ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ජීවිතේටම එක කසාදයක් හොඳටම ඇති

කෙනෙක් කැපකිරීම අවස්ථාවාදීව කරන්න පුළුවන්. තමන්ට දෙයක් ලබාගන්න කැපකිරීම් කරන්න පුළුවන්. තවත් කෙනෙක් අව්‍යාජව තමන්ගේ ආදරය වෙනුවෙන් තමන්ගේ තියෙන ගෞරවය, මිත්‍රත්වය වෙනුවෙන්, දෙමව්පියන්ට ඉටුවියයුතු යුතුකම් වගකීම් විදිහට කැපකිරීම් කරන්න පුළුවන්. ඇතැම්විට ඒ කැපකිරීම් ජීවිත කාලය පුරාවට කියාගන්නවත් බැරි කැපකිරීමක් වෙන්න පුළුවන්. අපි කැපකිරීම්වල ප්‍රමාණයෙන් තොරව එක තප්පරයකින් හෝ මේ ජීවිත කාලය පුරාවට කරල තියෙනවා. මගේ ජීවිතෙත් එහෙම කැපකිරීම් කරල ඇති.

මනුෂ්‍ය ජීවිතේ හැම කෙනෙකුටම ඉරිසියාව කියන දේ තියෙනවා. ඒක හැමෝටම දැනෙන දෙයක්. ඒක ආදරය හා සම්බන්ධ දෙයක් වෙන්නත් ඇති. ආදරය කියන දේ ඇතුලේ ඉරිසියාව කියන දේ ඇතිවෙනවා.

කෙනෙකුගේ පෞර්ෂත්වයේ තියෙන අඩුපාඩුකමක් විදිහට කඩාවැටීම හඳුන්වන්න පුළුවන්. ජීවිතේ ප්‍රශ්න මේ ලෝකේ ඕනෑම කෙනෙකුට ඇතිවෙනවා. මටත් ඒක පොදුයි. නමුත් ඒ ප්‍රශ්න හමුවේදී ඒකට හේතුවුණේ මොකක්ද? තමන්ගේ දුර්වලතාවය මොනවාද යන්න පිළිබඳව හොයලා බලලා වැරුද්ද හදාගන්නවා නම් මේ කඩාවැටීම් ලොකුවට දැනෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන් ගමේ හැදුණු වැඩුණු, ලොකු කැපකිරීම් කරලා මහන්සියෙන්, උත්සාහයෙන් තමන්ගේ ගමනක් යද්දී මගේ ජීවිතේ ඇතිවන ප්‍රශ්න කඩාවැටීමක් කියල මම හිතන්නේ නැති තරම්.

ජීවිතේ එක එක පසුතැවීම් අපිට ඇතිවෙනවා. මගේ ජීවිතේත් පසුතැවීම් කියන දේත් තිබෙනවා. මේ කාලේදී මගේ හිතේ තියෙන ලොකුම පසුතැවීම මගේ උපාධි අධ්‍යාපනය සම්බන්ධවයි. මම PhD කරන්න ඕස්ට්‍රේලියාවෙත් ගිහින් නැවතත් ආවා. මට ඒක කරගන්න බැරිවුණා. කාලයක් යනවා. ජීවිතේ ස්ථාවර වෙන්නත් ඕනේ. නමුත් මේ කොවිඩ් වසංගතය නිසා ඒ හැම දෙයක්ම ආපස්සට ගියා. ඒ නිසා මගේ PhD උපාධිය සම්බන්ධව මට ලොකු පසුතැවීමක් තිබෙනවා.

මට දැනෙන විදිහට මගේ ජීවිතේට අභියෝග ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. අභියෝගවලට මම හරි ආසයි. මගේ ජීවිතේ අභියෝග තිබෙනවා. සිරස ලක්ෂපති වැඩසටහනට මම ඉදිරිපත් වුණා. මම පළමු ප්‍රශ්නයෙන්ම ඉවත් වූවා නම් මිනිස්සු කොච්චර මට බනීද? මුන් කලාකරුවන්ද? උපාධිධාරීන්ද? කියලා මට බනින්න තිබුණ. මම දන්න මගේ හිතවතුන් පවා ඕකට යන්න එපා… පැරදුණොත් ලොකු ලැජ්ජාවක් වෙන්නේ කියල කිව්වා. එක ප්‍රශ්නයෙන් මගේ ප්‍රතිරෑපය බිංදුවට වැටෙන්න පුළුවන්කම තිබුණා. ඒත්… මම ඒ අභියෝගය බාරගත්තා. මම ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑවා. ඒකේ එක සිංහල වචනයක් මට කියන්න තිබුණේ නැහැ. &Back to Elephant Walk* චිත්‍රපටය මට අභියෝගයක්. ඒ වාගේ අනෙක් අයට සාපේක්ෂව විශේෂ දේවල් කරල අභියෝග බාරගන්න මම හරි ආසයි. ගමේ ජන ගී ගයපු මම පිටරට ගිහින් ඔපෙරා ඉගෙන ගත්තා. ඒකත් මට අභියෝගයක් වුණා.

මඟහැරිම සමහරුන් අවස්ථාවාදීව සිදුකරනවා. නමුත් මගේ ජීවිතේ මඟහැරීම් සිදුකරන්නේ කාගේ හරි ජීවිතේට හානියක් සිදුවෙනවා නම් විතරයි. මගේ ළඟම ඉන්න අයට, පවුලේ අයට, හිතවතුන්ට, දන්න කියන අයට හෝ කාට හෝ හොඳ දෙයක් නොවන දෙයක් වෙනවා නම් මම එතැනින් මඟහරිනවා. මගේ යාළුවන්ට හදන්න බැරිනම්, හැමවෙලේම මට වැරදි ආදර්ශයක් දෙනවා නම් මම එතැනින් මඟහරිනවා.

මගේ ජීවිතේ මම බොහෝ ආදරය කරන ආසා කරන දේ පරිත්‍යාගයයි. ඒක ආදරය වෙන්න පුළුවන්. භෞතික දෙයක් වෙන්න පුළුවන්. මෑතක මම කියවපු, මම ළඟ තිබුණ පොත් හයසීයක් පමණ ඉතා දුප්පත් ඉස්කෝලෙකට ඒ නංගිලා, මල්ලිලා වෙනුවෙන් පරිත්‍යාග කළා. ඒකේ නංගිලා මල්ලිලා එකසිය පනහක් විතර ඉගෙන ගන්නවා. හැබැයි ඒ පරිත්‍යාගය මම කළේ කිසිම ප්‍රසිද්ධියක් හෝ ජනප්‍රියත්වයක් ලබාගන්න නොවේ. ඒ පරිත්‍යාගයෙන් හිතට දැනුණේ ලොකු සතුටක්. සැනසීමක්.

ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් කාලයේදීයි. ප්‍රේමය කියන වචනයේ හරි තේරුමක්වත් ඒ කාලේ දැනගෙන තිබුණේ නැහැ.

ආදරය කියන වචන හතර එකතු කරලා කවුරුන් හෝ වචනයක් දීලා තියෙනවා. හැබැයි අකුරුවලටවත් සීමා කරන්න බැරි මේ ලෝකේ තියෙන උත්තරීතරම දේත් ආදරයයි. ඒ ආදරයට මම ආදරය කරනවා. ජීවිතේම ඉන්න කෙනා කොහොමද කියලා තාමත් හොඳට බලන්න ඕනේ. මට ජීවිතේ එකපාරක් විවාහ වුණොත් හොඳටෝම ඇති.

පරාජය කියන්නේ ජයගැන්මක් කියලයි අපි කියන්නේ. මගේ ජීවිතේ පරාජය වන තැන් නොවන තැන් විදිහටයි වැඩකරන්න උත්සාහ ගන්නේ. පරාජය අපේ ජීවිතේට ලොකු හයියක් වෙන්න පුළුවන්.

මට දැනෙන විදිහට අපි ඉපදුණ දවසේ සිට ජයග්‍රහණයක් ලබාගන්න තමයි මේ හැමදේම කරන්නේ. කලා ක්ෂේත්‍රයේ මම අවුරුදු දහයක් ඉන්නවා. මේ වෙනකොට චිත්‍රපට දහයක් සහ ටෙලිනාට්‍ය විසි දෙකක රඟපාලා තියෙනවා. රංගනය කියන දේ මම ඉගෙන ගෙන නැහැ. ඒ ඉගෙනගන්න නැති ක්ෂේත්‍රයක අවුරුදු දහයක් ඉඳීමත් මගේ ජයග්‍රහණයක්. තමන් තමන්ව සොයාගෙන යාමත් ජයග්‍රහණයක්.

අපේ ජීවිතේ ඉලක්ක තියෙන්න ඕනේ. මගේ ජීවිතේ මට ඉලක්කයක් තියෙනවා. මගේ දක්ෂතාවලින් ලෝකයෙන් වෙන වටිනාකමක් ලංකාවට අරගෙන දෙන ඉලක්කයක් තියෙනවා. තාමත් මම මේ ඒ ගමන යනවා. ඒක මගේ එක ඉලක්කයක්.

(දිශානි ජයමාලි කරුණාරත්න – දේශය පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x