ක්‍රීඩා පුවත්විශේෂාංග

ආසියානු ධාවන ශූරයා ලූෂන් රෝසාගේ කතාව

ආසියානු මලල ක්‍රීඩාවේ දශක කිහිපයක් ඉහළින්ම නම රැන්දු එස්.එල්.බී. රෝසා හෙවත් ලූෂන් බෙනඩික් රෝසා දිගු දුර ධාවක ක්‍රීඩකයා කිසිවකුට අමතක නොවනු ඇත. එස්්.එල්.බී. රෝසා දැනට අඩ සියවසක සිට එක්සත් ජනපදයේ වෙසෙන බැවින් මාධ්‍ය ඔහු පිළිබඳව කතා කරනවා අඩුය. මේ දිනවල ලංකාවට පැමිණ සිටින ලූෂන් රෝසා අප හමුවූයේ ඔහු පිළිබඳ මතකය අලුත් කර ගැනීම වත්මන් ක්‍රීඩකයන්ට බොහෝ සේ වැදගත් විය හැකි නිසාය.

රෝසා ජාත්‍යන්තර තරගාවලියකදී ප්‍රථමවරට ලංකාව නියෝජනය කරනුයේ 1966 වසරේ බැංකොක් නුවර පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදීය. එහිදී ඔහු මීටර් 5000 සහ මීටර් 10000 ඉසව් දෙකෙන්ම ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේය. නමුත් 1968 මෙක්සිකෝ ඔලිම්පික්

උළෙලට සහභාගිවීමේ අවස්ථාවට ඔහුට අහිමි කෙරිණි. 1970දී බැංකොක් නුවර පැවැති 6 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ රෝසා මීටර් 5000 සහ මීටර් 10,000 ඉසව් දෙකෙන්ම රන් පදක්කම් හිමිකර ගත්තේ පැවැති ආසියානු වාර්තාවද බිඳ හෙළමිනි. 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී හදිසියේ අසනීපවීමෙන් ඔහුට ස්වකීය කාලය වාර්තා කරන්නට නොහැකි විය. තරගකරුවන් 69 දෙනකුගෙන් ඔහු 9 වැනි ස්ථානය මීටර් 10000 තරගය නිමා කළේය. 1976 මොන්ටි්‍රයල් ඔලිම්පික් උළෙලේදී මෙරට නිලධාරීන් ඔහුගේ තරග වැදීමේ අවස්ථාව අහිමි කළේය.

ඔහුගේ පියා ආර්නෝල්ඩ් රෝසා වූ අතර මව චාලට් ද සිල්වා නම් විය. සෙල්ලප්පුලිගේ ලූෂන් බෙනඩික් රෝසා උපන්නේ 1944 පෙබරවාරි 22දා නාවලපිටියේදීය. පියාගේ හදිසි අභාවයෙන් පසුව මවගේ දෙවැනි විවාහයේ දරුවනුත් සමඟ රෝසාට සහෝදර සහෝදරියන් අට දෙනෙකි. නාවලපිටිය ශාන්ත මරියා විද්‍යාලයේ දෙවැනි වසර දක්වාත් අනතුරුව ජේ‍යෂ්ඨ පන්තිය දක්වා මහනුවර අම්පිටිය බෙවරට්ස් රෝමානු කතෝලික පාසලේත් රෝසා අධ්‍යාපනය ලැබීය.

“අපේ පාසලට පිට්ටනියක් තිබුණේ නැහැ. මාර ගස් තිබුණා. අපි දිව්වේ ඒවා වටේ. පාසල තිබුණේ කන්ද උඩ. අපි දිනපතා පඩි 85ක් නැග්ගා බැස්සා. අවුරුදු 12 වෙද්දී මම ෆුට්බෝල් ගහන්න පටන් ගත්තා. අවුරුදු 15 වෙද්දී මම පාසලේ ෆුට්බෝල් ටීම් එකේ ඉදිරියෙන් හිටියා. මගේ පුරුද්දක් තිබුණා ෆුට්බෝල් සෙල්ලම් කරලා ඉවර වෙලා ඒ බෙවරස්ට් පිට්ටනිය වටේ දුවනවා. රවුම් 12යි හැතැප්මකට. මම ඒක දුවලා ගෙදරට දිව්වා.

අපේ විදුහල්පති ලාසරස් වීරසිංහ එතුමා මා දුවන අන්දම දැකලා දවසක් මට කැඳවීමක් කළා. මම කැඳවන කාරණය නොදන්නා නිසා ටිකක් බයෙන් ගියා. මට වාඩිවෙන්න කියලා මගෙන් ඇහුවා.

“ලූෂන් හැමදාම ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ දුවනවා නේද” කියලා.

“මම ඔව් සර්” කිව්වා.

“ලූෂන් මලල ක්‍රීඩාවලට කැමැති නැද්ද. මට හිතෙනවා ධර්මරාජේ”කේ‍රාස් කන්ටි්‍ර” එහෙම දිව්වොත් ලූෂන්ට තැනක් ගන්න පුළුවන්”

මේ අතර මට රක්ෂාවක් ලැබුණා. බේකරිවලට රබර් දර සපයන මුදලාලි කෙනෙක් ගාව ගිණුම් ලිපිකාර වැඩක්. මම ඒකත් කරනවා. ඒ ගමන් කියතත් අදිනවා. ගලවන ගස්වල අතු කපන්නත් යනවා. දවසක් අතේ මාපටඇඟිල්ල කැපුණා. මේ දුෂ්කර ජීවිතය ආරංචි වෙලා අක්කා මටත් හොරෙන් මා නමින් හමුදාවට අයැදුම්පතක් දමා තිබුණා.

අක්කගේ මහත්තයා හමුදා ඉන්ජිනේරු බළකායේ වැඩකළේ. මාත් සම්මුඛ පරීක්ෂණ තුනම පාස්වෙලා ඉන්ජිනේරු අංශයට තෝරා ගත්තා. පනාගොඩ මාසයක් ඉඳලා දියතලාවට ආවා. එහෙදී ආයේ දුවන්න ගත්තා. අපේ ප්ලැටුන් එක අරන් උදේ දිවීමත් සාජන් මට භාර දුන්නා. ඊළඟට අපි අම්පාරේ පුහුණුවට යැව්වා. මට ආමි මීට්වලට දුවන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වෙද්දී හමුදා තරගවලින් ඉදිරියෙන් හිටියේ කරුණානන්ද. 1964 ඔලිම්පික් ගියේ කරුණානන්ද. එයා වට 4කින් පරාජය වෙලත් අවසානය දක්වාම දුවලා ලෝක ප්‍රසිද්ධ වුණා මතකනේ.

කොහොම වුණත් 1966 හමුදා තරගාවලියේ මම කරුණානන්ද පරද්දලා රෙකෝඩ් එකක් තිබ්බා. ඒක තවමත් කඩලා නෑ. 1966 අවුරුද්දේ ජාතික තරගාවලියේදී මම මීටර් 5000, 10000 තරග දෙකම දිනුවා. එයින් පස්සේ තමයි මම ආසියානු තරගවලට බැංකොක් ගියේ.

මේ වෙද්දිත් මම දිව්වේ නිරුවත් දෙපාවලින්. සපත්තු අරන් දෙන්නද කියලා හමුදාව මගෙන් ඇහුවෙත් නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. කොහොමත් මට පුරුදු විධියට දුවන එක හොඳයි කියන තැන තමයි මම හිටියේ. බැංකොක් ආසියානු තරග ධාවන පථයට ගියාම මම හැරුණාම තව නේපාලෙන් ආපු දෙන්නෙක් හිටියා සපත්තු නැති. අපි තුන්දෙනා හැරෙන්න අනෙක් සියලුම ක්‍රීඩකයෝ බොහෝම වටින සපත්තු පැලඳගෙන හිටියා. 1966 ඒෂියන් ගේම්ස්වල මීටර් 5000, 10000 දෙකේම මම තුන්වැනියා වුණා. ලෝකඩ පදක්කම් දෙකක් ලැබුණා. මගේ ඉලක්කය සිල්වර් මෙඩ්ල් එකක්, ජපන්, කොරියන් ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටි නිසා ඒ අවස්ථාව අහිමි වුණා.

මේ අතර මම ඉන්දියාවේ, තායිලන්තයේ , සිංගප්පූරුවේ තරග දිනුවා. 1968 සිංගප්පූරුවේදී මම මීටර් 5000 මිනිත්තු 14.21 ට අවසන් කළා. ඒ වන විට වාර්තාව තිබුණේ 14.22ක. ඊළඟට 1968 ඔලිම්පික් තිබුණේ මෙක්සිකෝවේ. මම සිංගප්පූරු ඉඳන් එද්දී පත්තරවල තිබුණේ “රෝසා මෙක්සිකෝ ඔලිම්පික් තරග සඳහා තෝරා ගනී” කියලා. මම කරුණානන්දව පරාජය කළාම පත්තරවල දැම්මේ ඔලිම්පික් ගිය කරුණානන්ද රෝසාට පරාජය වෙයි” කියලා. ඒක මගේ හිතට ලොකු කැළලක් වුණා. මම හිතුවා ඔය පහරම කවද හරි මාධ්‍ය මටත් එල්ල කරයි කියලා.

දැන් 1968 ඔලිම්පික් යන්න මාවයි විමලසේනයි දෙන්නා සිලෙක්ට් කරලා තිබුණා. නමුත් දවස් තුනක් තියා මගේ නම කැපුවා. මාව කපන්න හේතුව ඔලිම්පික් කමිටුවට මුදල් නැති නිසා බවයි කිව්වේ. මාව කපලා මුස්තාපා කියලා මැනේජර් කෙනෙක් ගිහින් තිබුණා. ඒක තමයි මට වැදුණු පළවැනි පිහිපාර.

මම 1967 හමුදාවෙන් අයින්වෙලා ලංකා ගමනාගමන මණ්ඩලයට ගියා. සී.ටී.බී. එක මලල ක්‍රීඩා සංචිතයක් හදන්න මාවයි සුනිල් ජයවීරයි දෙන්නම ගත්තා. සුනිල් ගුණවර්ධන, භද්‍රා, රංජිත් පෙරේරා දෙන්නා ඊට පස්සේ ගත්තා. කොහොම හරි මට ඔලිම්පික් යන්න බැරිවුණා. ඔලිම්පික්වල තුන්වැනියා මීටර් 5000 දිව්වේ 14.12ට

පළමුවැනියා 14.04යි.

එතකොට මගේ කෝච් ඇන්තනි අබේසිංහ. මම දිගටම ට්‍රේනින් කළා ඔහුත් සමඟ. විමලසේන, ඔලිම්පික් ගිහින් එනකොට අපට තිබුණ රාජ්‍ය සේවා ක්‍රීඩා තරග. ඒ මීට් එකේ මම මීටර් 5000 14.10ට දිව්වා. ගියා නම් මට ස්ථීර වශයෙන්ම තැනක් එනවා. අපිට ඒ කාලේ විශේෂ පහසුකම් නැහැ. බස් පාස් තිබුණා. බස් එකේ ටොරින්ටන් ඇවිත් පුහුණුවීම් කරලා වැඩටත් ගියා. ඒ කාලේ අපි තමා ගවමන්ට් සර්වන්ට් චැම්පියන්ලා. මම මීටර් 5000, 10000 දිව්වා. සූනිල් ගුණවර්ධන 200, 400, දිව්වා. රංජිත්ලා දෙන්නා දුර පැනීම උස පැනීම කළා. ඒ වෙලාවේ සී.ටී.බී. එකට ලොකු නමක් තිබුණා.

1970දී මම මීට් 4ක් එකවර දිනුවා. ඉන්දියාවේ ජාතික ශූරයා ත්‍රිපාල් සිංවත් පැරැද්දුවා. 1970 දෙසැම්බර් 6 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට බැංකොක් ගියා. මට අපේ රටේ පත්තරවත් තැනක් දීලා තිබුණේ නැහැ. ඉන්දියාවේ සිගේරා , ජපානේ කොරියාවේ ක්‍රීඩකයෝ තමයි උස්සලා තිබුණේ ග්‍රවුන්ඩ් එකේ මීටර් 5000 මට හමුවුණේ අන්තිම ට්‍රැක් එක. ගැප් එකෙන් ගැප් එක ඉස්සරහට ගිහින් මම හතර දෙනා අතරට ළංවුණා. අන්තිම මීටර් 200 දීත් මම හතර වැනියා. මම හිතන්නේ මම තප්පර 200 කින් විතර ඒ මීටර් 200 අවසන් කළා. 14.32ට මම පළමුවැනියාට තරගය දිනුවා. මට රන් පදක්කම ලැබුණා.

මම පළමුවැනියා, ඉන්දියාවේ එඩ්වඩ් සිගේරා දෙක, ඊශ්‍රායල් ක්‍රීඩකයා තුන. ජපන්, කොරියන් අයට ප්ලේසස් ගන්න බැරිවුණා. රස්නෙත් බලපාන්න ඇති. 5000 ඉවර වුණාම රිපෝටර්ලා මාව වටකර ගත්තා. එක්කෙනෙක් මට පෙන්නුවා “ ඔයාගේ කකුලෙන් ලේ ගලනවා නේද” කියලා. එතකොට තමයි මම දැක්කේ මගේ කකුලේ උඩපතුල හිල්වෙලා ලේ ගලනවා. ඉන්දියාවේ ක්‍රීඩක සිගේරාගේ ස්පයිස්වලට මගේ වම් කකුල පෑගිලා. මම සපත්තු දමලා නැහැනේ. පස්සේ ඒ වෙලාවෙම මාව ස්ටේඩියම් එකේ මෙඩිකල් සෙන්ටර් එකට ගෙනිච්චා තුවාලෙට මැහුම් දෙකක් දැම්මා.

දැන් මම තව දවස් 4කින් මීටර් 10000 දුවන්නත් ඕන. ඩොක්ටර් කිව්වා විවේක ගන්න ප්‍රැක්ටිස් කරන්න යන්න එහෙම එපා කියලා. මේ වෙලාවේ පත්තර අනාවැකි පළකර තිබුණා රෝසා 5000 දිව්වට 10000 දුවන්න බෑ කකුල ඩැමේජ් කියලා. කොහොම හරි මීටර් 10000 දුවන්න කලින් දවසේ උදේ ඩොක්ටර් මට එන්න කිව්වා. මම ගියාම එයා තුවාලෙ ටිකක් මිරිකලා එහෙම මගෙන් ඇහුවා ‘රිදෙනවද’ කියලා. මම කිව්වා යන්තම් රිදෙනවා කියලා.

“කමක් නැහැ ඔයා පිට්ටනියට ගිහින් ටිකක් ජොගින් කරලා එන්න” මම ගිහින් ටිකක් දුවලා ආවා. ඩොක්ටර් ආයේ තුවාලේ වටේ ඇඟිල්ල ඔබලා ඇහුවා

“ගොඩක් රිදෙනවද” කියා.

“ඩොක්ටර් යාන්තමට රිදෙනවා” මම කිව්වා.

“ඔයාට දුවන්න පුළුවන්. ඔයා බය නැතිව දුවන්න මොනවත් වෙන්නෑ” ඩොක්ටර් කිව්වා.

මීටර් 10000 දුවන දවසෙ උදේ පත්තරවල තිබුණේ ජපානේ ඉත්සුකි ජයග්‍රහණය කරන බවත් තුවාලය නිසා එල්.බී. රෝසා ඉදිරිපත් නොවන බවත්. රිපෝටර් මට තුවාලය පෙන්නනකම් මගේ මැනේජර් රාජා වික්‍රමසිංහවත් මගේ කකුල තුවාල වූ බව දැක තිබුණේ නැහැ.

දැන් මීටර් 10000 දුවන්න පටන් ගත්තා. ඒ දවස්වල ක්‍රීඩකයන්ට ඔරලෝසුව බඳින්න තහනම්. ටයිමින් දෙන්නත් බෑ. හැබැයි ස්ටේඩියම් ඒකේ කොන් දෙකේ ඔරලෝසු තිබුණා. ඒක පේනවා. ඒ වුණාට මම රාජා වික්‍රමසිංහට කිව්වා.

“මම එක ලැප් එකක්වත් 72ට උඩින් ගියොත් ලේන්සුව වනලා පෙන්නන්න” කියලා.

72 කියන්නේ මීටර් 400ක් තප්පර 72 ගාණේ අනේ මම දුවන්න ගත්තම ලේන්සුව දැක්කෙවත් නැහැ. මම 70, 71 වාගේ තමයි දුවන්නේ කියලා මට තේරෙනවා. අන්තිම ලැප් තුන වෙනකොට අපි තුන්දෙනයි හිටියේ. ජපන් දෙන්නා මට ඉස්සරහින් කොරියන් කෙනා මට පිටිපස්සේ දෙවැනි ලැප් එකට එද්දී ඉත්සුකී මට ඉදිරියෙන් දුවනවා. අනෙක් ජපනා මීටර් 20 විතර මට පිටුපසින්. දැන් මට හොඳටම විශ්වාසයි මම සිල්වර් මෙඩ්ල් එක ගන්නවා. පිටුපස එන කෙනාට මාව අල්ලන්න බෑ. අන්තිම වට තුන් කාලක් දිව්වා. අවසන් බෙන්ඩ් එක ගත්තාම එන්නේ කෙළින්ම මීටර් 300.

මට තේරුණා මා ඉන්නේ හරිම රිලැක්ස් එකේ. මම මගේ රේස් එක දිව්වා නම් මීට වඩා හයියෙන් දුවන්න තිබුණා. නමුත් මම දිනන්නනේ දුවන්නේ. මම පුළුවන් වේගයෙන් අවසන් මීටර් 200 දිව්වා. තායිලන්තේ රෝසා කියන නම ලෙළ දුන්නා. මුළු ස්ටේඩියම් එකම රෝසා, රෝසා, කියලා කෑ ගැහුවා. මම ජපානේ ඉත්සුකීව පාස්කරද්දී මට දැනුණේ මම දුවනවා එයා එක තැන හිටගෙන ඉන්නවා වාගේ. මීටර් 6ක ලීඩ් එකක් තියලා තරගය අවසන් කළා. කාලය මිනිත්තු 29 තප්පර 55.6යි. ඒක මීටර් 10000 ආසියානු වාර්තාව.

මම තමයි ආසියානු තරගයකින් එකවර රන් පදක්කම් දෙකක් දිනපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා. මගේ වාර්තාව පිරිමි පැත්තෙන් තවම තියෙනවා. එයාර්පෝට් එකේ අපට ලොකු පිළිගැනීමක් තිබුණා. අම්මයි බාප්පයි ඇතුළු පවුලේ අයත් ඇවිත් හිටියා.

තරගය දිනුවට පස්සේ මම බැංකොක්වල ඉද්දිම මට ශිෂ්‍යත්වයක් ලැබුණා. ජපානයෙන් අවුරුදු 5කට ජපන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. මේ විස්තර පත්තරවල පළවුණා. මේ අතර ඇමෙරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලේ ක්‍රීඩා අධ්‍යක්ෂත් බැංකොක් ඇවිත් තිබුණා. ඇමෙරිකන් කෝච කෙනෙක් මඟින් එයා මාව කැඳවලා දැනුම් දුන්නා මට අවුරුදු 4ක ශිෂ්‍යත්වයක් දෙන්න කැමැති බවත්. මම කැමැති බව දන්වා ලංකාවට ආවා. ලංකාවට එද්දී නැඟෙනහිර ජර්මනියෙන් ශිෂ්‍යත්වයක් ලැබී තිබුණා මාස තුනකට.

මේ අතරේ 1971 ජනවාරි 2 අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මට කැඳවීමක් කළා. අරලියගහ මන්දිරයට ගිහින් එතුමිය හමු වුණා. රංජිත් වීරසේන මහත්තයා තමා මාව එක්ක ගියේ. මැතිනිය ඉහළ මහලයේ සිට ඇවිදින් මා රටට අත්කරදුන් ජයග්‍රහණය ගැන ප්‍රශංසා කළා. එතුමිය දැන සිටියා මට ශිෂ්‍යත්ව ලැබී තිබෙන බව.

“මම කියන්නේ නැහැ ඔහේට යන්න ඕන කොයි රටටද කියලා. ඔහේට ඕන රටක් තෝරාගන්න පුළුවන්. හැබැයි මම නම් යන්නේ ඇමෙරිකාවට” කියලා මැතිනිය කිව්වා.

මට ඉහේ මලක් පිපුණා. මොකද දැන් අමාත්‍යාංශය හදන්නේ මාව නැඟෙනහිර ජර්මන් යවන්නනේ. මම අමාත්‍යාංශයට දැනුම් දුන්නා අගමැතිනිය මට ඇමෙරිකාවට යන්න උපදෙස් දුන් බව. ක්‍රීඩා ඇමැති කේ.බී. රත්නායක ඇමෙරිකන් තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කර දුන්නා. මේ අනුව මම නැඟෙනහිර ජර්මනියට ගිහින් මාස තුනේ පුහුණුව අවසන් කර ඇමෙරිකාවට ගිහින් විස්කොන්සින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පසුව මලල ක්‍රීඩා උපදේශකයකු හැටියට ඇමෙරිකාවේම රැකියාව කළා.

උදේනි සමන් කුමාර
(උපුටාගැනීම – මව්බිම)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x