ඡායාරුප ගැලරියේවිශේෂාංග

ලොක්ඩවුන් එකෙන් නැතිවෙන්නේ කුඩා ව්‍යාපාරිකයන් හා දුප්පතුන්

කොවිඩ් වසංගතය හමුවේ රටේ ආර්ථිකයට සිදුවී ඇති හානිය සුළුපටු නැත. එක් පැත්තකින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වීමත්, ඒ හා සමානව රටේ ආදයම අඩුවීමත්, ඊට වඩා තුන් ගුණයකින් රජයේ වියදම් අධික වීමත් නිසා රටක් ලෙස අප මුහුණ පා ඇති තත්ත්වය ලෙහෙසි පහසු නැත. ආණ්ඩුවට ඇති ලොකුම ප්‍රශ්නය ඩොලර් සංචිතය සිඳීයාමය. එය ආණ්ඩුවට පමණක් නොව රටටම අභියෝගයක් වන දිනය වැඩි ඈතක නොවන බව නොරහසකි.

විශේෂයෙන් වසංගතය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශක මත රට වසා දැමීම මේ අසීරු තත්ත්වය දෙගුණ තෙගුණ කරන්නකි. ලෝකයේ කුඩාම ආර්ථිකයකට හිමිකම් කියන අපට එක් ඩොලරයක් පමණක් නොව ගතවන සෑම තත්පරයක්ම වැදගත්ය. ඒ ගැන අමුතුවෙන් අර්ථ ගැන්වීම් අවශ්‍ය නැත.

මේ තත්ත්වය හමුවේ අපි රටක් ලෙස මුහුණ දී ඇති අභියෝග සම්බන්ධවත් ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත්, ඒ සඳහා ජනතාවට ඇති වගකීම ගැනත් ප්‍රකට ව්‍යාපාරිකයකු වන හේලීස් සහ වැලිබල් සමාගම් සභාපති ධම්මික පෙරේරා සමඟ සංවාදයක් කළෙමු. මෙය එක් පැත්තකින් සංවාදයකි. මෙය තවත් පැත්තකින් වර්තමානය ගැන ආර්ථික විග්‍රහයකි.

මේ ලිපිය ලියන මොහොත වනවිට රට නිරෝධායනය ඇඳිරි නීතියකට යටත්ව තිබුණු අතර එය කිහිපවතාවක් දීර්ඝ කෙරිණි. මේ වසා දැමීම සෞඛ්‍ය අංශවල මූලික ඉල්ලීමක් වූ අතර ඒ හා සමානව ඇතැම් පාර්ශ්වද එවැනි ලොක්ඩවුන් වීමක් සිදුකළ යුතු බව පුන පුනා රජයට ඉල්ලීම් සිදුකළෝය. මේ සම්බන්ධයෙන් විවිධ මත, අදහස් සමාජය තුළ කතාබහට ලක්වන නිසා රට ලොක්ඩවුන් කිරීම කෙතරම් සාර්ථකද යන්න ධම්මික පෙරේරා මහතාගෙන් අපි මේ කතාව ආරම්භයේදීම විමසා සිටියෙමු.

මේ තියෙන තත්ත්වය එක්ක කෙටිකාලීනව ලොක්ඩවුන් එකකට යන එක හොඳයි. එතකොට යම් ආකාරයකට රෝගය පැතිරීම සීමා කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේ. එහෙම නැතුව මම හිතන්නේ නෑ රට පුර්ණ ලොක්ඩවුන් එකකට යන්න ඕන කියලා. මේ වෙලාවේ කරන්න ඕන අපේ රටේ තියෙන ග්‍රාමසේවක කොට්ඨාස 14,000 අනුව, වැඩිම රෝගීන් වාර්තා වෙන ග්‍රාමසේවක කොට්ඨාස 200ක් 300ක් පමණක් ලොක්ඩවුන් එකකට යන එක හොඳයි. ඒ කියන්නෙ ස්මාර්ට් ලොක්ඩවුන් එකකට. එහෙම නැතිව පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කිරීම තුළ ප්‍රධාන වශයෙන් ඩොලර් හිඟය ඇතිවෙන්න පුළුවන්.

දැන් අපේ රටේ සියල්ල නිෂ්පාදනය කරන්නේ නෑනේ. පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි, බෙහෙත් ගත්තම පිළිකා රෝගීන්ගේ බෙහෙත්, හාට් පේෂන්ලට දාන ස්ටෙන්ට්, පීසීආර් ටෙස්ට්, ඇන්ටිජන් ටෙස්ට් මේ සියල්ල මිලදී ගන්න ඩොලර් ඕන. ඩොලර් නැතුව කිසිදෙයක් කරන්න බෑ. විශේෂයෙන් අපේ රටට ඩොලර් එන මාර්ග හතරක් තියෙනවා. එකක් සංචාරක ක්ෂේත්‍රය. ඒ පාර දැන් වැහිලා. අනික පිටරට ආයෝජන, ඒ පාරත් දැන් වැහිලා. දැන් එතකොට තව පාරවල් දෙකයි තියෙන්න. ඉන් එකක් තමයි අපේ අය පිටරට ගිහින් හම්බකරලා එවන ඩොලර්, අනික අපි නිෂ්පාදනය කරලා අපනයනය කරන දේවල්. අයිටී ක්ෂේත්‍රයේ අය තමන්ගේ දැනුම, නිෂ්පාදන විකුණලා ඩොලර් ගේනවා. විශේෂයෙන් අයිටී පැත්තට උදාහරණයක් ගත්තොත් සමහර ලෝකේ තියෙන බැංකු සේවාවන් දුවන්නේ අපේ රටේ අයිටී ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන්. ඒක මම හොඳටම දන්නවා. දැන් හිතන්න අපි සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ගිහින් ඒ අය ගෙදර හිටියොත් අර සර්විස් ලබාගත්ත පිටරට බැංකු වහන්නද? ඒ අය කරන්නේ අපේ අය වෙනුවට වෙන අය හොයාගන්න එක. ආයේ ජීවිතේට ඒ අවස්ථාව අපිට හම්බෙන්නේ නෑ. ඒ නිසා සම්පුර්ණ ලොක් ඩවුන් එකකට නොගිහින් අර ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ගියා නම් ඇත්තටම හොඳයි. මොකද අපි වගේ ව්‍යාපාරිකයන්ට මේකට මුහුණ දෙන්න පුළුවන්. ඒත් රජයක් හැටියට මේකට මුහුණ දෙන්න බෑ ආණ්ඩුවට, ඒ වගේම ලොක්ඩවුන් එකේදී දෙන 5000න් මාසයක් ජීවත් වෙන්නත් මිනිස්සුන්ට බෑ.

රටේ තියෙනවා දෙන්නා ඉඳලා දහදෙනා එකතුවෙන් පටන් ගත්ත පොඩි ව්‍යාපාර. ඒ ව්‍යාපාර මේ වගේ වෙලාවක සම්පූර්ණයෙන් වහලා දාන්න වෙනවා. මතක තියාගන්න ඕන ඔය මිනිස්සු තමයි තව අවුරුදු දහයකින් ලොකු මිනිස්සු වෙන්නේ. ඒත් දැන්ම ඉඳලා ඒ මිනිස්සු විනාස කළොත් ලොකු වෙන්න මිනිහෙක් නැතිවෙනවා අනාගතේ. තව තියෙනවා කුඩා තනි ව්‍යාපාර මිලියනයක් විතර. ඒවත් වැහෙනවා. ඒ නිසා මම කියන්නේ මේ විදිහට වැහුවොත් අපනයනය අඩුවෙලා ඩොලර් හිඟවෙලා, අපිට අවශ්‍ය ඖෂධ එහෙම ගන්න බැරි වුණොත් දැන් ඉන්න ප්‍රමාණයට වඩා මිනිස්සු මැරෙනවා. අඩුම ගානේ ගෑස් ටික නැතිවුණොත් හිතන්නකෝ. සමහර ගෙවල්වල දර ලිපෙන් උයන්න බෑ. ඒ ගෙවල් හදලා තියෙන විදිහට. හිතන්න ගල් අඟුරු, තෙල් ගන්න ඩොලර් නැතිවුණොත් ලයිටුත් නෑ, වතුරත් නෑ.

 

මම ඔබට ඉදිරිපත් කරන්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ගිණුම, කර්මාන්ත මූලය අනුව දළ දේශීය නිෂ්පාදනය. මේක කොටස් 48 කට වැටිලා තියෙනවා. මේ කොටස් 48 එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා ලොක්ඩවුන් කිරීම හරහා වෙන්නේ මේ බැඳීම තුළ රට දුවාගන්න බැරිවෙන එක. එක පැත්තකින් රුකියා අහිමි වෙනවා.

ධම්මික පෙරේරා මහතා කියන ආකාරයට ලොක්ඩවුන් කිරීම මත රටේ ආර්ථිකයට එල්ලවන බලපෑම සුළුවෙන් තැකීමට නොහැකිය. විශේෂයෙන් රජයේ වියදම හා සමානව රටේ ආදායම අහිමිවීම නිසා ආ‍ර්ථිකය සමපාත නොවීමේ ඛේදවාචකයකට රටේ සියලුදෙනාටම එකහා බුක්ති විඳින්නට සිදුවනු ඇත. ඒ විශේෂයෙන් කුඩා ව්‍යාපාරිකයන් සහ රුකියා ලාභී පිරිසටය.

රජයට සම්පූර්ණ ආදායම තියෙන්නේ රුපියල් බිලියන 1300යි, ඒකෙනුත් 1100කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්නේ රජයේ සේවකයන්ගේ පඩිවලට. හදිසියෙවත් ඒ ආදායම ඔතනිනුත් පහළට වැටුණොත් ආණ්ඩුව පඩි දෙන්නේ කොහොමද? පැන්ෂන් ගෙවන්නේ කොහොමද? පිං පඩි, සමෘද්ධිය ගෙවන්නේ කොහොමද? ඒ නිසා මෙහෙම ගියොත් හැමෝටම විඳවන්න වෙන්නේ. එදිනෙදා පවුල් ජීවත්වෙන විදිහට තමයි ආණ්ඩු ජීවත් වෙන්නේ. සමහර පවුල් තියෙනව බැංකුවල මුදල් තියෙන නිසා ඒ මුදල් වලින් ජීවත් වෙන. ඒ අයට ලොක්ඩවුන් එක ප්‍රශ්නයක් නෑ. අපේ රටත් වෙන රටවල මුදල් ආයෝජනය කරලා තිබ්බා නම් එහෙම කරලා ඉන්න තිබ්බා.

කෙසේ වෙතත් රජයෙන් රට වසාදැමීමට පෙර රටේ අවදානම ගැන වැඩිම අවධානය යොමුවුණේ නාගරික වෙළෙඳ ප්‍රජාවටය. ඔවුහු ස්වයං වාරණයකට යමින් නගරවල පිහිටි වෙළඳසල් වසා දැමීමට තීරණය කළහ. එහෙත් ඒ තීරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා, විවේචන විවිධ පුද්ගලයන්ට අනුව විවිධ විය. එම තීරණ නාගරික වෙළඳ ප්‍රජාව විසින් ගතයුතුද යන්න ධම්මික පෙරේරා මහතාගෙන් විමසුවෙමු.

මෙහෙමයි අර මම කිව්වා වගේ ඒ නගරයේ කොවිඩ් අවදානමක් තියෙනවා නම් ඒ තීරණය ගත්තට කමක් නෑ. එහෙම නැතුව රජයට සහාය දෙන්න කියලා අවදානමක් නැතුව වහනවා නම් ඇත්තටම ඒක රජයට සහයක් නෙමෙයි කරන්නේ. එක් පැත්තකින් රජයට ආදායම අහිමි කිරීමක්. ඊටපස්සේ ආයේ අර ප්‍රශ්න ටික ඇතිවෙනවා. මේ රටේ ඉන්නවා පුද්ගලයෝ කණ්ඩායම් දෙකක්. එක කණ්ඩායමක් කෑම කාලා ඇවිදින අය, අනෙක් පිරිස ඇවිදලා කන කට්ටිය. ඒ අය කන්න හොයාගන්න ඇවිදින්න ඕන. මේ තත්තවය හරියට තේරුම් ගන්න පුළුවන් තමන් කොයි ගොඩේද ඉන්නේ කියලා බැලුවම.

ඇත්තටම මේ වෙලාවේ ආණ්ඩුවත් ජනතාවට හරි තොරතුරු ලබාදීලා මේ අවදානම පහදන්න ඕන. ඒ හරහා පුළුවන් ඒ ඒ කොට්ඨාස මට්ටමෙන් ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න. මම වුණත් කොළඹ කොවිඩ් ලෙඩ්ඩු කීයක් ඉන්නවද දෛනික ෆෝන් එකට ගෙන්නගෙන බලනවා. ඊටපස්සේ මම වැඩ කරන්නේ කොළඹ තත්ත්වය ගැන අවබෝධයෙන්. ඒ වගේම රජය දැනගන්න ඕන ජනතාවට රටේ සැබෑ ආර්ථික දත්ත, විශේෂයෙන් මම මුල කිව්වා වගේ මහ බැංකු ජාතික ගිණුම වගේ දේවල් පෙන්නලා මේ තත්ත්වය පැහැදිලි කරන්න. මෙහෙම තමයි ආර්ථිකය දුවන්නේ කියලා පෙන්වන්න. විශේෂයෙන් පාසලක තියා විශ්වවිද්‍යාල තුළවත් ඔය ජාතික ගිණුම උගන්නන්නේ නෑ. ඒ නිසා රජයෙන් තමයි ඒ වගකීම ගන්න ඕන.*
විශේෂයෙන් මේ දිනවල ආණ්ඩු පාර්ශ්වයේ ඇතැමුන්ගේ එක් අරමුණක් වී ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපෙන් කොටසක් කපාගැනීම ගැනය. එහෙත් ඒ සම්බන්ධයෙන් සමාජයෙන් එල්ලවන ප්‍රතිවිරෝධය විශාලය. එයට හේතුවී ඇත්තේ ජනතාව ජීවිත කාලය පුරාම කැපවීම් කර ඇති නිසා මේ මොහොතේ කැපවීම් කළ යුත්තේ පාලකයන් විසින් යැයි ගොඩනැගෙන මතවාදය නිසාය. ඇත්තටම වැටුප් කැපීමක් සිදුවිය යුතුද? ඒ හරහා යම් ආර්ථික තල්ලුවක් රජයට ලබාගත හැකිද? එය සාධාරණ යෝජනාවක්ද?

මෙහෙමයි දැනටමත් රටේ පෞද්ගලික ආයතන රුසක මේ තත්ත්වය හමුවේ දෙන්නේ වැටුප් සීමාසහිතව. විශේෂයෙන් වැටුප් වර්ධක, වරප්‍රසාද සියල්ල කපා දමලා. අපේ ව්‍යාපාර නම් එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නෑ. හිතන්න කාලයක් වහලා තිබ්බම ව්‍යාපාරයක් කෙලින්කරන්න අමාරුයි. එතකොට විවිධ තීරණ ගන්න වෙනවා ව්‍යාපාරය පවත්වාගෙන යන්න. රාජ්‍ය සේවකයටත් එහෙමයි. හැබැයි ඔය ආණ්ඩුවේ අය කියන එක ඒ විදිහටම ගන්න එපා. පඩියෙන් බාගයක් ආණ්ඩුව ගන්නවා නෙමෙයි මේ විදිහට ගියොත් හැමෝටම දෙන්න වෙන්නේ පඩිබාගයයි. ඒක තමයි ඔය වෙන විදිහකින් කියන්නේ. රජයට සල්ලි නැත්තන් කොහොමත් දෙන්න වෙන්නේ පඩි බාගයයිනේ.

මේ වසංගතයත් එක්ක දුප්පතුන් බිහිවෙනවා. අර මම කිව්ව මයික්‍රෝ ව්‍යාපාර මේ වෙනකොටත් බංකොලොත් වේගෙන යන්නේ. රට දුප්පත් නම් සියලු දෙනා දුප්පත්. ඒ නිසා මේ වසා දැමීමේ ප්‍රතිඵලය කොච්චරක්ද කියලා රජයට තව ටික දවසකින් තේරෙයි. කොයිතරම් පාඩුවක්ද කියලා. ඒ නිසා ආණ්ඩුව විවිධ අයගේ යෝජනා කරලා ඒ ඒ අවස්ථාවට අනුව තීරණ ගන්න නරකයි. ආණ්ඩුව විසින් හදාගන්න ඕන මේ ආර්ථික අවුලෙන් ගොඩ එන්න ක්‍රමවේදයක්. විශේෂයෙන් මේ තත්ත්වය මත. මොකද දැන් ඕන ආණ්ඩුවට ඩොලර්. ඩොලර් නැතිවුණොත් සිදුවන හානිය පොඩි නෑ.

මේ තත්ත්වය මත කෙතරම් කාලයක් රට වසාදමිය යුතුද? එසේ නොකර සිටීම හරහා සිදුවන අවදානම කොපණද? මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කුමක් කළ යුතුද යන්න හැමදෙනාටම විවිධ මත ඇත. ඒවා පෞද්ගලික විය හැක. ඒවා පොදුවිය හැක. සාධාරණ විය හැක. අසාධාරණ විය හැක. මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වශයෙන් ධම්මික පෙරේරා මහතාගේ මතය කෙසේද යන්න අපි අවසාන වශයෙන් විමසුවෙමු.

ලොක්ඩවුන් කරනවා කියන්නේ පෝසත් මිනිහා ජීවත් කරන ක්‍රමය. රට විවෘත කරනවා කියන්නේ දුප්පත් මිනිහා ජීවත් කරන ක්‍රමය. හැබැයි ඒක නිසයි මම කිව්වේ මට මේ ලොක්ඩවුන් වීම ප්‍රශ්නයක් නෑ. ඒත් ප්‍රශ්නය තියෙන්නේ රජය, රුපියල් 5000 ගන්න දෛනික වැටුප් ලාභියා, මිලියනයක විතර ඉන්න කුඩා ව්‍යාපාරිකයා, අන්න ඒ අයට තමයි මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ .ඒ නිසයි මම කියන්නේ මේ ලොක්ඩවුන් කරන එක ගැන තව හිතන්න ඕන. ඇත්තට දැන්වෙලා තියෙන්නේ ප්‍රශ්න කියන්න ලෙඩ්ඩු ඉන්නවා. ඒත් උත්තර දෙන්න වෛද්‍යවරු නෑ

ඒ වගේම මේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ එන්න මිනිස්සුන්ට අනිවාර්යයෙන් නිවැරදි අධ්‍යාපනය ලබාදෙන්න වෙනවා. වෘත්තීය අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත්. අපේ රටේ බිහිකරන වෘත්තීයවේදීන් සීමිතයි. ගොඩක් විෂයන් විතරයි තියෙන්නේ. මේ නිසා ඔවුන් කැම්පස් එකට යන්නෙම රජයේ රස්සාවක් බලාගෙන. එහෙම නැතුව අපි හදන්න ඕන පෞද්ගලික අංශයටත් යන්න පුළුවන් අය. ඒ නිසා නිවැරදි අධ්‍යාපනයක් නැති තැන වෙන්නේ දුප්පතුන් බිහිවීම වැඩියි. නූගතුන් බිහිවීම වැඩියි. ඒ තුළ රට විශාල දරුණු ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම කියන්නේ මේ වෙලාවේ හැමෝම එකතුවෙලා මේ රට ගොඩගන්න වැඩකරන්න ඕන. තමන්ගේ රුකියා, සේවය නිවැරදිව ලබාදෙන්න ඕන. ඒ හරහා කැපවිම් කළොත් මේ තත්ත්වයෙන් ඉක්මනින් ගොඩ එන්න පුළුවන්. ඒ වගේම දැන් මම අපේ ආයතනවල ඉන්න අයට කියලා තියෙන්නේ හැමෝම වැක්සින් ලබාගන්න ඕන කියලා. එහෙම ලබා නොගෙන ඉන්නවා නම් ඒ අයට ලබන මාසය වෙද්දී එළියේ ඉන්න වෙයි. හේතුව අපිට ඉස්සෙල්ලා විනයක් වගේම වගකීමක් තියෙන්න ඕන. මොකද මමත් වැක්සින් දෙකම අරන් තියෙන්නේ. ඒ නිසා හැම කෙනාව ඒ ආරක්ෂාව ලබාගන්න. එහෙම නැතුව සුළු පිරිසක් නිසා බහුතරයක් අමාරුවේ දාන්න බෑ.

ගයාන් ගාල්ලගේ – දේශය පුවත්පත

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x