ඡායාරුප ගැලරියේවිශේෂාංග

හැමෝම කතා වෙන, 110ත් පැනලා ජීවත් වෙන ජපන් දෙපල

වයස හා සම්බන්ධ අලුත් ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපානයේ කාන්තාවෝ දෙදෙනෙක් සමත්ව සිටිති. ඔවුන් මෙම ගිනස් වාර්තාව පිහිටුවා ඇත්තේ මේ වනවිට ජීවත්ව සිටින වියපත්ම නිවුන් පුද්ගලයන් දෙදෙනා වශයෙනි.

උමෙනෝ සුමියාමා සහ කෝමේ කොදාමා නමැති මෙම අපූරු සොයුරියන් දෙදෙනාගේ වයස සැප්තැම්බර් 1 වැනි දින වනවිට අවුරුදු 107 කුත් දින 300ක් විය.

ඔවුන් මෙම වාර්තාවට හිමිකම් කී බව ගිනස් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබුණේ පසුගිය සදුදාය. එම දිනය ජපානය තුළ සැලකෙන්නේ වැඩිහිටියන්ට ගරු කිරීමේ දිනය ලෙසිනි. එය ජාතික නිවාඩු දිනයක්ද වේ.

කගාවා නමැති පළාතේ ෂෝඩෝ නම් දූපතේදී මෙම සොයුරියන් දෙදෙනා උපත ලබා ඇත්තේ 1913 වසරේ නොවැම්බර් 5 වැනි දිනය. ඔවුන්ගේ පවුලේ සිටි දරුවන් ගණන 13ක් බවද සඳහන් වේ.

මේ වනවිට මෙම නිවුන් සොයුරියන් ජීවත් වන්නේ වෙනම වැඩිහිටි නිවාස දෙකකයි.

ඔවුන් නිවුන් සොයුරියන් වුවද කුඩා වියේ පටන්ම උමෙනෝ සහ කෝමේ ජීවත්ව ඇත්තේ එකිනෙකාගෙන් වෙන්ව බව පැවැසේ. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කෝමේ ඔවුන් උපන් ෂෝඩෝ දිවයිනෙන් පිටව ගොස් තිබිණි.

පසුව ඇය විවාහ වීමෙන් අනතුරුවද දිගටම ජීවත් වී තිබුණේ දූපතෙන් පිටතය. ඒ කාලයේ ඔවුන් දෙදෙනා ඉඳහිට මුණගැසී ඇත්තේ පවුලේ විවාහ උත්සව, අවමංගල උත්සව වැනි අවස්ථාවල පමණි.

එහෙත් වයස අවුරුදු 70දී පමණ ඔවුන් දෙදෙනා එක්ව බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීම සඳහා වන්දනා ගමන්වල නිරත වී තිබිණි.

උමෙනෝ සහ කෝමේ උපත ලැබූ කාලයේ ජපානයේ නිවුන් දරුවන් ලෙස උපත ලැබීම උසුළු විසුළුවලට ලක් වීමට හේතුවක් වූ බවද සඳහන්ය.

මේ තරම් වයසක් වනතුරු ජීවත් වී ලෝක වාර්තාවක් පිහිටුවීමට තමුන් දෙදෙනාට හැකි වීම ගැන ඔවුන් දෙදෙනා විහිළුතහළු කරගත් බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම වාර්තාවට මෙයට පෙර හිමිකම් කීවේද ජපාන ජාතික සොයුරියන් දෙදෙනකු වීම විශේෂත්වයකි. ඒ, කින් නරීතා සහ ජින් කානී යන දෙදෙනායි. ඔවුන්ගේ නම්වල තේරුම් රන් සහ රිදී බව සඳහන් වේ.

කින් සහ ජින් උපත ලබා තිබුණේ 1892 වසරේයි. 2000 වසරේ කින් මියගොස් තිබූ අතර ඊට වසරකට පසු ජින් ද ජීවිතයෙන් සමුගෙන තිබුණාය. උමෙනෝට වයස අවුරුදු 99දී ඇය කින් සහ ජින්ගේ ඡායාරූපයක් දෙස බලා සිට ‘අපි දෙන්නා ඊට වඩා තරුණයි වගේ පේනවා’ යැයි පැවැසූ බව පවුලේ අය පවසා තිබිණි. උමෙනෝට දරුවෝ සිවු දෙනෙක්ද, කෝමේට දරුවෝ තුන් දෙනෙක්ද සිටිති.

උමෙනෝ සහ කෝමේ දෙදෙනාට හිමි ගිනස් වාර්තා සහතික ඔවුන් වෙත පෞද්ගලිකව භාර දීමට ගිනස් ආයතනයේ නිලධාරීන්ට හැකි වූයේ නැත. ඒ කොවිඩ් වසංගතය නිසා පනවා තිබෙන සෞඛ්‍ය සීමාවන් හේතුවෙනි. මේ නිසා එම සහතික ඔවුන් වෙත යවා තිබුණේ තැපෑලෙනි.

ඔවුන් ජීවත්වන වැඩිහිටි නිවාසවල නිලධාරීන් ඒවා සොයුරියන් වෙත ලබාදී තිබිණි. තමාගේ සහතිකය දුටු උමෙනෝ සතුටු කදුළු වගුරුවමින් හඬාවැටුණු බව සඳහන්ය. නමුත් කෝමේගේ සිහි කල්පනාව දැන් පෙර තරම්ම තියුණු නොවන නිසා ඇයට මෙම සහතිකයේ වටිනාකම එතරම් නොදැනුණු බව ඇයගේ වැඩිහිටි නිවාසයේ උදවිය පවසා තිබිණි.

ජපානයේ වැසියෝ සාමාන්‍යයෙන් බොහෝ වියපත් වන තුරු ජීවත් වීමට වාසනාව ලබති. වයස අවුරුදු 110 ඉක්ම වූ අය විශාල සංඛ්‍යාවක් ජපානයේ ජීවත් වෙති.

ආහාර රටාද නිතර කය වෙහෙසා වැඩ කිරීම වැනි කාරණාද තවත් බොහෝ යහපත් සෞඛ්‍ය පුරුදුද ඔවුන්ගේ දීර්ඝායුෂ පිටුපස ඇති රහස් ලෙස සැලකේ. මේ වනවිට ජීවතුන් අතර සිටින වියපත්ම පුද්ගලයා ලෙස වාර්තා පිහිටුවා සිටින්නේද ජපාන ජාතික කාන්තාවකි.

කානේ තනාකා නම් වන ඇයගේ වයස අවුරුදු 118කි. ඇය දෙවරක්ම පිළිකා රෝගයෙන් සුවය ලැබූ කෙනකු වීමද විශේෂත්වයකි. ගෝලීය වසංගත දෙකක්ම අත්දකින්නටද ඇයට හැකියාව ලැබිණි.

සනත් වික්‍රමගේ
(මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x