ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

සමහරු මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන්ම ඔය Cover songs නිර්මාණය කිරීම සිද්ධ කළා

වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රසංග වේදිකාව අකර්මණ්‍ය වී ඇති අවස්ථාවක ප්‍රසංග වේදිකාව පිළිබඳවත්, සංගීත ක්‍ෂේත්‍රය සම්බන්ධවත් වැදගත් සංවාදයක් අවැසි යැයි අපිට දැනුණු නිසා ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සමඟ අපි මෙවර සම්බන්ධ වුණා. ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු අඩුලුහුඬුකම් මෙන්ම ඒවාට විස¾දුම් බොහෝමයක් සාකච්ඡාව අතරතුර ඔහුගේ ප්‍රවීණත්වය තුළින්ම ඔහු රැගෙන ආවා.

කීර්ති පැස්කුවෙල්ගේ මේ දවස්වල වැඩ කටයුතු සකස් වෙන්නේ කොහොමද?

දැන් වසර එකහමාරක් තිස්සේ ප්‍රසංග වේදිකාව නම් නැවතිලා. මම පන්ති දෙකක් කරගෙන ගියා. නමුත් දැන් ඒ දෙකම වහලා තියෙන්නේ. මට යන්න තිබුණු විදේශ සංචාර කිහිපයකුත් නවතා දමන්නට සිද්ධ වුණා. මම මීට වසර දෙකකට කලින් පටන් ගත්තා ඔන්ලයින් පන්තියක්. ඒක නම් මොන වැඩේ නැවතුණත් කරගෙන යනවා. අපේ රටේ අය වගේම විවිධ විදේශ රටවල අයත් ඒ පන්ති සඳහා ඔන්ලයින් ක්‍රමයට එකතු වෙනවා. මගේ ගායනය අවශ්‍ය තැන්වලදී මම ගෙදර තිබෙන ස්ටුඩියෝ එකේ මගේ හඬ පටිගත කරලා, සමහර වෙලාවට අවශ්‍ය පාර්ශ්ව වෙත යවනවා. ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩ නැවතුණේ නැහැ. ප්‍රසංගවලට එළියට යන්න බැරි ප්‍රශ්නය තමයි තියෙන්නේ.

ප්‍රසංග වේදිකාව අකර්මණ්‍ය වීම සම්බන්ධයෙන් විසදුමක් යෝජනා කරන්න යැයි මම ඔබට කිව්වොත්?

මම හිතන්නේ මේ ප්‍රශ්නයට තියෙන හොඳම විස¾දුම virtual concerts කියන එක. එහෙමත් නැත්නම් තාක්ෂණය පාවිච්චි කරලා ඔන්ලයින් ක්‍රමයට ප්‍රසංග පැවැත්වීම. බොහෝ අය මේකේ වැරදි දකින්න පුළුවන්. මෙහෙම කරලා තේරුමක් නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ අපි ඒකෙ දකින්න පුළුවන් හොඳ දේවල් ටික දකින්න ඕන. කලාකරුවාගේ ළඟටම දකින්න බැරි වුණත් මේකේ සජීවී ගතියක් තියෙනවා. අනෙක් විශේෂම වාසිය තමයි virtual concertsවලදී ලංකාවෙ අයට විතරක් සීමා වෙන්නෙ නැතිව විදේශ රටවල අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. එකම concert එක එකම වෙලාවෙදි විවිධ පාර්ශ්වවලට පෙන්නන්න පුළුවන් වීම ලොකු ජයග්‍රහණයක්. මම කියන්නේ මේක කලාකරුවන් කිහිපදෙනෙක් නෙවෙයි. හැම සාමාන්‍ය කලාකරුවෙක්ටම පෙන්වා දෙන්න ඕන. ඔවුන් මේක වැලඳ ගන්න ඕන. පහුගිය ටිකේ මම ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට වගේම ඩුබායිවලටත් මෙම ක්‍රමයට ධදඥ man shows කිහිපයක්ම කළා.

ක්‍ෂේත්‍රයේ බිඳවැටීම කලාකරුවෙක් විධියට ඔබට දැනුණේ කොහොමද? මූල්‍යමය පැතිකඩ පිළිබඳව අනාවරණයක් කළොත්?

ගොඩක් අයට අද කලාකරුවෝ ඕන වෙන්නේ රසවින්දනය ලබා ගන්න විතරයි. මේ රටේ බහුතරය කලාකාරයො පාවිච්චි කරන්නේ ගීතයක් අහන්න ඕන වුණාම, සිනමා පටයක් බලන්න ඕන වුණාම සහ ටෙලි නාට්‍යයක් බලන්න ඕන වුණාම විතරයි. අනෙක් එක ගොඩක් වෙලාවට කලාකාරයෝ ගැන වැරදි අදහස්වල සමහරු ඉන්නවා. ඔවුන්ට කොහෙද අඩුපාඩුවක්, ඔවුන් තමයි හොඳටම ජීවත් වෙන්නේ වගේ දේවල් හිතනවා. ඒත් ඇත්ත කතාව තිරය පිටුපස කතන්දරය කවුරුවත් දකින්නේ නෑ. මේ රටේ කලාකාරයො ගත්තොත් ඔවුන්ගෙන් බහුතරය වෘත්තියක් විධියට කලාව කරන අය. අතළොස්සක් තමයි වෙනත් වෘත්තියක නියැළිලා කලාව කරන්නේ. එහෙම තත්ත්වයකදී මේ වගේ කාලෙකදී සාමාන්‍ය මිනිස්සු වගේම කලාකාරයොත් ඉන්නේ අවුලක.

මූල්‍ය ප්‍රශ්න සෑහෙන්න තියෙනවා. ප්‍රසංග නෑ, රූගත කිරීම් නෑ, කිසිවක් නෑ. අනෙක් එක මේ රටේ ඕනෑම අර්බුදයක් එනකොට මුලින්ම පහර වදින්නේ කලාවට. අන්තිමට ගොඩනැඟෙන්නේ කලාව. ලොකු කාල පරිච්ඡේදයක් ගන්නේ කලාව කියන කොටස. ඉතින් මම කියන්නේ කලාකාරයො හොඳින් කියලා කවුරුහරි හිතන් ඉන්නවා නම් එතැන ලොකු වැරැද්දක් තියෙනවා. ඒ වගේම කලාකාරයෝ හොඳින් නෙවෙයි නම් ඔවුනුත් ඔවුන්ගේ ඉතිරිය ගැන ඔවුන්ගේ අරපරිස්සම ගැන මීට වඩා හිතන්න, දැන් හොඳ කාලයක් ලැබිලා තියෙනවා.

කලාව සම්බන්ධයෙන් මේ මොහොතේ රජයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔබේ අර්ථකථනය පැහැදිලි කළොත්?

මම හිතන්නේ රජයට මේ කාරණාවේදී ලොකු මැදිහත්වීමක් කරන්න බෑ. කළෙත් නෑ. කරන්න කියලා අපිට ඉල්ලීමක් කරන්න බෑ. සරල උදාහරණයක් කියන්නම්. වැක්සින් එක දැන් හැමතැනම විද්දට ඉස්සර ඕක හොයාගන්න අපහසු තත්ත්වයක් තිබ්බා. එහෙම කාලයකදී මම කලාකරුවන්ට වෙනමම එන්නත ලබා දෙන්න කියලා එක්තරා ඇමැතිවරයෙක්ටත් කතා කරලා ඉල්ලීමක් කළා. නමුත් එතුමා කිව්වේ කලාකරුවන්ට ගැහුවොත් හැමෝටම ගහන්න වෙන නිසා එහෙම කරන්න බැහැ කියලා. කලාව වෙනුවෙන් ඒ වගේ සුළු දෙයක්වත් කරන්න බැරි නම් මෙරට කලාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න කියලා අපිට රජයට ඉල්ලීම් කරන්න බෑ. කලාවට තියා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටවත් දුප්පත් ජනතාවටවත් දෙයක් කරන්න මේ රජයට පුළුවන්කමක් නෑ. ඔවුන්ටත් දුන්නේ රුපියල් පන්දාහයි. අපි දන්නවා ඒකෙන් මාසයක් තියා සතියක්වත් ජීවත් වෙන්න අමාරුයි කියලා.

විදේශ රටවල lockdown කරලා මිනිස්සු ගෙවල්වල නැවතුණාම කොවිඩ් අරමුදලක් විධියට පඩිය දෙනවා වැඩ නොකර වුණත්. නමුත් අපේ රටේ ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. වත්මන් රජය ප්‍රශ්නවල හිර වෙලා ඉන්නේ. ඔවුන්ට සහයෝගය දෙන්න බෑ වගේම අපිට ඒක ඉල්ලන්නත් බෑ. ඒ නිසා මම හිතන්නේ අපි දැන් රජයට සහයෝගය දෙන්න ඕන.

දැන් දැන් හතු පිපෙන්නාක් මෙන් බිහිවන නවක සංගීත කණ්ඩායම් පිළිබඳව ඔබේ කියවීම කුමක්ද?

මම කියන්නේ තවත් ඇති තරම් මේ රටේ සංගීත කණ්ඩායම් බිහි වෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මීට අවුරුදු පහළොවකට කලින් මම ස්වාධීන රූපවාහිනී සේවයේ ඔය වගේ සංගීත කණ්ඩායම් අතර තිබුණු තරගයක විනිශ්චයට හිටියා. ඒකට සංගීත කණ්ඩායම් අටසිය ගණනක් ආවා. ඒ කාලේ අටසිය ගාණක් ආවා කියන්නේ දැන් 2,800ක් විතර සංගීත කණ්ඩායම් මේ රටේ ඇති. දැන් තියෙන තාක්ෂණයත් එක්ක ගායකයෙක් වෙන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. නමුත් සංගීත කණ්ඩායමක ශිල්පියෙක් වෙන එක පහසු නෑ. සංගීත කණ්ඩායමක් ගොඩනඟන එක පහසු නෑ.

සංගීත ශිල්පියෙක් වෙන්නනම් අනිවාර්යයෙන්ම සංගීතය හදාරන්න ඕන. ගිටාර් එක ගහන්න දන්නේ නැතිව ශිල්පියෙක් වෙන්න බෑ. ඒක ඉගෙන ගන්න ඕන. ඉතින් තරුණ පරම්පරාව ඔය විධියට සංගීතය හදාරලා ඉගෙනගෙන ඉස්සරහට එනකොට ඒ පරම්පරාව සංවේදී වෙනවා. තරුණයා තුළ තියෙන පීඩනය, අසහනය වගේ දේවල් සංගීතය නිසා නැතිවෙලා යනවා. මම දැකලා තියෙනවා බොහොමයක් තරුණ ජීවිත සංගීතය නිසා හරි මඟට ආපු. ඒ නිසා මම ඉන්නේ කොයි තරම් සංගීත කණ්ඩායම් ගණනක් බිහි වුණත් ඒක හොඳයි කියන තැන. මොකද ඒකෙන් මේ රටේ දූෂණය අඩු වෙනවා.

All in one ක්‍රමයට නිෂ්පාදනය කරනු ලබන සංගීත භාණ්ඩ සහ electronic වාද්‍ය භාණ්ඩ නිසා ක්‍ෂේත්‍රයේ පවතින ගැටලුකාරී තත්ත්වය අර්ථකථනය කරමු?

මම කියන්නේ music වලට ආපු භයානකම සංගීත භාණ්ඩය තමයි ඔය සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කළ හැකි කී බෝඩ් එක. වයලින් එකද, චෙලෝ එකද, සැක්සෆෝන් එකද, ඩ්‍රම් එකද ඔය සියල්ලම එකම උපකරණයකින් එතැනදී වාදනය කරන්න පුළුවන්. ඒක මහා අවාසනාවන්ත සංගීත භාණ්ඩයක්. මොකද කිසියම් ශිල්පියෙක්ට පුළුවන් එක බොත්තමක් ඔබලා බොරුවට අත තියන් ඉන්න සියලුම වාද්‍ය භාණ්ඩ ටික ප්ලේ කරන්න.

ඒ තත්ත්වයේදී සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න බොහෝ අය මැළි වෙනවා. බොහෝ අයගේ කැමැත්ත අඩු වෙනවා. හැමෝම එක බොත්තමකින් වැඩේ කරගන්න පෙලඹෙනවා. අනෙක් එක එහෙම කළාට පස්සේ කිසි සජීවී බවක් නෑ. මට මතකයි මං පසුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සංගීත කණ්ඩායමක් සහ වෘත්තීය වාදක කණ්ඩායමක් එකතු කරගෙන ශිල්පීන් 35ක් හා සංගීත භාණ්ඩ 35ක් භාවිත කරලා හරි ලස්සන ප්‍රසංගයක් කළා. ඒක හරිම සජීවීයි. ස්වාභාවිකයි. මම ඕක මගේ පහසුවට ඒ ඉලොක්ට්‍රොනික් ක්‍රමවේද පාවිච්චි කරලා කළා නම් ප්‍රේක්ෂකයාට ඕන කරන දේ හරියටම දෙන්නත් මට බැරි වෙනවා.

රියැලිටි තරගවලදී තරගකරුවන්ගේ ආවේණික ශෛලිය වෙනස් කිරීම තුළ ‘නාළිකාවලින් ගායන හැකියා මරනවා’ යැයි නැඟෙන චෝදනාව සත්‍යයක්ද?

රියැලිටි තරගවලට එන හැමෝම තමන්ට ආවේණික ශෛලියකට අනුගත වෙලා තමයි පිවිසෙන්නේ. සමහරු රෙගේ කියනවා. සමහරු රැප් කියනවා. සමහරු ශාස්ත්‍රීය කියනවා. නමුත් තරගයේ නීතිරීතිවලට අනුව සමහර වෙලාවට අභියෝග ලැබෙනවා. එතකොට රැප් කියන කෙනාට රෙගේ කියන්න වෙනවා. රෙගේ කියන කෙනාට ශාස්ත්‍රීය කියන්න වෙනවා. අන්න එතැනදී ඔවුන්ගේ සුපුරුදු ශෛලිය විනාශ වෙන්න පටන් ගන්නවා. වෙනස් කරන්න සිද්ධ වෙනවා. දක්ෂතාව තියෙන කෙනා මොකක් දුන්නත් ගොඩදාගන්නවා. අලුතින් ලැබුණු ශෛලිය තුළ වෙනදාට වැඩිය දෙයක් කරනවා. හැබැයි අදක්ෂයා හැලෙනවා.

ගමන එතැනින්ම නවතිනවා. ඒ නිසා එතැනදී ගායකයා මැරෙනවා කියන කතාව කොහොම වෙතත් නියම දක්ෂයන් තමයි ඉතුරු වෙන්නේ. අනෙක් වැදගත්ම කාරණාව, සමහර තරුණයො ඉන්නවා රියැලිටි තරගවලදී ඔරිජිනල් සින්දුවටත් වැඩිය හොඳට ගීත ගායනා කරන. අපි ඕක තරගවලදී කිව්වේ නැතත් ඕක තමයි ඇත්ත. නමුත් ඔවුන් තරගය අවසන් වෙලා ටික කාලයක් ගියාට පස්සේ තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ කරනකොට අසාර්ථක වෙනවා. අර තරගයේදී ගායනා කළ තරම් දක්ෂතා අතරට පැමිණෙන්නේ නැතිව යනවා. ඔවුන්ගේ නිර්මාණ ශක්තිය හීන වෙනවා. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. රියැලිටි තරගවලදී සමහර වෙලාවට කොච්චර දක්ෂතා දැක්කත් ගොඩක් අයට එළියෙ තමන්ගෙ නිර්මාණ ශක්තිය පෙන්නන්න බෑ. ඒකයි කොයි තරම් ගායකයෝ නාළිකාවලින් බිහි කළත් අතළොස්සක් පමණක් ක්ෂේත්‍රය තුළ වැඩක් කරලා තියෙන්නේ.

Cover songs නිර්මාණය සහ ඒවායින් ජනප්‍රිය වීම සම්බන්ධයෙන් මේ දිනවල විවිධ මත නැඟෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කරන්න?

මුලින්ම Cover songs හදනවා කියන එක සාමාන්‍ය දෙයක්. තමන් කැමැති සින්දුවක් අහලා ඒකට ගිටාර් එකක් ප්ලේ කර කර සින්දුවක් කියන එක සාමාන්‍ය තත්ත්වයක්. තමන්ට තියෙන ආසාවට එහෙම Covers කරපු බොහෝ අය හිටියා. නමුත් එන්න එන්න ඔය Cover songs කියන කතාව වෙන පැත්තකට ගියා. සමහරු මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන්ම ඔය Cover songs නිර්මාණය කිරීම සිද්ධ කළා. එහෙම කරන එක වැරැද්දක් නෙමෙයි. නමුත් මුල් අයිතිකරුවන්ගේ අනුමැති අරගෙන සහ මුල් ගීතයට හානි නොකර තමයි ඒක කරන්න ඕන. අනෙක් දේ එහෙම අනුමැතිය දීලා ගීතයට හානි නොකර කරනවා වගේම ඒකෙන් යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනකොට මුල් අයිතිකරුවන්ට ඒ ලාභයෙන් කොටසක් දෙන්න අලුත් නිර්මාණකරුවා තීරණය කරන්න ඕන.

ඔය Cover songs කියන එක මේ රටට අලුත් දෙයක් වුණාට පිටරටවලට අලුත් දෙයක් නෙවෙයි. ඕන තරම් Cover songs නිර්මාණය කරනවා. නමුත් ඔවුන්ටම ආවේණික වූ ක්‍රමවේදයක් තියෙනවා. අදාළ ගායකයාගෙන්, අදාළ production company එකෙන් අවසර අරගෙන, මුල් ගීතයට හානි නොකර ලබා දිය යුතු සම කොටස ලබාදීලා තමයි ඔවුන් Cover songs කරන්නේ. එහෙම නොකළොත් නඩු වැටිලා වන්දි ගෙවන්න පවා සිද්ධ වෙයි. ඉතින් අපේ රටෙත් ඔය වගේ දේවල්වලට නීති රීති පද්ධතියක් සැලැස්මක් හැදුවොත් මම හිතන්නේ නෑ ඔය දැන් ලොකුවට කතා වෙන Cover songs ප්‍රශ්නය තවදුරටත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා.

මව හෝ පියා කලාකරුවකු වීම නවක කලාකරුවන්ට ක්ෂේත්‍රය තුළ ස්ථානගත වීමේදී වෘත්තීයමය වාසියක් බවට පත්වෙනවාද?

කසුන් ක්ෂේත්‍රයට එන්න කලින් මම කියපු දේ තමයි ක්ෂේත්‍රයට එනවානම් හරියට ඉගෙන ගන්න ඕන කියපු එක. මගේ නම පාවිච්චි කළේ ඉස්සරහට යන්න හදනවා නම් ඒ ගමන හරිම තාවකාලිකයි කියන එක. ඔහු ඔහුගේම ගීත කිහිපයක් කළා. ඔහු මේ ක්ෂේත්‍රයට එනකොට ඔහොම හදාගත්ත දෙයක් තමයි කවදාවත් මගේ ශෛලිය අනුකරණය කරලා හෝ මගේ සින්දු කියලා ක්ෂේත්‍රයේ තැනක් හදාගන්නෙ නැහැ කියන එක. මමත් ඒක අනුමත කළා.

මොකද මම ජීවත් වෙලා ඉන්නකන් මම වගේ තව කෙනෙක් අවශ්‍ය වෙන්නේ නෑ. එයා මගේ පුතා වුණත්. එයා එයා වෙන්න ඕන. ඒ නිසාම කසුන් අලුත් පාරක ගියා. ඒ නිසාම some කසුන් කරපු සමහර ගීත ජනප්‍රිය වෙන්නෙ නැතිව ගියා. කසුන් මාව අනුකරණය කරලා මගේ ගීත කිව්වනම් සමහර විට ජනප්‍රිය වෙයි. නමුත් වැදගත් වෙන්නේ තමන්ගේම දෙයක් හදාගන්න එක කියලා කසුන් දැනගෙන හිටියා. ඒ නිසා කසුන්ට වෘත්තීයමය වාසියක් ලැබුණේ නෑ. නමුත් එහෙම අනුකරණය කරන අයට වෘත්තීය වාසියක් සමහරවිට ඔය කියන විධියට ලැබෙනවා ඇති. ඒක මම දන්නෙ නෑ.

අවර ගණයේ ගීත නිර්මාණය වන්නට නවක පද රචකයන්ගේ දුර්වලතාව පැහැදිලි බලපෑමක් නේද?

ඉස්සර හිටපු නිර්මාණකරුවො බහුතරයක් සාහිත්‍යයත් සමඟ ලොකු බැඳීමක් තිබ්බා. සාහිත්‍ය තුළින් ලබාගන්න දැනුමෙන් ඔවුන් පරිකල්පනය අවදි කළා. නමුත් දැන් ඉන්න නවක නිර්මාණකරුවෝ බහුතරය ගොඩක් වෙලාවට තමන්ට හිතට එන අදහස නිකන්ම එළියට දාන අය. ඒක සංවිධානය කරගන්න, ප්‍රශස්තව ඉදිරිපත් කරන්න දන්නෙ නැහැ. අපේ තරුණයො ස්වභාවධර්මය එක්කත් ඒ තරම් බැඳීමක් නැහැ. ඒක නැති වුණාම හොඳ පද රචනා කොහොමත් බිහිවෙන්නෙ නැහැ. පරණ පද රචනාවල තියෙන ස්වාභාවිකත්වය සාහිත්‍යමය භාවය දිහා බැලුවොත් මම හිතන්නේ අපේ අලුත් නිර්මාණකරුවන්ට වරදින එකක් නැහැ.

(ප්‍රමේෂ් වික්‍රමසිංහ – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x