ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මට දැනෙන විදිහට මගේ ජීවිතේ මම බොහෝ කැපකිරීම් කරන කෙනෙක්

සචිත්‍රගේ රුව වගේම කටහඬද එක සේ ජනප්‍රිය ඔබ ආදරය කළ බොහෝ විදේශීය නිර්මාණයන් සඳහා ඔහුගේ හඬ දායකත්වය ලබා දුන් නිසාය. ස්වර්ණවාහිනී නාළිකාවේ සති අග විකාශය වන ස්නැප් ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිතයකට පණ පොවන සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ සමඟ දේශය පුවත්පත විසින් කරනු ලැබූ සාකච්ඡාව මෙලෙස ගෙන එන ලබනවා.

මට දැනෙන විදිහට මගේ ජීවිතේ මම බොහෝ කැපකිරීම් කරන කෙනෙක්. බොහෝවිට මම එකපාර නිර්මාණ දෙකක් විතරයි බාරගත්තේ. මම බදාගෙන නිර්මාණ කරන්න ආස නැහැ. ඒ නිසා බාරගන්නා නිර්මාණ වෙනුවෙන් මම අතින් සියලුම දේවල් කැපකරලා බොහෝ වෙලාවට ඒ නිර්මාණ වෙනුවෙන් කැපකිරීම් කරනවා. නිර්මාණයකදී කොච්චර කාලයක් කැපවුණත් මට ඒක එච්චර ගාණක් නැහැ. මට මම කරන චරිතය සාර්ථක කරගන්නයි ඕන වෙන්නේ. ඒ නිසා එදා සිට අද දක්වා මේ කරපු කැපකිරීම් නිසා තමයි අද මම යම් තැනක හෝ මෙහෙම ඉන්නේ.

මට දැනෙන විදිහට නම් ඉරිසියාව කියන්නේ මහ ජරාම දෙයක්. හැබැයි මේ ක්ෂේත්‍රයේ ගොඩක් වැඩි දෙයක්. මම හැමවෙලේම කියන්නේ කවුරුවත් කාටවත් එහෙම ඉරිසියා කරල වැඩක් නැහැ. තමන්ට මොනව හෝ දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. වෙන කෙනෙක් ළඟ තියෙන දෙයක් වෙනුවෙන් ඉරිසියා කරල වැඩක් නැහැ. මම හැමවෙලේම කියන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා කියලයි. තමන් හොඳ ගමනක් යනවා නම් තව එකෙක් දෙන්නෙක් හෝ කොහොම හරි ඇදගෙන හරි යන්න කියලයි මම නම් කියන්නේ.

කඩාවැටීම කියන්නේ මනුස්සයෙක්ට නැවත නැගිටින්නත් හොඳ අවස්ථාවක්. මගේ ජීවිතේ බොහෝ කඩාවැටීම් තියෙනවා. ඒ කඩාවැටීම් ජීවිතේම කඩාවැටීමක් කරගන්නේ නැහැ. මම ඒ හැම කඩා වැටීමකදීම මම කොහොම හරි නැගිට්ටා. එක අවස්ථාවක එක්තරා ටෙලිනාට්‍යකදී මගේ ජීවිතේ මම ගතකරපු එපාම කරපු දවස් දහයක් ගතකරන්න සිද්ධ වුණා. ඒ දවස් දහයේදී මාව සෑහෙන්න කඩා වැටීමකට පත් කළා. ඒ වෙලාවේ මම මාරම විදිහට කඩා වැටුණා. එක දවසක මම මේ හැමදේම නතර කරලා දාන්න පවා තීරණය කළා. නමුත් දෙවියනි, කියලා ඒ වෙලාවේ මගේ අම්මා, තාත්තා, සහෝදරයෝ, මගේ නෑදෑයෝ වගේම මගේ යාළුවෝ මට හිටියා. හැමවෙලේම ඔවුන් මට වැටෙන්න දුන්නේ නැහැ. මට තනිවෙන්න දුන්නේ නැහැ. කොහොම හරි මගේ ජීවිතේ දරුණු කඩාවැටීමේදීත් මම ආයෙත් නැගිට්ටා.

මගේ ජීවිතේත් පසුතැවීම් තියෙනවා. ඒ අතරින් මගේ ජීවිතේ ආපස්සට ගිහින් මේ දේ වෙනස් කරගන්න තිබුණා නම් හොඳයි කියල හිතෙන අවස්ථාවන් මටත් තියෙනවා. ඒ වගේ පසුතැවීමක් වෙන සිදුවීමක් මටත් තියෙනවා. හැබැයි ඒ සිදුවීම නම් මම කියන්නේ නැහැ.

මට දැනෙන විදිහට මඟහැරීම කියන දේ හොඳ විදිහටත් වෙන්න පුළුවන්. වැරදි විදිහටත් වෙන්න පුළුවන්. අපිට බොහෝ ළඟින් ඉන්න කෙනෙක් අපිට මඟහැරුණොත් අපි ඒ ගැන පසුකාලයේදී පසුතැවෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අපි යමක් මඟහැරගන්න එකෙන් අපේ ජීවිතයට පසුකාලයේදී හොඳක් වෙන අවස්ථාත් තියෙනවා.

අත්හැරීම කියල මට දැනෙන්නේ කලකිරීමේ උපරිම අවස්ථාවයි. තමන්ට දෙයක් එපාවෙන උපරිම අවස්ථාවකදී තමයි මම නම් අත්හරින්නේ. මම ඒ දේත් අත්දැකලා තියෙනවා. විඳවනවාට වඩා අත්හැරලා දාන එක හොඳයි.

මට දැනෙන විදිහට මම ලෝකයේ දැකලා තියෙන ලොකුම පරිත්‍යාගය තමයි අම්මා තාත්තා දරුවන් වෙනුවෙන් කරන පරිත්‍යාගයයි. මගේ අම්මා තාත්තා හැමදේම අපි වෙනුවෙන් පරිත්‍යාගය කළා. මම දැකපු හොඳම පරිත්‍යාගශීලී දෙන්නා වන්නේ මගේ අම්මයි තාත්තයි. ඒක ඕනෑම දරුවකුට දැනෙන පොදු දෙයක්.

මගේ ප්‍රථම ප්‍රේමය සිදුවන්නේ පාසැල් කාලයේදීයි. ඒක හරිම අමුතු අත්දැකීමක්. ඒ කාලේ හැටියට ඒ මතකයන් අදටත් හරි සුන්දරයි. හැබැයි දැඩි කැමැත්තකින් කරපු තේරුමක් නැති කාලයේ කරපු ප්‍රේමයක්. පාසැල් ප්‍රේමය අමතක කරන්න බැරි දෙයක් කියලා බොහෝ දෙනා කිව්වට මට ඒක ලොකුවට මතක් කරන්න දෙයකුත් නැහැ. හැබැයි ඒක සුන්දරයි.

මට දැනෙන විදිහට ආදරය කියන්නේ ජීවිතය ගොඩක් වෙනස් කරන්න පුළුවන් දෙයක්. අපිට ජීවිත කතාව ඇතුළේදී එක එක ආදර කතා අපිට මුණගැහෙනවා. ඒ අතරින් අපිට ගැලපෙන හොඳම ආදරය ලැබුණොත් අපි දිනුම්. නැත්නම් ජීවිතේ ආපස්සට යාමක් තමයි සිදුවන්නේ.

පරාජය කියන්නේ දිනුමක ආරම්භයක්. පරාජය වෙන්න වෙන්න කෙනෙක් මුවහත් වෙනවා. ජීවිතයට පරාජය කියන දේ තියෙන්නම ඕනේ. පරාජය වෙලා නැගිටින මනුස්සයාව කාටවත් වට්ටන්න බැහැ.

අපි කරපු කැපකිරීම සහ අපි ආපු ගමන සාර්ථක වෙද්දී අපිට ජයග්‍රහණය හිමිවෙනවා. මගේ ජීවිතෙත් එහෙම ජයග්‍රහණයක් තියෙනවා. ඒවා ගැන හිතේ ලොකු සතුටක් තියෙනවා.

මට හිතෙන විදිහට මගේ ජීවිතෙත් මම ඉලක්ක ඇති කරගෙනයි තිබෙන්නේ. මිනිහෙක්ට ඉලක්ක තියෙන්නත් ඕනේ. ඉලක්කයක් තියෙන කෙනෙක්ට ජීවිතේ ගොඩදාගන්න ලේසියි.

දිශානි ජයමාලි කරුණාරත්න

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x