ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මහා ප්‍රේක්ෂක ආදරයක් මං මේ මොහොතෙ ලබමින් ඉන්නවා

දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් මෙන්ම අපේ ජන සංගීතය සමඟ එන කලා නිර්මාණ එක්ක මුසු වෙන ආදරණීය නමක් සමන් ලෙනින්. උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් ගැනත් සිංහල ජන සංගීතය ගැනත් හසළ දැනුම් සම්භාරයක් තිබුණත් ඔහු තවමත් දැනුම සොයා යන පිපාසයෙන් සිටින අපේ කාලයේ සොඳුරු කලාකරුවෙක් විදියට හඳුන්වන්නට පුළුවන්. මේ දින වල ජන සංගීතය සමඟ ජන නැටුම් සාම්ප්‍රදායේ කන්ද උඩරට නර්තනය මූලික කර ගත් රනිල් කුලසිංහ තරුණ අධ්‍යක්ෂවරයාගේ පානමංකඩ නිර්මාණයෙන් සමන්ව අපට දැක ගන්නට පුළුවන්. ඒ කංකාරියට නටන්නට එවුන් හොයන අපලයා ලෙසින්.

පානාමංකඩ නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුයි. එසේම ඔහු අපලයා චරිතයේ ජීවත් වෙමින් කරන රංග කාර්ය තුළ දී අපලයා චරිතය රඟපාන බවක් අපිට නොදැනේ. එමෙන්නම සමන් ලෙනින් පානමංකඩෙහි තුන් ඉරියව්වෙන් ම දක්ෂතා පෙන්වයි. ඒ සංගීතයෙන්, ගායනයෙන් හා රංගනයෙන්. මේ සියල්ල නිසාම සිළුමිණ රසඳුන ආදරණීය කතාබහකට සමන් ලෙනින් ව සම්බන්ධ කර ගත්තා.

මම කලා ලෝකයේ නොපැතූ අගය කිරීමක් ලැබෙනවා. ප්‍රවීණ රංගධරයෙක් ලබන්න ඕනේ ආදරයක් මම මේ වෙලාවේ ලබමින් ඉන්නවා. රංග කාර්ය කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ දෙයක්. මම නිරන්තරයෙන් දැනුම හොයන කෙනෙක්. රංගනයෙන් ලැබෙන ආස්වාදය වගේම මගේ දැනුමට එකතු වුණු දේවල් එක්ක මම බොහොම සතුටින් ඉන්නේ. මට මුලින් ම මෙහි තිර රචක සමන්ත ගමගේ තමා කතා ක‌ෙළ්. මෙවැනි නිර්මාණයක් කරන්න යනවා ඔයාට කතා කරයි කියලා. පසුකලෙක ඒ දේවල් අමතක වෙලා යන කාලයකදී රනිල් කුලසිංහ කියන තරුණ අධ්‍යක්ෂවරයා මා සොයා එනවා. ඒ මේ නිර්මාණයේ සංගීත කටයුතු මට බාර දෙන්න. ඒ ආව දවසේ ඉතා පැහැදිලි ව මට කතාව කිව්වා. මමත් ඉතා සංවේදී ව මේ කතාව අහගෙන හිටියා. එතැනදී තමා මට කිව්වේ අයියේ, අයියට මේකේ චරිතයකුත් තියෙනවා. ඒ තමා අර කිව්ව අපලයා ගේ චරිතය කියලා. මම මුලින් ම බෑ කිව්වා. සංගීත වැඩ ටික ආසාවෙන් කරන්නම් චරිතයට කෙනෙක් හොයා ගන්න කියලා. රනිල් කුලසිංහ තමා මට නැවත කිව්වේ නැහැ අයියගේ කතාව පෙනුම මේ හැමදෙයක් ම අයියට ගැළපෙන නිසා අයිය ම මේ චරිතය කළොත් ලොකු දෙයක් කියලා. ඊට පස්සේ මම කල්පනා කරලා මගේ පවුල් වල උදවිය එක්කත් කතා කළා ම මගේ පොඩි අයියත් කිව්වා මල්ලි ඒ චරිතය කරන්න කියලා. ඊට පස්සේ තමා මම චරිතය බාර ගත්තේ.

මම වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වෙලා තියෙනවා. ඒවායෙන් ඈත් වුණේ අපි හඬ උපරිමයෙන් භාවිතා කරලා ඒ නිර්මාණ ප්‍රේක්ෂකයාට තිළිණ කරද්දී. කලාව ගැන අවබෝධයක් නැති නළුවාගේ රංග කාර්ය කරගන්නට නොදෙන ඉතා අතළොස්සක් පිරිස තවමත් ඉන්න පැති අපිට මුණ ගැහෙනවා. ඒ අයගේ හඬ පරයා කලාකරුවන්ට තමන්ගේ දෙබස් කතා කරන්න වෙනවා. ඒ නිසා මම වේදිකාවෙන් සමු ගත්තා. අන්තිමට මම රඟපෑවේ ජයලත් මනෝරත්න මහත්තයගේ බූරුවා මහත්තයා වේදිකා නාට්‍යයේ පූරකගේ චරිතය. ඊට අමතර ව රන්සිරිමල් නාට්‍යයේ සිරිමල්ගේ තාත්තා ට සහ යස ඉසුරු නාට්‍යයේ රඟපාලා තියෙනවා.

රනිල් ව මම දකින්නේ ඉතා හොඳ කලා හැකියාවක් තියෙන තරුණ අධ්‍යක්ෂවරයෙක් විදියට. මගේ රංග කාර්ය තුළදී ඇතැම් වෙලාවට අයියේ ඒක නම් නියමෙට කෙරුණා කියනවා වගේම තවත් තැන් වලදී ඒක අපි මෙහෙම කරමුද කියලා අහලා ඉතා හොඳ රංගනයක් අදාළ චරිත නිරුපණයෙන් ලබා ගන්න ඔහු සමතෙක්. මෙතැනදී මම තිර රචක සමන්ත ගමගේත් අපේ අප්පච්චිගේ භූමිකාව රඟ දක්වන ලක්ෂ්මන් මෙන්ඩිස් සහ නිමල් පල්ලෙවත්ත වගේ ආදරණීය කලාකරුවන් ගැනත් කියන්න ඕනේ. මම රංගනයට එතරම් පරිණත කෙනෙක් නොවන නිසා මට මගේ මේ චරිතය කරගන්න ඔවුන් ලොකු සහයෝගයක් දුන්නා. අලුත් දේවල් සමාජයට ලෝකයට අවශ්‍යයි. ඒ දේවල් අත්හදා බලමින් තමා මම නිරතරයෙන් ඉන්නේ. ඒ ඔස්සේ සංගීතමය ප්‍රකාශන ඉදිරියේදී දැක ගන්න ලැබෙයි. ඒ දේවල් කරගෙන යද්දී තමා මේ ස්වභාවික විපතට අපි හැමෝම මුහුණ දෙන්න වුණේ. මම කොහොමත් ඕනෙ ම තත්ත්වයක් දකින්නේ “ඒක එහෙමයි” කියලා. මොකද මේ හැමදේම අපි දකින්නේ වුණාට පස්සේ. දැන් හිතන්නකෝ මුළු ලෝකය ම ක්ෂණික ව අළු දූවිලි වෙලා යන්න පුළුවන්, එහෙමත් නැත්නම් ආයෙත් කැලේට ගල් ගුහා වලට යන්න පුළුවන්. මනුස්සයා මේ තත්ත්වයට ආවේ පවතින ඕනෙ ම තත්ත්වයන් යටතේ අනුවර්තනය වෙමින්. ඔරොත්තු දීමේ හැකියාව හැම සත්ව ප්‍රජාවකට ම තියෙනවා. ඔරොත්තු දී ගන්නම බැරි වුණොත් ඒ සත්ව ප්‍රජාව සමාජයෙන් තුරන් වෙනවා. අතීතයේ හිටිය ඩයිනෝසරස් වගේ තව ගොඩක් අය අද දකින්නේ නැහැ.

ඉතින් අද අපි මනුස්සයෝ විදියට ඩයිනෝසරස්ලා ගැන කතා කරනවා වගේ මිනිස්සු ගැන ඉස්සරහට බූරුවන් කතා කරනවා වෙන්න පුළුවන්. මේ කතාව බරපතළ කතාවක්. කෙටියෙන් ම නම් මනුස්සයට වඩා හිතලා මතලා වැඩ කරන්න පුළුවන් සත්වයෙක් බිහිවෙන්න බැරි නැහැ. මේ කාලයේත් මුකුත් ම කරන්න බැරි නැහැනේ. ඒ නිසා ඕනෙ ම තත්ත්වයක් යටතේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා. පොඩි කාලයේ ඉඳන්ම විවිධ උපාංග වලට ආස කෙනෙක්. කැමරාවත් ඉන් එකක්. අපේ ගෙදර කොල්ලො ම පහක් නිසා මට පොඩි කාලයේ කැමරාවක් අරන් දෙන්න අපේ ගෙදර අයට සල්ලි තිබ්බේ නැහැ. අද බලද්දී අපේ අම්මලා තාත්තලා අපිව ජිවත් ක‌ෙළ් කොහොමද කියලා හිතාගන්නවත් බෑ. ලොකු අයියට සහ මගේ ලොකු අම්මගේ පුතාටත් තිබ්බ කැමරාවක්. අනේ ඉතින් අල්ලන්නවත් දෙන්නේ නැහැ.

ඒ අයත් සෑහෙන්න මහන්සි වෙලා ගත්තේ. ඒ වගේම කැමරාව ගැන දන්නා කෙනෙක් කැමරාවක් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලන්නෙත් නැහැ. ඉල්ලුවත් දෙන්නෙත් නැහැ. දරුවෙක් රකිනවා වගේ තමා රැක ගන්නේ. ප්‍රසාද් හපුආරච්චි, චින්තක ද සිල්වා, සුනන්ද ජයසේකර වගේ අය ළඟින් ඇසුරු කරද්දී මගේ යටි හිතේ තිබ්බ ආසාව ඔප් නැංවෙනවා. ඉතින් මමත් සල්ලි එකතු කළා කැමරාවක් ගන්න.

එතැනදී මට DNH ආයතනය සහ ස්විඩනයේ වෙසෙන ධර්මසිරි නවරත්න මාමා උදව් කරපු නිසා සම්පූර්ණ කැමරා උපාංග කට්ටලය ම මට ගන්න පුළුවන් වුණා. දැන් ගීතයක් නිර්මාණය කරලා ලබන ආස්වාදයම මම විඳින්නේ මම ගන්න ජායාරූපයකින්. ඒ සියල්ල මම මගේ මුහුණු පොත හරහා පළ කරනවා. ඒ ජායාරූප වලට ප්‍රසිද්ධ කවි කිවිඳියෝ කවි ලියනවා. මට දැනෙන හැම වේදනාවකදී ම වුණත් ජායාරූපයක් සමාජයට මුදාහැරලා තමා මම සතුට ලබන්නේ. මට පණ වුණත් දෙන්න පුළුවන් සහෘදයන් ඉන්නවා.

ඒ අයට මම අලුතින්ම ඉදිරිපත් කරන නිර්මාණ තමා මම ගන්න ජායාරූප. මුළු ලෝකයකට ම අපි කරගෙන ගිය වැඩ කරගන්න බැරි වුණු වෙලාවකදී ඔබට වෙන වැඩකට අනුවර්තනය වීමේ හැකියාවක් තියෙන්න ඕනේ. හැමවැටෙන මොහොතක ම අලුතින් හිතමු; අලුතින් නැගිටිමු.

අනුෂා රණසිංහ – සිළුමිණ පුවත්පත

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x