ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේවිශේෂාංග

skater girl සිනමා පටයට රිංගූ ගැහැණුන්

‘මිනිසුන් බෙදිය යුතු ද? කිසිසේත්ම නැත. එහෙත් සමාජය තුළ මිනිසුන් බෙදා තිබේ. එය ජාතිය, ආගම, වර්ගය හෝ කුලය ලෙස ද ඉන් ඔබ්බට ගොස් එක ම ආගමක් තුළ විවිධ නිකායන් හි පිළිගැනීම් විශ්වාස කරන්නන් වශයෙන් ද සමාජය බෙදා තීරු කර තිබේ. ඒ බෙදීම් විසුණු කිරීමට අරගල කරමු.’

භූ කලාපයක් ආක්‍රමණය කරමින් ජනපද පිහිටුවාගත් මිනිසුන් මෙන් ම ඒ ජනපද පිහිටුවූ කාලයේ ආක්‍රමණිකයන් හා සටන් කර පසුව පසුබැස ගිය ස්වදේශිකයන් ආදිවාසීන් වශයෙන් ද බෙදා කොන් කර දමා ඇත. ලෝකය එවැනි ය.

කෙසේ නමුත් මානව සමාජය එසේ බෙදා වෙන් කිරීම කෙතරම් සදාචාර සම්පන්න ද? හිස කෙස්, සම, දෙනෙත් වර්ණය අනුව මිනිසුන් බෙදීම සාධාරණ ද? කොතරම් නූතන පන්න යැයි කීව ද තවමත් ලෝකය තුළ විවිධ බෙදීම් දක්නට ලැබේ.

ඒ බෙදීම් නිසා වර්ගවාදී, ජාතිවාදී හා ආගම්වාදී අරගල මෙන් ම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙමින් ඇති ලෝකයක් තවමත් ඉදිරියට ගමන් කරමින් සිටී. එහෙත් මේ සියලු බෙදීම් නැති කරන්නට උත්සාහ ගන්නා හොඳම ස්ථානයක් තිබේ. ඒ ක්‍රීඩා පිටිය ය.

ක්‍රීඩාව තුළ එවැනි බෙදීම්වලට ඉඩක් නොමැති බව පසක් කරමින් ජෙසී ඔවෙන්ස් නම් කළු ජාතික ක්‍රීඩකයා දෙවැනි ලෝක යුද සමයේ ජර්මනියේ පැවැති ඔලිම්පික් උළෙලේ දී සුදු ජාතිකයන්ගේ රැවුම් ගෙරවුම් මැද සිය විභවතාවන් දක්වා සිටියේ ය. ඒ ක්‍රීඩාවේ ඇති චමත්කාරය යි.

දැඩි කුල, සංස්කෘතික ගැටුම්වලින් පීඩිත ජනතාවක් වෙසෙන ඉන්දියාවේ රාජස්ථානයේ ඈත පිටිසර ගමක ඉපදුණු කෙල්ලක් සංස්කෘතික තහංචි බිඳ දා තම හීනය වෙනුවෙන් කැපවුණු අයුර දැක්වෙන සිනමාත්මක ප්‍රයත්නයක් සම්බන්ධව ය.

skater girl (2021) යනුවෙන් එම සිනමා සිත්තම නම් කර ඇත. සාම්ප්‍රදායික ඉන්දීය සිනමාවේ මෑත කාලයේ නිර්මාණය වූ චිත්‍රපට කිහිපයක ම පොදු තේමාවක් ලෙස පැවැති දුප්පත් පවුලක හීනයක් පසුපස දුවන ළමයෙක්, ඒ හීනයට තහංචි දමන පියෙක් සහ සංස්කෘතියක් යන තේමාව මෙම චිත්‍රපටය තුළ ද අන්තර්ගත ය. එසේ වුවත් චිත්‍රපටය තුළින් දහස් සංඛ්‍යාත දුප්පත් දරුවන්ගේ සිහිනයක් සැබෑ කිරීමට මෙහි නිර්මාණකරුවන් සමත් ව තිබීම විශේෂිත ය.

එහි කතාංගය සැකෙවින් මෙසේ ය. ඉන්දියාවේ රාජස්ථානයේ ඈත පිටිසර ඉතා දුප්පත් ගමක කටුක ජීවිතයක් ගත කරන පවුලක දරුවන් දෙදෙනකු අතර වැඩිමහල් දියණිය “ප්‍රේනා” ය. ඇගේ පියා යම් පමණකට රළු චරිතයක් ලෙස කටයුතු කළ ද ඇයට යම් අස්වැසිල්ලක් ලැබෙන්නේ ආදරණීය මවකගේ රැකවරණය හිමි වන හෙයිනි. ඈ වචනාර්ථයෙන් ම අම්මකු යැයි කිව හැකි ය. තමා ජීවත් වන ගමේ කුල භේදය දැඩිව පැවැති නිසා පහත් කුලයක් නියෝජනය කරන ප්‍රේනාට ඇගේ පාසල් අධ්‍යාපනය අතරමඟ අතහැර දමන්නට සිදු විය. නිදහස දැඩි ලෙස ප්‍රිය කළ ද ඇයට උරුමව තිබුණේ නුදුරු දිනක දී ම අඩු වයසින් යුග දිවියට එක්වීමට ය. ඒ නිසා ඈ සිටියේ දැඩි කනස්සල්ලෙනි.

නමුත් එය එසේ වූයේ නැත. ඒ එක්තරා දිනක ප්‍රේනාගේ දෛවය උඩු යටිකුරු කිරීමට සමත් සුර දූතියක් ඇගේ ගමට පැමිණි හෙයිනි. ඉන්දීය සම්භවයක් සහිත ලන්ඩනයේ ජීවත් වන ඇය නමින් ජෙසිකා ය. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ලෝකය ආක්‍රමණය කර ඇති යුගයක වුවත් ප්‍රේනාගේ ගමේ සිටින ළමුන් එංගලන්තය කියා රටක් හෝ ලන්ඩනය කියා මුහුදෙන් එහා මහා නගරයක් ඇති බව දැන ගන්නේ ජෙසිකාගෙනි.

අරමුණක් නොමැතිව මේ ගමේ සංචාරකයකු ලෙස පැමිණි ජෙසිකාට නාවර පෙරාගත්ත කොලු රැලක් සහ කෙල්ලන් පිරිසක් මුණගැසෙන ආකාරය සිනමා පටය විස්තර කරයි. ඒ හමුව ලන්ඩනයෙන් ආ ජෙසිකාගේ ජීවිතයට සුවිශාල බලපෑමක් සිදු කරනු ලැබිණි. ඒ ප්‍රේනා ප්‍රමුඛ මේ ළමුන් පිරිස ය. එවැනි බලපෑමක් ඔවුන් සිදු කරන්නේ සිය නිර්මාණශීලි හැකියාව ප්‍රදර්ශනය කරමිනි. මෙය දකින ජෙසිකා වහා පාසල් අධ්‍යාපනය අඩාළ වූ ප්‍රේනාගේ අධ්‍යාපනය නැවත ලබා දීමට කටයුතු කළා ය.

ලෝකය පිළිබඳ කිසිත් නොදත් ගමේ ළමුන්ගේ දෛවය වෙනස් වන්නේ අහඹු ලෙස ය. ඒ ස්කේටින් බෝඩ් එකක හැඩය ගත් එක්තරා සෙල්ලම් බඩුවක් ගමේ ළමුන් නිර්මාණය කර තිබීම දකිනා විට ය. ඔවුන්ගේ දක්ෂතාව හඳුනා ගත් ජෙසිකා තම මිතුරකු වූ එරික් ලවා කුඩා දරුවනට ස්කේටින් ක්‍රීඩාව උගන්වයි. මෙම ක්‍රීඩාවේ ඇති අපූරු චමත්කාරය නිසා ම එය ළමුන් අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වෙයි. එහෙත් ගමේ වැඩිහිටියෝ ඊට දැඩි විරෝධයක් දක්වති. එම විරෝධයට හේතුව ළමුන් මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී පාසල් නොයෑමට පෙලඹීම ය. ඒ විරෝධය කොතරම් ප්‍රබල වූයේ ද යත් ඇයට නීතිය අභිමුව ද බලපෑමට ලක් වීමට සිදුවූයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රේනා වැනි නව යොවුන් වියේ පසුවන ගැහැනු ළමුනට නිවෙසින් එළියට බැසීමට තහංචි පැනවිනි.

“ප්‍රේනා දැන් ඔයාව අවුරුදු 14යි. ලබන මාසේ කසාද බඳින්න සූදානම් වෙන්න.” පියාගෙන් ප්‍රේනාට බල-පෑම් එල්ල වූයේ එලෙසිනි.

නමුත් මේ සියලු අභියෝග හමුවේ ජෙසිකා සිය සටන අත නොහැරියා ය. ඈ විසින් ගම තුළ ස්කේටින් ක්‍රීඩාව සිදු කළ හැකි උද්‍යානයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කරන්නේ එහෙයිනි. පුරුෂ මූලික සමාජයක කාන්තාවක් ලෙස මේ සා විශාල කටයුත්ත තනිව සිදු කළ නොහැකි නිසා ජෙසිකා ගමේ පිහිටි රජ මාලිගාවේ වත්මන් භාරකාරිය හමුවන්නී ය. කාන්තාවක් වශයෙන් ද ක්‍රීඩාවේ හා ගමේ ළමුන්ගේ අනාගතය ගැන සිතා රජ මාලිගයේ භාරකාරිය විසින් ඒ සඳහා ඉඩමක් ලබා දෙන්නට තීරණය කළා ය.

ජෙසිකා එම ඉඩමේ සිය පෞද්ගලික මුදලින් ස්කේටින් උද්‍යානයක් ඉදි කරනු ලැබිණි. අවසානයේ සමස්ත ඉන්දියාව ම නියෝජනය කරමින් ස්කේටින් බෝඩ් ශූරතා තරගාවලියක් සංවිධානය කරන ජෙසිකා ගමේ ළමුන් ද ඒ සඳහා සහභාගී කරවීමට තීරණයකට එළඹෙයි. ඒ වෙනුවෙන් ඔවුන් පුහුණු කළා ය. නමුත් අපේ කතා නායිකාව වන ප්‍රේනා ගේ විවාහය යෙදී ඇත්තේ එම තරගය පැවැත්වෙන දිනය දා ය. එනිසා ඇයට ඒ සඳහා සහභාගී වීමේ තහංචි පැනවී තිබිණි.

නමුත් තම දෛවය ලියැවී ඇත්තේ නිදහසේ පාවී යා හැකි ස්කේටින් බෝඩ් එකක් මත යැයි තීරණය කළ ප්‍රේනා කුලය, ජාතිය, සංස්කෘතික බැඳීම් සියල්ල අතහැර තමා විවාහ වන දිනය දා නිවෙසින් පැන ගොස් තරගයට සහභාගී වන්නී ය. ඇය එහි ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව දිනා ගන්නා අතර ගමේ ඉහළ කුලයක කාන්තාවක් වන රජ මාලිගාවේ භාරකාරියගේ විශේෂ ගෞරවයට ද ලක් වේ.

“ගැහැනියක් ලෙස මම මේ සංස්කෘතික බැඳීමට යටත් වෙලා ඉන්න ආස නැහැ. මම මේ ක්‍රීඩාවට ආදරය කරන්නේ එහි කිසිම නීතියක්, රීතියක් නොමැති නිසා. ඇත්තටම කියනවා නම් මම මගේ නිදහස වින්දේ මේ අඩි 3 බෝඩ් එක උඩ. අවට පරිසරය හා වෙළෙන සුළඟ මත පාවී ගිහින්.”

චිත්‍රපටය තුළ කුල භේදය සංවාදයට ලක් කළ ද එහි සාකච්ඡා කෙරෙන ප්‍රධානම කාරණාවක් ගැහැනු දරුවකු කළ යුතු දේ හා නොකළ යුතු කුමක් ද යන්න සම්බන්ධ ව පවතින හණමිටි සමාජ සම්මතය යි. දුබලයාට එරෙහිව ප්‍රබලයා බාධාවක් වීමකට ත් වඩා, තමන්ගේ ම රැහේ තමන්ගේ ම දෙමාපියන් ගේ අකුල් හෙළීම් මැද සිය සිත රැඳි සිහින බොඳ කර ගන්නා ගැහුනු ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැඟීම මෙම සිනමා සිත්තෙන්ම සිදු කෙර්.

සිහින දැකිය යුතු ය. එපමණක් නොව ඒ සිහින හඹා යා යුතු ය. එසේ සිහින හඹා යන විට අප ජීවත් වන බවක් අපට හැඟෙයි. එහෙයින් කිසිවිටකත් සිහින අතහැර නොදා ඒ සිහින සැබෑ කර ගන්නට උත්සාහ කළ යුතු ය. එසේම තමන් දෙයක් අත්පත් කර ගන්නවාට වඩා අනෙකකුට යමක් ප්‍රදානය කිරීමෙන් සතුටක් ලබා ගත හැකි බව ද මෙම සිනමා පටය මඟීන් සමාජයට ඉදිරිපත් වෙයි.

මෙම චිත්‍රපටිය හුදෙක් කතාවකට පමණක් සීමා නොවී යථාර්ථයක් බවට පත් කරීමට එහි නිෂ්පාදන කණ්ඩායම සමත් වූයේ දින 45ක් වැනි කෙටි කාලයක් තුළ වීම විශේෂත්වයකි. කාන්තාර භූමියක් වූ රාජස්ථානය තුළ පළමු මෙන් ම ඉන්දියාවේ ලොකු ම ස්කේටින් පාර්ක් එක නිර්මාණය කරමින් ඔවුහු එය සාර්ථක කර ගත් හ. එය නමින් The Desert Dolphin Skate park යනුවෙන් නම් කර තිබේ. එහෙයින් අද වන විට කිසිදා සිහින නොදුටු දරුවන් සිය ගණනක් සිහින හඹා යෑම අරබා තිබේ.

එමෙන් ම ඉන්දීය සිනමා ඉතිහාසයේ ස්කේටින් ක්‍රීඩාව මූලික කර ගනිමින් නිර්මාණය කළ පළමු චිත්‍රපටය ලෙස ද මෙම සිනමා සිත්තම ඉතිහාස ගත වෙයි. නෙට්ෆ්ලික්ස් හරහා පසුගිය ජූලි 11 වැනි දා විකාශන කටයුතු ඇරඹූ මෙම චිත්‍රපටයේ රංගනයෙන් Amrit Maghera, Weheeda Rehman, Jonathan Readwin, Rachel Saanchita Gupta යන අය දායක වෙති. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Manjari Makijany ගේ ය. සිනමා පටයේ සමස්ත ක්‍රියාවලිය සඳහා දායකත්වය සපයනු ලබන්නේ කාන්තාවන් වීම ද එහි ඇති තවත් සුවිශේෂත්වයකි

දිනුක මලින්ද හේරත් – ක්‍රීඩා

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x