ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මගෙ Covers කරපු අයටමම පෞද්ගලිකව කතා කළා

මේ දවස්වල මොකද වෙන්නේ උරේෂා?

කොවිඩ් තත්ත්වයත් එක්ක වැඩ කටයුතු ඔක්කොම නැවතිලා. මේ දවස්වල ඉතින් ගෙදරට වෙලා ඉන්නවා. චන්න අයියාගේ අලුත් චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කළා. ඊට අමතරව අලුත් ගී පද රචකයන්ට ගීත කිහිපයක් නිර්මාණය කළා.

ඒවායේ රූප රචනා කළේ නැද්ද?

නැහැ. අලුත් ගී පද රචකයන් කරන CD තැටිවලට තමයි ගායනා කළේ. මේ කාලෙ මිනිසුන්ට නිදහසේ ගීත රසවිඳින්න මානසිකත්වයක් හෝ අපිට නිදහසේ ගීත ගායනා කරන්න මානසිකත්වයක් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක.

ජනතාව ඉන්න තත්ත්වයත් එක්ක ඔවුන්ගේ මානසික සුවය සඳහා අලුත් නිර්මාණ ලබාදිය යුතු මොහොතක් නේද මේ?

සාමාන්‍යයෙන් ගීතයක් රසවිඳින්න නම් මනස සුවපත් වෙලා තියෙන්න ඕනෙ. මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ගීතයක් අහලා රසවිඳින්න පුළුවන් මානසිකත්වයක් ජනතාවට නැහැ. ඒ නිසා ගීතයක් කළාම ඒක දැනෙන ප්‍රමාණය අඩුයි. මනස සුවපත් වෙන්න අලුත් නිර්මාණ ලබාදෙන එක හොඳයි. නමුත් මම හිතන්නේ ගීතයක් අහලා රසවිඳිය හැකි මට්ටමක දැන් ප්‍රේක්ෂකයො නැහැ. ගීත ජනප්‍රිය වෙයි. නමුත් මට ඕනෙ ප්‍රේක්ෂකයන් ගීත අහලා රසවිඳිනවා දකින්න.

කලා කටයුතුවලට කාර්යබහුල නැති නිසා පවුල වෙනුවෙන් දැන් වැඩි ඉඩක් වෙන්කරලා ඇති?

පවුලේ වැඩකටයුතුවලට දැන් ඉබේම ඉඩක් වෙන්වෙලා. ප්‍රසංගත් නැහැ. අඩුම තරමේ රූපවාහිනි වැඩසටහනකටවත් යන්න විදියක් නැති නිසා පවුලේ කටයුතුවලට ඉබේම වැඩි කාලයක් යෙදවිලා.

රියැලිටි තරග විනිශ්චයට ආරාධනා ලැබුණෙ නැද්ද?

ආරාධනා ලැබුණා. මට අවස්ථාව ලැබිලා මාත් ඒකට කැමැති නම් මම ඒවට සම්බන්ධ වෙනවා.

රැල්ලක් විධියට “Cover Songs” නිර්මාණය වෙන කාලෙක Covers කරන එක ගැන ඔබේ අදහස?

ගොඩක් වෙලාවට ලෝකෙ ගොඩක් රටවල ඔරිජිනල් ගීතයට කවර්ස් නිර්මාණය වෙනවා. නමුත්, ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගේ ආර්ථික මට්ටම් අනෙක් රටවල කලාකරුවන්ගේ ආර්ථික මට්ටමට සාපේක්ෂව වෙනස්. ඒකත් එක්ක කවර්ස් කරන එක එච්චර සුදුසු නැහැ. නමුත් කවර්ස් කරන එක වැරැදි නැහැ. එක ගීතයකට කවර්ස් සීයක් කළත් මුල් ගීතයේ රසය. ඒ ලස්සන කවදාවත් කවර්ස්වලින් එන්නේ නෑ. කවර්ස්වල තියෙන්නේ වෙනම රසයක්.

කවර්ස් නිසා මුල් ගීතයට හානියක් වෙනවද?

නැහැ. මුල් ගීතයට හානියක් වෙන්නේ නැහැ. කවර්ස්වල ආකෘතිය මුල් ගීතයට වඩා වෙනස් සහ වෙන හැඩකින් එන්නේ. ඇතැම් අවස්ථාවල කවර්ස් නිසා මුල් ගීතය අහන්න පෙලඹෙන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා.

නමුත් කවර්ස් කරන එක බොහෝ දෙනා විවේචනය කරනවා නේද?

සමහරු ඉන්නවා කලින් කවර්ස් කරපු අයත් අලුතින් කවර්ස් කරලා දැන් ක්‍ෂේත්‍රයට එන අයව විවේචනය කරන. එහෙනම් ඒ අයත් කවර්ස් නොකර ඉන්න ඕනේ. ක්‍ෂේත්‍රයට පය තිබ්බ පමණින් අනෙක් අයව විවේචනය කරන්න අපිට බැහැ. අපි දැන් ක්‍ෂේත්‍රයේ යම් දුරක් ඇවිල්ලා ඉන්නේ. අපි අපේ ප්‍රවීණයන්ට දෙවියන්ට වගේ සලකනවා. ඕනම කලාකරුවෙක් නිරහංකාර වෙන තරමට වටිනාකම වැඩියි. තව කෙනෙක් විවේචනය කරන එකට මම හරිම විරුද්ධයි.

හැමෝටම රියැලිටිවලින් එන්න බැහැනේ. එහෙම අවස්ථාවක් නැති අයට කවර්ස් කරලා තමන්ගේ හැකියාව පෙන්නලා ගමනක් යන්න පුළුවන්.

ඔබේ ගීතවලට කරන කවර්ස් ගැන ඔබ දක්වන්නේ මොනවගේ ප්‍රතිචාරයක්ද?

මගේ ගීතවලට ඕනෑ තරම් කවර්ස් හැදිලා තියෙනවා. සමහරු මට කවර්ස් කරලා එවනවා. මට ඒවා අහද්දී සතුටුයි. ඒවයේ තියෙන්නේ වෙනස් රසයක්. මම ඒවා අහලා පෞද්ගලිකවම එයාලට ප්‍රතිචාර දක්වනවා. එහෙම අගය කිරීමක් කළේ නැත්නම් ඔවුන්ට ඉදිරියට එන්න බැහැ.

ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට නව පරපුර ගැන මොකද හිතෙන්නේ?

හොඳ අලුත් ගායක පරපුරක් ඉන්නවා. රියැලිටි තරග හරහා කට්ටියක් එනවා. කවර්ස් හරහා කට්ටියක් එනවා. එයාලා දක්ෂයි. යොහානි ගත්තොත් එයා දැන් නෙමේ මීට කලින් ක්‍ෂේත්‍රයට ආපු ගායිකාවක්. එයාගේ නිර්මාණවලට ඇතැම් ජනප්‍රිය අය පවා ‍ෙදාස් කියනවා. මම නම් මැද තැනක ඉඳලා ඒවා රස වින්දා. යොහානි ජනප්‍රිය වුණේ වෙනස් ශෛලියකින්. එයා ගායනා කරන විලාසය වෙනස්. රැප් කරන්නත් පුළුවන්. දැන් වෙනම ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන යනවා. අපිට දක්ෂ තරුණ ගායික ගායිකාවන් ඉන්නවා. මීනා දුමාල්, සංඛ, තීක්ෂණ, ෂෙහාන්, ෆැලන් මේ අය ගොඩක් දක්ෂයි. තරගවලට අමතරව ක්‍ෂේත්‍රයට ආපු ඇතැම් අයත් ඉන්නවා තමන්ටම අනන්‍ය වෙච්ච හොඳ හඬවල් තියෙන.

මේ වගේ ව්‍යසන තත්ත්වයකදී උදවු උපකාර කිරීමට කලාකරුවන් වෙනුවෙන් නිර්මාණය වුණු අරමුදලක් තියෙනවද?

එහෙම අරමුදලක් නම් නැහැ. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයත් එක්ක දැන් අවුරුදු දෙකහමාරක වගේ ඉඳලා ගායක ගායිකාවන්ට ප්‍රසංග නැහැ. මේ තත්ත්වය මත ලොකු අපහසුතාවන්ට පත්වෙන කලාකරුවො ඉන්නවා. ඒ වගේ වෙලාවක යම් අරමුදලක් තිබුණා නම් හොඳයි. මේ වගේ වෙලාවක රජයත් අපහසුතාවන් ගොඩක් මැද්දේ ඉන්නේ. ඒ නිසා රජයේ උපකාරයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ගායක ගායිකා සංසදයක් තියෙනවා. ඒකෙන් නම් සෑහෙන දේවල් කරනවා. ඔවුන් කලාකරුවෝ ගැන බලනවා. ජානක අයියටයි, කීර්ති අයියටයි ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ.

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කියමු?

ඉක්මනටම මේ වසංගත තත්ත්වය තුරන් වෙලා හැමෝම සුවපත් වෙලා හොඳ මානසික තත්ත්වයකින් ඉන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ආසාවෙන් ඉන්නවා ප්‍රේක්ෂකයන්ට අලුත් නිර්මාණ අරගෙන එන්න.

ඉරේෂා කල්හාරි සේනාධීර
(උපුටාගැනීම – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x