ,පලා වර්ග ,නිතර ආහාරයට එක් කර ගන්නවා. අක්කාට හරිම රසට කෑම හදන්න පුළුවන් කියලා ආරංචියි? අපොයි ඔව්. කලා ලෝකයේ වගේම මගේ සමීපතම ළඟින්ම ඉන්න අය ඒ බව හොඳට දන්නවා. ඕනෑම කෑමක් රහට හදන්න පුළුවන්. අනිත් දේ තමයි පොල් ටිකකට ලුණු කුඩු ටිකක් ඉහලා, මිරිස් කුඩු ටිකක් දාලා ,දෙහි බිංදු දෙකක් දලා ගත්තොත් මහා පුදුමාකාර රසක් දැනෙන අත් ගුණයක් මට තියෙනවා .ඒ නිසා ඉතිං ඉස්සර වගේම ,මොන ශාරීරික අපහසුතා තිබුණත් මගේ ගෙදරට එන ඕනෙම කෙනෙකුට මගේ අතින්ම කෑම වේලක් පිළියෙල වෙනවමයි.

උයන එක ව-ද-ය-ක් විදියට දැනිලා නැද්ද? මම ඇයගෙන් ඇසුවෙමි. අපෝ කවදාවත්ම නැහැ. මට හිතෙන්නේ කටට රහට කෑම වේලක් හදලා ඒක සතුටින් කන්න දෙන එක මහ ලොකු පින්කමක් කියලා. ගෙදර උපන් දින උත්සවයක් තිබුනත් ,ඥාතීන් ,හිතවතුන් ,එකතු වෙන පුංචි සාදයක් තිබුනත් මම හරි ආසයි මගේ අතින්ම කටට රහට හදපු කෑම වේලක් පිලි ගන්වන්න . මොන තරම් පිරිසකට කෑම හැදුවත් මට මහන්සියක් දැනෙන්නේ නම් නැහැ. දුවයි මහත්තයා නං මම මහන්සි වෙනවට කැමති නැති නිසා කියන්නේ එවැනි අවස්ථාවලදී අපි ඔඩර් කරල කෑම දෙමු කියලා . මම එකට කැමැති නැහැ….අපේ සම්ප්‍රදාය තුළ කෑම රසට හදන්න පුළුවන් කාන්තාවකට ඉහළ පිළිගැනීමක් තියෙනවා කියන එක මම නිතර විස්වාස කරනවා …ඇත්තම කියනවා නම්. ඒ හැකියාව විටෙක පුංචි ආඩම්බරයකුත් ගෙන දෙනවා. අක්කා හදන කෑම වලින් ගෙදර හැමෝම සතුටින් කන්නේ මොනවාද? මම හදන ගමේ කෑම හරිම රසයි කියලා තමයි මගෙන් කෑම කන හැමෝම කියන්නේ. මාලු ඇඹුල් තියල්,මස් ඕනම දෙයක් ගමේ විදිහට හරිම රසට හදන්න පුළුවන්..ඔය අතරේ මම විශේෂ විදියට හදන”ගස්ලබු මාළුව”ටත් හැමෝම කැමතියි.

ගස් ලබු මාලුව ඇය කිව්වේ මෙසේය. ඔව් .අබ, පොල්, හාල්, සූදුරු , සුදුලූනු , රතු ලූනු, කුරුඳුපොතු, ගම්බිරිස්, අවි මිරිස්, කරපිංචා, අඹරලා හදන ගස්ලබු මාළුවාට…. අම්මෝ දැනුත් කියද්දී රස දැනෙනවා. පොත්ත කහ වේ​ෙගන එන පැහිච්ච ගස්ලබු ගෙඩියක් අරන් පොතු ඇරලා ,සෝදලා, ඇට ඉවත් කරලා පොඩි කැට වලට කපාගන්නවා. ඒ ගස්ලබු ටිකට ලුණු ටිකක් ,කහ ටිකක් ,රතු ලූනු ගෙඩියක්, සුදු ළූනු ගෙඩියක්, අමුමිරිස් කරලක් ,කපල කරපිංචා කෑල්ලකුත් දාලා දියකිරෙන් ලිපෙ තියෙනවා. ඒක තැම්බීගෙන එන කොට අර මම කියපු විදියට හදාගත්ත මිශ්‍රණය මිටි කිරි වලින් කලවම් කරලා තැම්බුණු ගස්ලබූ කැට ටිකට දානවා. ඊට පස්සේ හොදට හොද්ද උතුරන කොට හරි සුවඳක් එනවා.හරිම ගුණවත් වගේම රසවත් වෑංජනයක්.

කෑම රස වෙන්න. මොනවද පාවිච්චි කරන්නේ? හැමෝම දන්න කාරණාවක් ගැන මම නැවත ඇයගෙන් ඇසුවෙමි. සෙනෙහසින් ,ආදරෙන්,කැමැත්තෙන් ,ගුණාත්මක බවින් ඉහළ කුලු බඩු වර්ග කෑමකට යොදනවා නම් කටට රහට කෑම වේලක් හදන එක ලොකු අභියෝගයක් නොවේ. ගුණාත්මක කුළු බඩු කියලා ඔබ අදහස් කලේ? වර්තමානයේ බොහෝ කාන්තා වන් කාර්ය බහුලත්වය නිසා කඩෙන් අරන් තමයි මිරිස් තුන-පහ කුඩු පාවිච්චි කරන්නේ.ඒත් අපි පුංචි කාලෙ ඉඳලම අද වෙනකම්ම අත්තම්මගෙන් අම්මගෙන් ඉගෙනගෙන ගෙදරදීම හදා​ෙගන තමයි කුළුබඩු පාවිච්චි කරන්නේ .ඒ නිසා කවදාවත් මගේ ගෙදර අද වෙනකම් කුළු බඩු කඩෙන් අරගෙන නැහැ. මොන කෑම හැදුවත් මම හරිම උනන්දුවෙන් ආසාවෙන් කරන නිසා සහ ඒකටම හිත යොමුකරලා ඉන්න නිසා උයන වෙලාවට වරදිනවා නං හරිම අඩුයි. ඒත් ආප්ප හදනකොට නං හැමදාම වරදිනවා.

මහත්තයට නං රාජ භෝජන තිබුණත් රාත්‍රියට බත් ඕනෙමයි. ඒ නිසා ඉතිං ඔහුට අවශ්‍ය විදිහට ඒ දේ පිළිවෙල වෙනවා .නමුත් රාත්‍රී ආහාරය ට මම පිට්ටු, ඉදිආප්ප ,තෝසෙ ,රොටී වගේ ඕනෑම කෑමක් හදනවා .තිසු……. මම කෑම හදන්නෙ නැති දවසට රාත්‍රියට ,පීසා, පාන්, බනිස් ,ඒ වගේ විශේෂ කෑම හදනවා ….දුවට බටහිර කෑම වර්ග රසට හදන්න පුළුවන් ….අපි දෙන්නම එකතු උනහම රසවත් කෑම මේසයක් හදන එක ලොකු දෙයක් නෙවෙයි. මම කුස්සියේ ඉන්නව නම් මගේ රේඩියෝ එකයි , ටීව් එකයි දෙකම තිසු… .මට උයන වෙලාවට තිසු ළඟ ඉන්නවා නං ඉතින් පාළුව කියන දේ දැනෙන්නෙම නැහැ.. ඒ වගේම ඉතින් මගේ අත් උදව්වට එයා නැතුව වෙන කවුරුත් ආවට හරියන්නෙත් නැහැ… දුව ගෙදර නැති වෙලාවට නං ඉතිං එයා ආදරෙන් සුරතලේට හදන ලේන් පැටියෙක් ඉන්නවා. එයා එක්ක කතා කර කර තමයි මම කුස්සියේ උයන්නෙ. රසයි කියල අහනව ටත් වැඩිය ,මම ආසයි මම උයපු බත් එකක් කවුරු හරි, රස කර කර කන විදිහ මූනෙ ඉරියව්වලින් ම බලන්න ….ඇස් වලින් ,කම්බුල් වලින්, කටින් ,රස නහර පිනා යන බව දැනුනාම ,මට ඊට වඩා සතුටක් නැහැ …

දියණියක් විදිහට ගේ දොර වැඩ කටයුතු ,ඉහුම් පිහුම් වැඩ දැනගෙන සිටීම වැදගත් කියා ඔබ එදා සිතාගෙන හිටියා ද? අපොයි ඔව් .ගැහැණු දරුවෙක් උනහම රසට තේ එකක් හදා ගන්න, කටට රහට කෑම වේලක් හදාගන්න වගේම ගේ දොර පිරිසිදුවට පිළිවෙලට තියා ගන්නත් පුරුදු වෙන්න ඕනේ. ඒක දියණියකට මිල කළ හැකි ආභරණයකටත් වඩා වටිනා ආභරණයක්. ඇයට කවදහරි දවසක හොඳ බිරිඳක් ,හොඳ ලේලියක් ,හොද අම්මා කෙනෙක් වෙනකොට ඒක ගොඩක් වටිනවා .එහෙම නැතුව ඉතිං” අනේ මම නම් මොකුත් කරන්න දන්නෑ” කියන එක නම් හුරතලයක් නෙමෙයි .මමත් මගේ දියණියට මේ සියල්ල අඩුවක් නැතුව දායාද කළා.

පුංචි කාලෙදි ඔබත් ඔබේ මවගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා ද? අපොයි ඔව් . අම්මගෙන් වගේම අචිච්ගෙනුත් මං බොහෝ දේවල් ජීවිතේට ලං කරගත්තා… උයන පිහන විදිය ,තුන පහ ටික හදන එකෙ ඉඳලම පිළියෙලට, පිරිසිදු ව හැමදේම කරන්න ඉගෙන ගත්තා. ඒ විතරක් නොවෙයි ….ජිවිත කාලයටම වටිනා යහපත් පුරුදුත් ඉගෙන ගත්තා .හීනියට පොල් ටික ගාන විදිහ, හාල් ඇටයක් වත් බිමට හලාන්නෙ නැතුව හාල් ටික සෝද ගන්න විදිහ ,හැම දේ ගැනම ඉගෙන ගත්තා .ඉස්සර අපිට කවදාවත් හාල් ගෝනියක් උඩ ඉඳ ගන්න දෙන්නේ නැහැ ….හාල් බුද්ධ බෝගයක් විදියටයි සැලකුවේ …හාල් ටිකක් බිම හැලුනත් ඉක්මනින් ඇහිදින්න ඕනේ පෑගෙන්නෙ නැති වෙන්න ……එ වගෙ ලොකු ගෞරවයකි න් ආහාර පාන වලට සලකන්න ඉගැන්වුවා. අමු මිරිස් කරලක් කපන විදිහ, ලූනු ගෙඩියක් සුද්ද කරන එකෙ ඉදලා බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා .ඒ වගේම ඉස්සර හැමදාම රාත්‍රියට අපි කුස්සිය පිරිසිදු කිරීම අනිවාර්යයි ….පිරිසිඳුව කුස්සියක් තියෙන ගෙදරකට ශ්‍රියා කාන්තාව රාත්‍රියේ දී එනවා කියලා ආච්චි අම්මා අපිට කියනවා. ඇත්තටම කැරපොත්තො, හූනෝ වැනි කෘමීන් මුලුතැන් ගෙට එන එක නතර කරන එක තමයි එ අය පුරුදු කරලා තියෙන්නෙ කියලා දැන් වැටහෙනවා .

පැරණි උපකරණ වලින් කුස්සියෙ වැඩ කරන්න කැමතියි නේද? අපොයි ඔව් .දැනටත් මගේ කුස්සියේ හිරමනය, මිරිස් ගල, වංගෙඩිය, කුරහන් ගල, මේ හැමදේම තියෙනවා. කුරහන් ගල නම් දැන් පාවිච්චි වෙන්නේ නැහැ …නමුත් අවශ්‍ය හැම වෙලාවකම වංගෙඩිය මෝල්ගහ, මිරිස් ගල ,හිරමනය පාවිච්චි වෙනවා .දහස් ගාණක් දීලා නවීනපන්නයේ ක්ෂණික උපකරණ මුලුතැන්ගේට ගෙනාවත්. … මේ පැරණි දේවල් වල වටිනාකම මිල කරන්න බැරි තරම්. ඒකෙ නම් මූලිකම භාරකාරයා මගේ මහත්තයා .ඔහු හරිම සතුටින් ඒ දේවල් කරනවා.ඇත්තටම කියනවා නම් ගෙදටරට අවශ්‍ය හැමදේම පුළුවන් විදියට වගා කරලා තියෙනවා .කහ, ඉඟුරු,සේර කරපිංචා, රම්පේ වල ඉඳලා, එළවලු වර්ග කිහිපයක් ,පලතුරු වර්ග කිහිපයක්, ඖෂධීය පැලෑටි වර්ග වගා කරලා තිබෙනවා .මැල්ලුමක්, කොල සම්බෝලයක් හදන්න කවදාවත් කඩෙන් කොළවර්ග ගන්නේ නැහැ ….හැමදේම වත්තෙ තිබෙනවා.

(අසුන්තා එදිරිසූරිය – සාරවිට වෙබ් අඩවිය)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x