ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මගේ වැඩ දැක්කේ ‘යූ ටියුබි’ එකෙන්

දුමින්ද ශ්‍රිකාන්ත ඔහුගේ සැබෑ නාමයයි. එහෙත් යූටියුබය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ ‘සිකාමයි’ චැනලය නිසාය. එම යූටියුබ් නාලිකාව මගින් හාස්‍යය රසයමුසු නිර්මාණ සමග ප්‍රේක්‍ෂකයා පිනවන මේ දුමින්ද ශ්‍රීකාන්ත යනු එක්වරම යූටියුබයට කඩා පාත්වුණු චරිතයක් නෙවෙයි. වසර ගණනාවකට පෙර සිට සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලා අධ්‍යක්‍ෂවරයකු මෙන්ම රංගනයෙන් ද දායක වී ලැබූ අත්දැකීම් සමග ස්වකීය දක්‍ෂතා පෙන්වන නිර්මාණශීලී චරිතයකි. මේ දිනවල ඔහු අපට හමුවන්නේ ධනුෂ්ක රේමන් අධ්‍යක්‍ෂනය කළ සියත ටී.වී. ඔස්සේ විකාශය වන ‘රේස්’ ටෙලි මාලාවේ ‘රංජිත්’ නමැති චරිතය සමගය. මේ කතාබහ ඒ දක්‍ෂයා එක්කයි.

දුමින්ද, ශ්‍රීකාන්ත, සිකාමයි, මේ නම් අමතන්න ඕනෑ?

දුමින්ද ශ්‍රීකාන්ත.

යූටියුබ් එකේ වැඩ දාගෙන ඉන්න අතරේ ටෙලිනාට්‍යයක රඟපාන්න හිතුවේ?

ඒකට ප්‍රධාන හේතුව තමයි මෙතෙක් කල් නිකම් හිටියෙ නැති එක. වැඩ කරගෙන හිටියෙ. මේ විදියට වැඩ දාන්න පුළුවන් ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙලා හිටියෙ කාලයක ඉඳලයි. නමුත් යූටියුබ් එකේදි තමයි වැඩි දෙනෙක් ඒ වැඩ දැක්කෙ. ගොඩාක් වෙලාවට මේ රටේ වැඩිපුර දාන වැඩ එළියට එනවද කියලා අපි දන්නෙ නැහැ. මේ හැදිලා තියෙන සංස්කෘතිය ඇතුළෙ මිනිස්සු ඒවා දන්නෙ නැහැ. සමහර අය කළ වැඩවලට අවුරුදු 10 ක් 12 ක් ගිහින් සම්මාන හම්බ වෙන්නෙ, කලින් ඒ අය ඒ ඒ ක්ෂේත්‍රවල සිටි නිසයි. මාත් ඒ විදියයි. එක පාරටම යූටියුබ් ආව කෙනෙක් නෙවෙයි.

ඒ කියන්නේ ඔබ වැඩ දාන්න පටන් ගත්තේ යූටියුබයේ වැඩ දාන්නටත් පෙර ඉඳලයි?

අපි මේ ‘රේස්’ ඩ්‍රාමා එක ගැන කතා කරමු. එකෙ අධ්‍යක්‍ෂතුමා මට හමුවන්නෙ මීට වසර ගණනාවකට පෙරදි, මම රංගනයෙන් සහ කලා අධ්‍යක්‍ෂවරයෙක් විදිහට වැඩ කළ ෆිල්ම් එකක වැඩ කරන කාලයේදියි. ඊට පසුවත් ෆිල්ම් දෙක තුනකට එයා සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස වැඩ කළා. එයත් ඒ විදියට එදා ඉඳලා වැඩ දාගෙන ඉඳලා අද අධ්‍යක්‍ෂවරයකු ලෙස වැඩ දාන මොහොතක එයාගෙ නාට්‍යයට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබුණා. එදා ඉඳලා තිබුණු ඇයි හොඳයිකම සහ අද වනවිට මම යම්කිසි විදිහකින් ලබා සිටින වෘත්තීය වටිනාකම එක්ක එයා මේ විදියට ‘රේස්’ එකට මට කතා කළාම මම එයාව දන්න නිසාත් පිටපත හොඳ නිසාත් පරණ යාළුකම් නිසාත් මුල අමතක කරන්න හොඳ නැති නිසාත් ඒ වැඩේ බාරගත්තා.

 

දුමින්ද ශ්‍රීකාන්ත, එතකොට ෆිල්ම් ක්ෂේත්‍රයට ආවේ කාලයකට පෙරදි නේද?

2014 පැවැත්වූ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ඔබට මතකද? එහි ‘ද ලෙටර්’ ෆිල්ම් එක ප්‍රදර්ශනය වුණා. එය අධ්‍යක්‍ෂණය කළේ ඉසුරු වීරසිංහ මුදලි. එහි මම චරිතයක් රඟපෑවා. ඒ වනවිට කලා අධ්‍යක්‍ෂවරයකු ලෙස සිටින අතරේ තමයි රඟපෑවේ. අද මේ යූටියුබ් එකේ හාස්‍යය එක්ක මා වෙතින් දකින ප්‍රතිරූපයට වඩා වෙනස්ම චරිතයක් ඒක. එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස ‘රේස්’ නාට්‍යයේ ධනුෂ්ක රේමන් කටයුතු කළා. ඒ මිත්‍රත්වයේ සහ එකට වැඩ කිරීම එක්ක ආ ගමනක් මේ.

ඇයි දිගටම චිත්‍රපට හෙවත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ නැත්තේ?

‘පැණි මකුළුවෝ’ චිත්‍රපටයේ සහ තව එන්න තියෙන චිත්‍රපට දෙකක සහ ටෙලි නාට්‍යවලත් රඟපෑවා. නමුත් ඒ ගමන එන්නෙ ඉතා සෙමින්. ඒ නිසා අපේ අරමුණ කරා යාමට නොහැකි වීම නිසා ඒ ආ ගමන ඇහිරී යනවා. අනෙක මොන තරම් දක්‍ෂයොත් වුණත් ඒවා හරියට එළියට එන්න ප්‍රේක්‍ෂකයා අතරට යන්න හරි විදියට අවස්ථා ලැබීම සහ වටිනාකමක් ලැබෙන්නත් ඕනෑ.

‘රේස්’ නාට්‍යයේ රඟපාන, ‘රංජිත්’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ කතාව දිගටම නරඹන්න. එහි මම රඟපාන චරිතය ගත්තොත් ඒ මතුපිටින් පෙනෙන දකින මනුස්සයා නෙවෙයි අන්තිමට හමුවන්නේ. ඒක සැබෑ ජීවිතයේදී ඕනෑම මිනිසකුගේ ස්වභාවය වෙන්න පුළුවන්. මගේ චරිතය විතරක් නෙවෙයි. මේ නාට්‍යයේ සියලු චරිත ගැන සමාජය කතාවෙන බව අපට ලැබෙන ප්‍රතිචාරවලට අනුව කියන්න පුළුවන්.

දුමින්ද ශ්‍රීකාන්තගේ ප්‍රධාන වෘත්තිය මොකක්ද කියලා ඇහුවොත්?

මේ පවතින ස්වභාවය එක්ක දුමින්ද ශ්‍රීකාන්තගේ ප්‍රධාන වෘත්තිය ‘යූටියුබ්’ එක කියලා කියන්න පුළුවනි. එතකොට කවුරුහරි මගෙන් අහන්න පුළුවනි යූටියුබ් එක ප්‍රධාන වෘත්තිය කරගෙන අනෙක් වැඩ කරන්න පුළුවන්ද කියලා. එහෙම නැහැ. මොකද මගේ ජීවත් වෙච්ච සහ මම වැඩ කළ පසුබිමක් තිබුණා. ඒකට අන්තර්ගත වෙලා තිබූ දේ මේ යූටියුබ් කලාවට මම යොදා ගන්නවා. එය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම තමයි මගේ ප්‍රයත්නය.

මේ වනවිට යූටියුබ් එක හරහා අපේම බ්‍රෑන්ඩ් එකක් අපි හදාගෙන තියෙනවා. ඒ හරහා අපි වෙළඳ දැන්වීම්කරණයට යොමුවෙලා තියෙනවා. වෙළඳ දැන්වීම් සඳහා නිරූපනයට මට ලැබෙන ආරාධනා මෙන්ම රංගනයට ලැබෙන ආරාධනා එක්ක මේ වැඩ කරනවා. ඒ අතරේ ඩිජිටල් දැන්වීම්කරණයට දැන් අපි ඇවිත් ඉන්නේ. එය සමාගමක් ලෙස පවත්වාගෙන යනවා. ඒ කියන්නෙ මේ සමග මා එක්ක පිරිසක් ඉන්නවා. ඒ සියල්ලට අමතරව නිෂ්පාදන අංශයට ඇවිත් යමක් කළ හැකි තැනට දැන් අපි ඇවිල්ලා ඉන්නෙ.

ඒ කියන්නෙ, දුමින්ද ශ්‍රීකාන්ත හෙවත් ‘සිකාමයි’ට ජයයි?

ජයයි, ජයයි. ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම තැනක කල් යල් බලා අපට හරියට දෙයක් කර ගන්න පුළුවන් නම් ජයක් ලබාගන්න පුළුවනි. යූටියුබ් එක හරහා සල්ලි ආකරයක් හදාගන්න පුළුවන් කියලා සමහර අය හිතන්න පුළුවනි. අපේ අරමුණ ඒක නෙවෙයි. සල්ලි ආකරයක් ලැබුණ. ආකරයේ සතුට ඇති වපසරියක් අපේ සැබෑ ජීවිතවලට ළඟා කර ගැනීමයි.

යූටියුබ් එකෙන් විතරක් හම්බ කරනවා නම් මේ කාලයේදි තමයි මම එතැනට අනුගතව බොහෝ දේ කරන්න තිබුණු කාලය. හැබැයි එහෙම වුණේ නැහැ. එහෙම වී හිටිය නම් මෙලහකටත් මම අසාර්ථකයි. හැබැයි දෙවසරක් යන්න කලින් ලක්‍ෂ තුන පන්නලා මගේ නාලිකාව හා බැඳුණු පිරිස ග්‍රහණය කර ගන්න මම කරලා තියෙන්නේ 50කටත් වඩා අඩු වීඩියෝ ප්‍රමාණයක් විතරයි.

ඒ කියන්නේ ශ්‍රීකාන්තගේ වැඩ තියෙන්නේ යූටියුබය මත විතරක් නෙවෙයි?

ඔව්. දැන් බලන්න අපි හැමෝටම ජීවිතය බේරා ගන්න ගෙවල්වලටම වෙලා හැංගිලා ඉන්න සිද්ධ වෙලා. මේ සියල්ල අතරේ පාස් එකක් හදාගෙන මට ආව දැන්වීම් ඇතුළු සියලු වැඩ කරන්න ඕනෑ නම් මට පුළුවන්කම තිබුණා. එත් එහෙම කරන්න ගියේ නැහැ. මොකද මම නිතරම මම ගැන විතරක් හිතන කෙනෙක් නෙවෙයි. මගේ වැඩේ විතරක් ගැන හිතලා මගේ පවුලේ අය වගේම මා එක්ක වැඩ කරන පිරිස මේ වසංගතයට ගොදුරු කරවන්න මට ඕනෑ නැහැ. මටත් බිරිඳටත් පවුලේ අනෙක් අයටත් කොවිඩ් පොසිටිව් වුණා. ඒක දැනගත්ත ගමන් අනෙක් අයට එය වැළඳෙන්න නොදී අපි කටයුතු කළා. අපේ පවුල විතරක් පෝෂණය කිරීම, ගලවා ගැනීම විතරක් නෙවෙයි. අපි එක්ක වැඩ කරන හැමෝම ගැන හිතලා ඉතා පරිස්සමින් වගකීම් හඳුනාගෙන කටයුතු කළ යුතු කාලයක් මේ. මිනිස්සු එක්ක නිතර හොඳ මට්ටමින් යහපත් විදියට හිටපු නිසා ඒ දුෂ්කර මොහොතේ කිසිදු අඩුපාඩුවක් මට වුණේ නැහැ. වෘත්තිය විතරක් නොවී ජීවත්වීමේ කලාව ඉගෙන ගත්තාම අවංකවම මිනිස්සු පෙරලා අපට ගරු කරනවා. මම තවම ඉන්නේ රෙන්ට් එකට. මොකද සක්සස් වුණාය කියලා එක පාරටම ගෙවල් දොරවල් ගන්න බැහැ. ඒ හැරත්, ලෝන් දාලා දහ අතේ ණය වෙලා ඔළුව උඩ මහා බරක් තියාන ජීවත් වෙන්න මම කැමති නැහැ. මම මට කොවිඩ් පොසිටිව් වුණ වෙලාවෙ ලෝකයාට ප්‍රකාශ කරලා අනුකම්පාව ගන්න ගියේ නැහැ. මේක හැබැයි එක එක්කෙනාට සාපේක්‍ෂයි. මම කිව්වෙ මගේ විදිය ගැනයි. ජීවිතය සක්සස් කියලා කියන්නෙ බිරිඳ, දරුවෝ දෙන්නා, මාපිය ඇතුළු ඥාති සමූහය, කල්‍යාණ මිත්‍ර පිරිස ඇතුළු මේ සියලු දෙනා මා වටා සිටීම තමයි මගේ සතුට.

සරලවම කිව්වොත් දුමින්ද ශ්‍රීකාන්ත කියන්නෙ ඇත්ත ඇති සැටියෙන්ම කියන අව්‍යාජ චරිතයක්?

බොහෝම පැහැදිලිව ඇත්තෙන් ජීවත් වන කෙනෙක්. ඕනෑම තැනක, ඕනෑම කෙනෙක් එක්ක ඒ නිසා මට ජීවත් වෙන්න ලෙහෙසියි.

(සඳුන් ගමගේ – සාරවිට වෙබ් අඩවිය)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x