ඡායාරුප ගැලරියේවිශේෂාංග

කොරෝනාවට බිලිවූ “හිත හොඳ ජීවකයා”

කොරෝනා වසංගතය රටට ලෝකයට මේ ​ෙවන විට බොහෝ වටිනා ජීවිත අහිමි කර ඇත. අපේ රටට ද වටිනාකමක් ගෙන දුන් බොහෝ පුද්ගලයන් සේම යහපත් පුද්ගලයන් රැසක්ම කොරෝනා වසංගතය විසින් අපට අහිමි කර ඇත.

කුරුණෑගල කා අතරත් ”‍ හිත හොඳ දොස්තර ”‍ නමින් ප්‍රසිද්ධව සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර ජයකොඩි ද මේ කොරෝනා වෛරසය රටට අහිමි කරන ලද තවත් වටිනා පුද්ගලයෙකි.

තම වෘත්තීය තුළින් අසීමිතව ඉපැයිය හැකි මුදල් පසුපස කිසි විටෙකත් හඹා නොගිය මේ අපූරු වෛද්‍යවරයා සැබැවින්ම ජීවක වෙද පරපුරේ සැබෑ ජීවකයෙකි.

බටහිර වෛද්‍යවරයෙකු ලෙස ඉහළ වැටුපක් සමඟ පෞද්ගලික චැනල් සේවාවෙන්ද ඉහළ ආදායමක් උපයමින් තීරු බදු රහිත සුපිරි වාහනයකට හිමිකම් කීමේ හැකියාවක් තිබුණ ද ඒ සියල්ල පසෙකලූ මේ හිත හොඳ දොස්තර මිය යන තෙක්ම පාවිච්චි කළේ පා පැදියකි. නැතිනම් පරණ ට්‍රේල් වර්ගයේ යතුරු පැදියකි. පාපැදියකින් කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවයට වාර්තා කිරීමට යන මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලට පැමිණෙන ජනතාවට ද අපූරු දසුනක් විය.

වෛද්‍ය සුදත් බණ්ඩාර යනු වෛද්‍ය වෘත්තීයට සේම චිත්‍ර ශිල්පයට ද, ග්‍රන්ථකරණයට ද එකසේ දස්කම් පෑ අයෙකු බව දැන සිටියේ අතළොස්සකි. ඒ ඔහු තම නිසඟ හැකියාවන් ප්‍රසිද්ධ කිරීමට හෝ ඉන් බැබළීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු නොවූ නිසාය.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ දියණියකගෙන් යුත් පවුලක බාලම පිරිමි දරුවා වූ සුදත් කුරුණෑගල මලිය⁣දේව විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. සෑම අතින්ම දක්ෂතා දැක්වූ සිසුවෙකු නිසාම මලිය⁣දේව විදුහලට ඔහු නිසා ලැබුණේ ඉමහත් කීර්තියකි. කුඩා කල සිටම අධ්‍යාපන කටයුතු වලට මෙන්ම බාහිර කුසලතාවන් සඳහා දස්කම් දැක් වූ සුදත් චිත්‍ර කලාවට දැක් වූ දක්ෂතාව නිසාම වයස අවුරුදු 14 දී ඉන්දියාවේ පැවති නේරු ජාත්‍යන්තර චිත්‍ර තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ මලියදේව මාතාව ද රටේ පාසල් අතර ඉහළට ඔසොවා තබමින්ය. ඊට පෙර පාසල් ශිෂ්‍යයෙකු ලෙස එම දක්ෂතාව දක්වා තිබුණේ ඩය⁣ලොග් ආසියාටා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය මහතාය.

ඉගෙනීමෙන් ද කප් ගැසූ සුදත් උසස් පෙළ විභාගයට පෙනී සිටි පළමු අවස්ථාවේදීම විශ්ව විද්‍යාල වරම් ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ සුදුසුකම් සපුරාලමින්ය.

මේ සුදත්ගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන⁣යෙකු වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා ඔහු පිළිබඳව දැක්වූ අදහස්ය.

”‍ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණේ එක්දහස් නවසිය අසූ හය වසරේදීයි. ඒ වන විට සුදත් වෛද්‍ය පීඨයේ මට වඩා අවුරුදු හතරකින් පමණ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වී සිටියා. මම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයට ඇතුළත් වෙලා යනකොට මට මුලින්ම හමු වුණු පුද්ගලයා තමයි සුදත්. පළමු වසරේ ශිෂ්‍යයෙකු විදිහට නවක වදයට මුහුණ දීමේ බියෙන් පසුවෙන අවස්ථාවක මට හමු වුණ සුදත් කියන මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාගේ රූපකාය සහ ඔහුගේ හැසිරීම මට ඇති වෙලා තිබුණු බිය සහ තැති ගැන්ම සම්පූර්ණයෙන්ම නැති කරලා දැමුවා ”‍.

”‍ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වුණත් සුදත් ඒ බව කාටවත්ම පෙන්නුවේ නැහැ. විශේෂයෙන්ම නවක ශිෂ්‍යයන්ට පවා ඔහු දැක්වූයේ තම වසරේම ජ්‍යෙෂ්ඨයන්ට දක්වපු හිතවත්කමමයි. ඔහු නිතරම සිනා වෙලා හිටිය කෙනෙක්. තමන් ජ්‍යෙෂ්ඨයෙක් කියන උද්දච්චකම ඔහු තුළ තිබුණේම නැහැ . ඔහුගේ මේ සුහදශීලි හැසිරීම නිසාම නවක සිසුන්ට විශාල සහනයක් ලැබුණා. මාත් ඒ සහනය ලබපු කෙනෙක් ”‍.

”‍ තවත් විශේෂත්වයක් තමයි සුදත් කියන්නේ බොහෝම විනෝදයට බර චරිතයක්. මේ නිසාම මුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම ඔහුට මිතුරෝ සිටියා. මේක සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක සිදු නොවන දෙයක්. වෛද්‍ය පීඨයේ පමණක් නොවෙයි කලා ඇතුළු අනෙකුත් පීඨ හතේම එක හා සමානවම මිතුරන් සිටිය පුද්ගලයෙක් ඔහු. සුදත් කීවාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයම හඳුනන කැරැක්ටර් එකක්. ඇත්තටම සුදත් කියන්නේ අපිට මේ රටේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා කියා දුන්න කෙනායි ”‍.
මේ අතර කාලයේදී රට තුළ වගේම විශ්වවිද්‍යාල අභ්‍යන්තරයන් ද වෙනස් වීමකට ලක් වන්නේ රටෙහි ඇති වෙමින් පැවති විවිධ දේශපාලනික හැලහැප්පීම් හේතුකර ගනිමින්ය.

රට තුළ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගැටලු මෙන්ම පළාත් සභා සංකල්පය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කාරණා ඉස්මතු වීමත් සමඟම සුදත් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඒ සඳහා සිදු කෙරෙන සාකච්ඡා වලට සම්බන්ධ වූහ. රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන අයිතීන් සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් හා එක්ව සුදත් පෙරමුණ ගන්නා අතර එහිදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙකු ලෙසින් ක්‍රියාකාරි වන්නේ මින් පසුවය.

පේරාදෙණිය වෛද්‍ය පීඨ කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ කමිටුව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට බළ කිරීමේ සටනට එක්වන අතර එහිදී ඉදිරි පෙළ හිඳ සටන් මෙහෙය වූ ප්‍රධානම ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු විදිහට සුදත් බණ්ඩාර මෙරට විශ්වවිද්‍යාල සිසුන් අතරේ කැපී පෙනෙන ප්‍රබල චරිතයක් විය.

මෙම ශිෂ්‍ය සටන ජය ගැනීමෙන් අනතුරුව සුදත් ශිෂ්‍ය සටන් වලින් එහා ගිය කාරණා වලට සම්බන්ධ වන්නේ ශිෂ්‍ය සටන් කොපමණ ජය ගත්ත ද ඉන් එහා ගිය ජයග්‍රහණයන් රටේ ජනතාවට ද ලබා දිය යුතු බව පවසමිනි. රටේ මිනිස්සුන්ගේ ජීවිත මීට වඩා හොඳ තැනකට ගියේ නැත්නම් මේ කරන අරගල වලින් පූර්ණ ජයග්‍රහණයක් අත් කර ගත නොහැකි බව ඔහුගේ අදහස විය. ඒ සඳහා ක්‍රියාත්මක සටන් ව්‍යාපාර සමඟ සුදත් ඉන් පසුව එකතු වී ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි.

මේ සියලු සටන් ව්‍යාපාරවල දිවා රෑ නොබලා නියැලෙමින් සිටිය ද ඔහු කිසි විටෙකත් තම අධ්‍යාපන කටයුතු අතපසු නොකළේය. මෙය අනෙක් ශිෂ්‍යයන්ට ද ඔහු ගෙන දුන් වටිනා ආදර්ශයක් විය.
අනෙකුත් බාහිර කටයුතුවලට සේම ඉගෙනීම් කටයුතු සඳහා ද අති දක්ෂයෙකු ලෙස ප්‍රකට සුදත් පළමු වතාවෙන්ම සියලුම විභාග ඉතා ඉහළින්ම සමත් වූ ශිෂ්‍යයෙකි. ඔහුට ඒ සඳහා කිසිදු තරඟයක් ද නොවීය. දේශපාලන කටයුතුවල පූර්ණ කාලීනව නියැලෙමින් වුවද ඔහු තම ඉගෙනීම් කටයුතු ද අපූරුවට කරගෙන ගියේය.

මේ කාලය වන විට උපරිමව දේශපාලනයේ යෙදී සිටි ඔහු ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ මුල් පෙළේ කාර්ය භාරයක් ඉටු කළ අයෙකි. මේ නිසාම ඔහු ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ පිහිටුවීමේදී ද විශාල කාර්ය භාරයක් ඉටු කළ අයෙකු ලෙස ප්‍රකටය. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, මියගිය නිමල් බාලසූරිය, සේන මච්චාගොඩ යන අය මෙම දේශපාලන සටන් ව්‍යාපාර වලදී සුදත් හා ඉතා සමීපව ඇසුරු කළ මුල් පෙළේ සටන් සගයෝ වූහ.
සුදත් බණ්ඩාරගේ හදිසි මරණය අසා කම්පාවට පත් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ඒ පිළිබඳව මුහුණු පොතේ තබන ලද සටහන මෙසේය.

“වෛද්‍ය සුදත් බණ්ඩාර කොවිඩ් නිසා මියගිය පුවත හිතවත් ජෝන් පෙරේරා (කුරුණෑගල) මට පැවසීය. එක්වරම මට ඇඳී ගියේ, කට පුරා බුලත් කා ඒ මදිවාට සිගරට්ටුවකුත් දල්වාගත්, දෑස් රතු වෙන්න අඩියක් ද ගසා සිටින සුදත් නමැති බටහිර වෛද්‍යවරයාය. ඔහුව කුරුණෑගල මහ රෝහලට හෝ ටයි කෝට් ඇඳගත් ඩොක්ටර්ස්ලාට කෙසේ ගැලපෙන්නට ඇතිදැයි මට තවමත් හිතාගන්නටවත් බැරිය.

1987 දිනක සුදත් සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජයශ්‍රී මට මුලින්ම හමු වූයේ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරය වූ බ්ලොම්පොන්ටන් හිදී⁣ය. ඒ දිනවල ඔහු ජවිපෙ පූර්ණකාලීනයෙකු ලෙස අන්තර් ශිෂ්‍ය විද්‍යාල බල මණ්ඩලයට ආවේය. පසුව ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය නම් වූ වෘත්තීය සමිති එකමුතුවක පූර්ණ කාලීනයෙකු විය. ඔහු නිතරම අප ඇතුළත්ව සිටි ජාතික චින්තන ගුරුකුලය හා එහි න්‍යාචාර්යවරුන් ලෙස සිටි මහාචාර්ය නලීන් ද සිල්වා, වෛද්‍ය ගුණදාස අමරසේකර හා සූර්ය ගුණසේකර මහත්වරුන් උපහාසයට ලක් කළේය. එවකට සුදත්ගේ න්‍යායචාර්ය වූයේ ”‍මහානාම”‍ නමින් හැඳින් වූ උපැවිදිව සිටි ජවිපෙ නායකයෙකි.

සුදත් දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ අතර මහානාම දක්ෂ කවියෙකු විය. ඔවුනට අනුව අපි ”‍ බුද්ධිවාදීන් ”‍ විය. ආචාර්ය නලීන් ද සිල්වා වැනි අය ”‍ මොළේ අර්ශස්කාරයන් ”‍ විය.

ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා හඳුන්වා දීමට එරෙහිව අපි උපවාස, පෙළපාලි සංවිධානය කරන කාලයේදී සුදත් බොහෝ විට සිටියේ මොරටුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේය. 1897 ජූලි 27 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පාරට බැස්ස ක්ලිෆඩ් සහ නිමල් සොහොයුරන් මහ පාරේ මරා දැමුණු පසු ගණනින් නොගිනිය හැකි තරම් පිරිසක් මරා දමනු හෝ අතුරුදන් කරනු ලැබූහ.
සුදත් හා මා අතර දැඩි සම්බන්ධයක් ඇති වූයේ ඒ දිනවල අන්තර් විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත් වී ජයවර්ධන පාලනයට එරෙහිව පුළුල් සන්ධානයක් ”‍ දේශප්‍රේමී එක්සත් පෙරමුණ ”‍ නමින් ගොඩ නංවමින් සිටියදීය. එය නියෝජනය කළේ මමත්, සුදත් සහ ඒ දිනවල අතුරුදහන් කරන ලද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගාමිණී මාලසිංහත්ය.

සිරිමාවෝ මැතිණිය, අනුර බණ්ඩාරනායක මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කුමාර් පොන්නම්බලම් මැතිතුමා, ඒ.එච්.එම්. අශ්රොප් මැතිතුමා හා රුක්මන් සේනානායක වැනි නායකයන් හඳුනා ගන්නට, සාකච්ඡා කරන්නට, වාද විවාද ඇති කරගන්නට අපට හැකි විය.

සිදුවූ රසවත් සිද්ධීන් රැසක් තිබියදී එක් දිනක් කුමාර් පොන්නම්බලම් මහතා සිය ගෙග්‍රරි පාරේ නිවසේ දී කදිම ජායාරූපයක් අපට පෙන්වීය. එහි බණ්ඩාරනායක, පිලිප්, ජී.ජී.පොන්නම්බලම් හා ඩඩ්ලි සිටියෝය. දශක 4/5 කට පසු ඔවුන්ගේ දරුවන් හා ඥාති දරුවන් රට බාර ගැනීමට යන බව පොන්නම්බලම් මහතා සිනාසෙමින් ප්‍රසංශා කළේ අනුර, දිනේෂ්, රුක්මන් මහත්වරුන් ඉදිරියේය.
එදින අඩ අඳුරේ පාරට බැස යන විට සුදත් ඒ සිදුවීම ගැන කීවේ ජවිපෙ බෝල්ෂෙවික් විප්ලවය ඒ ජායාරූපය නිශේධ කරනු ඇති බවය.

1988 ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ජවිපෙ තීරණය කිරීමත් සමඟ සුදත් හා අපි වෙන් වූවෙමු. මා නැවත ඔහු හමුවන විට ඒ වියරු භීෂණයෙන් ඔහුගේ ශරීරය පමණක් නොව මනස ද නිදහස්ව තිබිණි.
ඔහු ජවිපේ දේශපාලනයද, මාක්ස්වාදය ද අත් හැරියේය. ජාතික චින්තනය පිළිබඳව විශ්වාසය ඇති කර ගත්තේය. නමුත් කිසි විටෙක මියගියවුන් හෝ ජවිපේ විවේචනය නොකළේය.

සුදත් සිය දරුවන්ට මොන තරම් යුතුකම් කළා දැයි නොදනිමි. ඔහුගේ එක් පුතෙකුට අකුරු කියවූයේ නම් මාය. එදින ඔහු විසින් සිංහලයට නඟන ලද ”‍ ස්පාටකස් ”‍ කෘතිය ඔහු මට පරිත්‍යාග කළේය.

සුදත්ට සිය වෘත්තීය ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් ඉදිරියට යාමේ හැකියාව තිබුණි. ඔහුගේ සමකාලීනයන් අද ඉහළ ගණයේ විශේෂඥ වෛද්‍යවරුන්ය. එහෙත් 1987-90 යුගයේ සිදු වූ භීෂණය හා ඉන් දැනුණු කම්පනය ඔහුට එයට ඉඩ නොදුන්නේය. මධුවිතට ඔහු ඇදී ගියේ ඒ නිසා විය යුතුය.

පුෂ්පකුමාර ජයරත්න – ඉරිදා ලංකාදීප

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x