ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

යොහානි බලන්න පැමිණි ඉන්දීය රසිකයින් බවට පළවූ ඡායාරූපය ව්‍යාජ එකක්

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සිය ප්‍රථම ඉන්දියානු ගායන ප්‍රසංගය සඳහා ඉන්දියාවට පිටත්ව ගිය අවස්ථාවේදී ඇය පිළිගැනීමට එරට නවදිල්ලි ගුවන්තොටුපළට ”ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි බවට” ඇතැම් මාධ්‍ය වාර්තාවල පළවුණු ඡායාරූපය එම අවස්ථාවේදී ගත් ඡායාරූපයක් නොවන බවට mawbima.lk කළ සොයා බැලීමකදී තහවුරු විය.

අදාළ ඡායාරූපය මීට වසර දෙකකට පෙර එනම්, 2019 වසරේ සැප්තැම්බර් මස 10 වන දා ජපානයේ ඇතිවූ ෆක්සායි සුළි කුණාටුව හේතුවෙන් එරට නරීටා ගුවන්තොටුපළේ ගුවන් මගීන් සිරවී සිටින අයුරුදැක්වෙන ඡායාරූපයකි.

ජපන් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන JAPAN Forward විසින් අදාළ ඡායාරූපය ඇතුළු නරීටා ගුවන්තොටුපළේ තත්ත්වය පිළිබඳව සඳහන් තවත් ඡායාරූප පෙළක් එහි පළ කර තිබිණි.

කෙසේ වෙතත්, මෙරට ඇතැම් මාධ්‍ය ඉන් එක් ඡායාරූපයක් උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, එය “යොහානි ද සිල්වා ගායන ශිල්පිනිය පිළිගැනීමට පැමිණි ලක්ෂ සංඛාත පිරිසගෙන් කොටසක්” දැක්වෙන ඡායාරූපයක් බවය.

JAPAN Forward වෙබ් අඩවියේ පළවූ මුල් ඡායාරූපය:

මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිගායනා කරමින් ලොවක් වසඟ කළ නව පරපුරේ මෙරට ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සිය ප්‍රථම ඉන්දියානු ගායන ප්‍රසංගය ඊයේ (සැප්.30) ගුරුග්‍රාම්හි පවත්වා තිබිණි.

ZEELIVE සමග සම්මුඛ සාකච්ඡාවකට ද ඊයේ සහභාගී වූ ඇය ඔක්තෝබර් 3 වන දින හයිද්‍රාබාද්හිදී ද තවත් විශේෂ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව ඇත.

කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් යොහානි ප්‍රථම වරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට ද පසුගිය දා පිවිසුණාය.

ලොව පුරා ඉමහත් රසික ආකර්ෂණයක් දිනා ගැනීමත් සමග ඉන්දියානු ප්‍රසංග කිහිපයක ගැයුමට ආරාධනා ලද යොහානි පසුගිය සැප්තැම්බර් 29 දින මෙරටින් ඉන්දියාවට පිටත් වූවාය.

(තාරක සම්මාන් – මව්බිම)

Related Articles

4 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x