ගොසිප් පුවත්විදෙස් පුවත්

චිත්‍රපට රූගත කිරීමකට අභ්‍යවකාශයට ගිය නිළිය

රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන යුලියා පෙරේසිල්ඩ් , ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව යැමට සුදානම් වනවා. ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කරන චිත්‍රපටයක රංගනය සඳහායි.

37 හැවිරිදි යුලියා, ලබන පස් වැනිදා රුසියාවේ සෝයූස් රොකට්ටුවක අධාරයෙන්, සෝයූස් එම්.එස්.19 ගගන කැප්සියුලයේ නැගී කිලෝ මීටර් 354 ක් ඉහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව යෑමට නියමිත වනවා.

යුලියා අභ්‍යවකාශය බලා යන්නේ තනිවම නොවෙයි, රුසියන් ගගනගාමීන් දෙදෙනකු සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන කිම් ෂිපෙනෝව් ද ඇය සමඟ කැප්සියුලයේ ගමන් කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන මෙම නව චිත්‍රපටය නම් කර ඇත්තේ ‘චැලේන්ජ්’ යනුවෙන්.

රුසියන් අභ්‍යවකාශ ආයතනය වන ‘රොස්කොස්මොස්’ සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන ‘චැනල් 1’ නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධවනවා.

අභ්‍යවකාශ නැවතුම්පොළේ චිත්‍රපටයක් රූගත කරන බවත් එහි නිෂ්පාදන කටයුතුවලට රුසියන් අභ්‍යවකාශ ආයතනය සම්බන්ධ වන බවත් එහි ප්‍රධානී දිමිත්‍රි රොගොසින් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ පසුගිය මැයි මාසයේයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන 37 හැවිරිදි කිම් ෂිපෙන්කෝ පවසන්නේ ‘චැලේන්ජ්’ චිත්‍රපටය හැකිතාක් තාත්වික අයුරින් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමට අවශ්‍ය බැවින්, එය සැබැවින්ම අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙනු ඇති බවයි.

චිත්‍රපටයේ කැමරාකරණ කටයුතු තමන් අතින් ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින සෙසු රුසියන් ගගනගාමීන් අතින් ද සිදුවනු ඇති බවත් අඩුපාඩු පසුව සකසා ගන්නා බවත් කිම් ෂිපෙන්කෝ පැහැදිලි කර තබෙනවා.

“ චැලෙන්ජ් චිත්‍රපටය නිර්මාණය වන්නේ දක්ෂ වෛද්‍යවරයකු පාදක කර ගනිමිනුයි. මොහු අභ්‍යවකාශයට යන්න සිහින දකින කෙනෙක් නම් නොවෙයි. අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන්ගෙන් කෙනකු අකරතැබ්බයකට මුහුණ දී රෝගී වෙනවා. ඔහු පෘථිවියට ගේන්න විදියක් නැති වෙනවා. ඔහුට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයාට අකමැත්තෙන් වුණත් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්න වෙනවා’ යැයි චිත්‍රපටයේ කතාව මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් කිම් ෂිපෙන්කෝ පවසා තිබුණා.

”වැලෙජ් චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාවේ මා සතුටට පත් වුණා. ඒත් හිතුවේ නැහැ ඇත්තටම අභ්‍යවකාශයට යන්න වේවි කියලා. ඒත් ඒක කරන්න සිදුවෙනවා. මාස ගණනක් තිස්සේ චිත්‍රපටයේ මම සහ කිම් ෂිපෙන්කෝ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ පුහුණුවීම් කළා. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව අපට ලැබුණා. බයයි නම් තමයි. ඒත් දැන් ආපසු හැරෙන්න බැහැ” යැයි යුලියා මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

අභ්‍යවකාශ නැවැතුම්පොළට යන සහ එහි රැදී සිටින සැබෑ රුසියන් ගගනගාමීන් ද නළුවන් ලෙස චිත්‍රපටයට එක් වනු ඇතැයි පැවැසෙයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x