ඡායාරුප ගැලරියේවිශේෂාංග

මිනී එක්කම ඉන්න නිසා සමහරුන්ට මාව පේන්නෙ හොල්මනක් වගේ

‘‘අපේ ගමේ රෑ දෙගොඩහරියෙත් තනියම මිනී එම්බාම් කරන තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා. ආයෙ ඉතින් යකෙක්ටවත් බය නෑ.’’ මේ ලිපියේ කතා නායිකාව වන N.A.K. දිනූෂා කුමාරි පිළිබඳව ඇගේ අසල්වැසියෙකු වූ මගේ මිතුරියක් කීවේ එසේය.

මිතුරියගේ කතාව කන වැකුණු විගස, අරුණ ජයසේකර අධ්‍යක්ෂණය කළ ‘නිකිණි වැස්ස’ චිත්‍රපටය මගේ මතකයට නැගුණි. ඒ චිත්‍රපටයේ චාන්දනී සෙනෙවිරත්න රඟදැක්වූ ‘සෝමලතා’ නම් මිනී එම්බාම් කරන්නියගේ චරිතයද බොහෝදෙනාගේ ඇගයුමට පාත්‍ර විය.

සැබෑ ජීවිතයේදී තරුණ ගැහැනු ළමයෙක් එවන් භාරදූර රැකියාවක නිරතවීම කෙතරම් අභියෝගකාරී ඇතිදැයි තවදුරටත් මා සිතුවේ චිත්‍රපටයේ මිනී එම්බාම් කරන්නිය මුහුණදුන් කටුක සිදුවීම් සිහිපත් වීය.

‘‘ඒ විතරක් නෙමෙයි පාන්දර ජාමෙට වුණත් තනියම හර්ස් එක පැදගෙන ගිහිල්ලා මිනිය මළගෙදරට බාරදෙන්නෙත් ඒ ළමයමයි.’’

මිතුරිය ඈ පිළිබඳව තවත් විස්තර කළාය.

පාන්දර ජාමයට තනිපංගලමේ ගෙයින් එළියට යාමට ගැහැනුන් පමණක් නොව ඇතැම් පිරිමින් පවා බියය. එවන් තත්ත්වයක මළසිරුරක්ද දමාගත් අවමංගල්‍ය රථයක් කාන්තාවක් විසින් තනිව පැදයාම නම් විශ්වකර්ම වැඩක්ය. එසේම මළසිරුරක් එම්බාම් කිරීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. හිත් හයිය පිරිමින් පවා මිනියක් එම්බාම් කිරීමට පෙර මධුවිතෙන් සප්පායම් වන බව අප අසා ඇත.

කරුණු කාරණා එසේ වෙද්දී තනිව මිනී එම්බාම් කරනා මෙකී තරුණිය පිළිබඳව උපන් කුහුල නිසාම ඇගේ දුරකතන අංකය ඉල්ලාගත් මම පසුදිනක ඇයට ඇමතුමක් ගත්තෙමි.

‘‘මොකටද මැරුණු මනුස්සයෙකුට බය වෙන්නේ? හරිනම් බය වෙන්න ඕනෙ ජීවත් වෙන අයටනේ.’’

සංවාදයට මුලපුරමින් මා ඇගෙන් ඇසූ ප්‍රශ්නයට ඇය එසේ පිළිවදන් දුන්නාය.

දිනූෂාගේ පියාත් මල්ශාලාවක සේවය කළ අයෙකි. ඔහු දියණියට යමක් කමක්​ තේරෙන වියේදීම තමා සේවය කළ රුවන්වැල්ල සමූපකාර මල්ශාලාවට ඇයවද කැටුව ගියේය.

‘‘දවසක් තාත්තා මිනියක් එම්බාම් කරන හැටි මම බලාගෙන හිටියා. එදා නම් මගේ හිතට පොඩි චකිතයක් දැනුණා. ඒත් පස්සේ ඒක ගානක් නැහැ. ඊටපස්සේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලා නිකන් ඉන්න වෙලාවට මමත් තාත්තට අත්උදව් දෙන්න මල්ශාලාවට ගියා.

අවුරුදු පහළොව වෙද්දී මම තනියම මිනී එම්බාම් කරන්නත් පටන්ගත්තා. ඔහොම අවුරුද්දක් දෙකක් යනකොට සමූපකාරේ අවමංගල්‍ය ටෙන්ඩරේ ගන්න කවුරුත් නැහැ කියලා දැනගන්න ලැබුණා. ඒ නිසා මේ වැඩේ බාරගන්න මම තීරණය කළා. එතකොට ඕනෙ නම් මට අවුරුදු 20ක් ඇති.’’

මේ අභියෝගකාරී රැකියාව දිනූෂා සිය ජීවිකාව කරගත්තේ එසේය.

‘‘අද මිනියක් ආවොත් හෙට ඒක බාරදෙන්න ඕනේ. රෑ ද දවල්ද කියලා නැතුව මේ වැඩේ හරිවෙලාවට ඉවර කරන්න ඕනේ. ඉතින් රෑ එකට දෙකටත් මම තනියම මිනී එම්බාම් කරනවා. ස්වභාවික විදිහට මියගිය කෙනෙක්ව පැය බාගයකින් වගේ එම්බාම් කරන්න පුළුවන්. හැබැයි හදිසි මරණ පරීක්ෂණයක් කරනවා නම් එම්බාම් එකට පැය හතරක්වත් යනවා.’’

මළසිරුරක් එම්බාම් කිරීම වෛද්‍ය සැත්කමක් කරනවාක් මෙන්ම ඉතා සියුම් කර්තව්‍යයකි. මියගිය පසු සිය ඥාතියාගේ රුව ජීවමානව සිටි අයුරින්ම දැකබලාගැනීම නෑ හිතවතුන්ගේ පැතුමය.මළසිරුරක් එම්බාම් කෙරෙන හැටි නියමාකාරයෙන් දැනගැනීමේ කුහුල මා තුළද ඇති වූයෙන් මම අපේ කතාව එදෙසට හැරවීමි.

පසුව ඇය කීවේ එම්බාම් කිරීම පටන් ගැනීමට පෙර මළසිරුර හොඳින් පරීක්ෂා කිරීමත් සිරුරේ රුධිරය තැවරී ඇත්නම් පමණක් එය සෝදා පිරිසිදු කිරීමත් වැදගත් බවය. අනෙක් වැදගත්ම දෙය ප්‍රධාන බල නහරය තක්කයටම සොයාගැනීම බවද ඕ කියන්නීය.

‘‘වැරදි නහරයකට එහෙම ෆෝමලීන් විද්දොත් මිනිය ඉක්මනට නරක් වෙන්න බලනවා. ඒ නිසා හරියටම බලනහරය තෝරලා බේරලා බෙහෙත විදින්න ඕනේ.’’

බලනහරය සොයාගැනීම උදෙසා කපන්නේ මළසිරුරේ දකුණු කලවා පෙදෙසය.

‘‘සමහර අයගේ ප්‍රධාන බලනහරය හීන්වෙලා, තව සමහර අයගේ බලනහරේ ඇතුළේ වැලි. එහෙම වෙලාවට ඉතින් පොඩි බලනහර දෙක තුනක් හොයලා බලලා ෆෝමලීන් විදිනවා.’’

මේ ෆෝමලීන් බෙහෙතෙන් සිදුවන්නේ විනාඩි කිහිපයක් ඇතුළත මළසිරුර ඝනත්වයට පත් කිරීමය.

‘‘කකුලෙන් බෙහෙත ඇඟට දෙන අතුරතුරේම බෙල්ල ගාවින් කපලා පොඩි බටයක් දාලා ඇඟේ තියෙන ලේ ටික අයින් කරන්න ඕනේ. හරියට ලේ අයින් නොකළොත් මිනිය ගඳ ගහන්න බලනවා. ලේ ටික අයින් කළාට පස්සේ බඩ මැදින් කපලා බඩබොකු ටික අයින් කරගන්නවා.’’

බඩවැල් ඉවත් කළ පසු උදරයට පුළුන් හෝ රෙදි කැබලි පුරවා උදරය මසාදමනා යුරුත්, පසුව සිරුරටම පොලිතීන් ඔතා මිනී ඇඳුම අන්දවනා යුරුත් ඈ සංක්ෂිප්තව පැහැදිලි කළාය.

‘‘ඊටපස්සේ පෙට්ටියෙන් මිනය තියලා මළගෙදරට අවශ්‍ය කරන මල්වඩම්, පාවඩ, ඇත් දත් වගේ සේරමත් එක්ක මළගෙදරට ගිහින් බාරදෙනවා. ගොඩක් වෙලාවට මේ සේරම වැඩ මම තනියම තමයි කරන්නේ.’’

මේ අපූරු කතාබහ අතරතුරේදී නොලියාම බැරි අපූර්ව මතකයන් කිහිපයක් පිළිබඳවද ඈ කීවාය.

‘‘දවසක් මිනියක් අරගෙන යන අතරතුරේදි හර්ස් එක කැඩුණා. මතක හැටියට නම් එතකොට පාන්දර එකට විතර ඇති. ඒ වෙලාවෙ ට්‍රිප් එකක් ගිය පිරිමි ළමයි කිහිපදෙනෙක් මාව දැකලා මගේ උදව්වට ආවා. හර්ස් එකේ මිනිය තියෙනවා දැකපු හැටියෙ මම හොල්මනක් කියලා හිතලා මේ ළමයි පණ එපෝ කියලා දිව්වා. මිනී එක්කම ඉන්න නිසා සමහරු මම හොල්මනක් කියලා වෙලාවකට රැවටෙනවා.

තවත් දවසක් රෑ දෙකට විතර මම මිනියක් අරන් මළගෙදරකට ගියා. පස්සේ ගෙදර ඥාතීන් ඇවිත් ‘ඔයා ආවේ ඇයි?’ කියලා මගෙන් ඇහුවා. පස්සේ ‘මිනී එම්බාම් කරන්නේ මමයි’ කියලා එයාලට කිව්වම අඬ අඬ හිටිය අයත් ඇඬිල්ල නතර කරලා තක්බීරි වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. එදා ඒ අය මගේ ගැන හරියටවත් පුදුම වුණා.’’

ඈ කියන්නීය.

මිනී එම්බාම් කරන්නියක වීම නිසා ‘නිකිනි වැස්සේ’ සෝමලතාට මෙන් සමාජයේ රැවුම් ගෙරවුම් ඇයටද එල්ල වනවාදැයි අවසාන වශයෙන් මම ඇයගෙන් ඇසුවෙමි.

කාලයත් සමඟ සමූපකාර අවමංගල්‍ය ටෙන්ඩරය ඇයට අහිමි වූ නිසා දිනූෂා ඇගේ නිවසේම මේ ව්‍යාපාරය ආරම්භ කළාය. අද ඇයට ‘කුමාරි මල්ශාලාව’ නමින් ඇයගේම ව්‍යාපාරයක් හිමිය. එසේම ඊට අවශ්‍ය සියලුම උපකරණ මෙන්ම අවමංගල්‍ය රථයක්ද ඈ සතුය.

‘‘මිනී සාප්පු අයිතිකාරයෝ දවස ගානේ පහන තියලා මිනිස්සු මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කිව්වට ඒවා අමු බොරු. එහෙම පවුකාර සිතුවිලි මගේ නම් තුන්හිතකවත් නැහැ.’’

‘‘මගෙන් ගමට ලොකු සේවයක් වෙනවා කියලා ගමේ අය දන්නවා. ඒ නිසා ගමේ හැමෝම වගේ මාව අගය කරනවා.’’

දිනක මියයන ඔබ මා අවසන හැඩවන්නේ දිනූෂා වැනි හිත් හයිය මිනිසුන් අතින් වග කිසිවිටෙක අමතක නොකළ යුතුය. දැන් දිනූෂාගේ වයස අවුරුදු විසිහයකි. එසේම ඈ විවාහ වී සතුටින් දිවි ගෙවන්නීය. උපදින්නේම මියයාමට බව දන්නා නිසාමදෝ ඇගේ ජීවිතයට ඒ සා විශාල බලාපොරොත්තු නැති බව ඈ කියයි. බොහෝ කාලයක් මළගිය ඇත්තෝ වෙනුවෙන් තම සේවය ලබාදීම ඇගේ පැතුමයි. ඇගේ ඒ පැතුම ඒ අයුරින්ම ඉටුවීමට සුබ පතා මම ඒ අපූරු දුරකතන සංවාදය නිමා කළෙමි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
(උපුටාගැනීම – ධරණී පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x