ඡායාරුප ගැලරියේවිශේෂාංග

පොල් ගස් නැග්ගත් ඒක හොඳින් දැනගෙන බහින්න එපැයි

තමන් බලාපොරොත්තු වන ආකාරයේ සුපිරි පාසලක් තම දරුවා වෙනුවෙන් නැති වුණාම අපේ රටේ බොහෝ මවුපියෝ මානසිකව ඇද වැටෙනවා. ඒක ඔවුන්ට දැනෙන්නේ ලෝකයම නැති වුණා වගේ කියලා. මේ විදියේ මානසික තත්ත්වයකට පත්වන මවුපියන් ඊළඟට යහපත් හෝ අයහපත් කුමක් හෝ ක්‍රියා මාර්ගයකට යොමුවෙලා සුපිරි පාසල් පස්සෙ දුවන්නේ පිස්සුවෙන් වගේ.

ඔවුන් මේ විදියට හැසිරෙන්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. එහෙමත් නැතිනම් තරගකාරි ලෝකයට ඇතුළු වන දරුවාගේ ඉදිරි ජීවිතය ගැන හිතලා.

ඒත් ඒ සාමාන්‍ය සාම්ප්‍රදායික පිළිවෙතට අතුල් පහරක් එල්ල කොට තම දරුවන්ගේ අධ්‍යාපන ජීවිතය ගැන කිසිවකු නොසිතන තීරණ තීන්දු ගත් මවුපියන් යුවළක් අපට මුණ ගැසුණා. ඒ උරග හා උභය ජීවී විෂයය ගැන මනා දැනුමක් ඇති විද්‍යාඥයන් දෙපළක් වන මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතු වික්‍රමසිංහයි.

අපි අපේ දරුවන් පාසල් යවන්නේ නැහැ. ඒ පාසලෙන් අපි බලාපොරොත්තු වන එහෙමත් නැතිනම් හෙට දවසේ ලෝකය දකින දරුවාගේ චින්තනය මොට වන බවත් දැනෙන නිසයි. එතකොට අපි බලමු දැන් කොහොමද ඒක දරුවාට සිද්ධ වෙන්නේ කියලා.

මම මේ අනුන්ට බනිනවා නෙවෙයි. මම හිතන්නේ අපේ රටේ ඇති වුණු දීර්ඝකාලීන යුද්ධය, ඒ වගේම ජවිපෙ ප්‍රශ්න ඉදිරියේ ඇතිවූ ගැටුම්වලින් සැලකිය යුතු පිරිසක් මිය ගියා කියලයි. ඔවුන් අතරින් වැඩි පිරිසක් උගත්තු. ඒ වගේම රටට වැඩක් කරන්න පුළුවන් විදියේ ප්‍රායෝගික පිරිසක් එහි සිටියා. ඉන් පසුව ඉතිරි වුණු බහුතරයක් කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්න බැරි විදියට තමයි ඉන්නේ.

දැන් බලන්න ගුරු වෘත්තිය දිහා. ඔවුන් අතර ඉතා දක්‍ෂ ඒ වගේම මානුෂික ගති පැවතුම් ඇති උදවිය ඉන්නවා. තමන්ගේ කෑම වේල දරුවන්ට කන්න දීලා බඩගින්නේ ගෙදර යන ගුරුවරු පවා ඉන්නවා. නමුත් අද අපේ අධ්‍යාපනය වල් වැදිලා. පවතින තත්ත්වයත් එක්ක ඒ තුළ සිද්ධ වන දේ සාධාරණ නැහැ. එහෙම නම් ඇතැම් පාසල් කඩා වැටෙන්න, තවත් පාසල් බැබළෙන්න, බැබළි බැබළී තිබුණු පාසල් හිටි ගමන් කඩා වැටෙන්න බැහැ.

“මම මේව කියන්නේ නිකම් නෙවෙයි. පාසල්වල ඇවිදල ඒ විදුහල්පතිවරු, ගුරුවරු එක්ක කතා කරලා.”

“අද බලන්න ගුරුවරයා විදුහල්පතිවරයාට සතුටු වෙන විදියට හැසිරෙන්න ඕනෑ. විදුහල්පති කලාපයේ නිලධාරීන්ට, කලාපය කොට්ඨාස නිලධාරීන්ව සතුටු කරන්න ඕන. ඒ අය උඩම ඉන්න අය සතුටු කරන්න ඕන. මේකයි පිළිවෙළ. හැබැයි උඩම ඉන්න පිරිස පහළ ඉන්න අයව නොදන්නම පිරිසක් කියලයි කියන්න වෙන්නේ.”

මෙන්ඩිස් වික්‍රමසිංහ නම් මේ උරග හා උභය ජීවී විද්‍යාඥයා පවසන්නේ එබඳු කතාවකි. මෙහි ඇති තවත් පැත්තක් ඔහු පෙන්වා දුන්නේ මේ ආකාරයටය.

“මම කාන්තාවන්ව පහළට දාලා කතා කරනවා නෙවෙයි. ඔවුන්ට මම ගරු කරනවා. නමුත් රාජකාරි කටයුතුවලදී ඔවුන් හැම විටම තීන්දු තීරණ ගන්න බයයි. එහෙම කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන ඔය අනූෂා ගෝකුල වගේ නිලධාරීන් වගේ අය නැත්තෙමත් නැහැ.

ඒ වගේම ඉහළ නිලධාරීන් කියන සමහර අයත් වැඩ කරන්නේ කාන්තාවන්ද පුරුෂයන්ද කියලා හිතාගන්න බැරි විදියට. මේක හැම රාජ්‍ය අංශයකටම බලපාලා. ඉතින් කොහොමද මේ වගේ නිලධාරීන් ඉන්න කොට පහළ ඉන්න කොටසට සාධාරණයක් ඉටුවෙන්නේ? දක්‍ෂතා හැකියාව තිබෙන හැමෝම ඉවරයි.

“මෙන්න මේ දේවල් ගැන මමත් මගේ බිරියත් සෑහෙන්න සිතුවා. එහෙම හිතලා තමයි මේ වගේ තීරණයක් ගත්තේ.”

මෙන්ඩිස් – නෙතු වික්‍රමසිංහ යුවළ ආදර සබඳතාවකින් පසු විවාහ වූයේ 2007දීයි. ඔවුන්ගේ පවුලට පළමු පිරිමි දරුවා ලෙස ‘අමත’ එකතු වූයේ 2009දී.

“අපේ පළමු දරුවා පවුලට එකතු වෙද්දී අපි මේ තීන්දුව අරගෙන තිබුණා. ලංකාවේ නීතිය අනුව දරුවකුට අධ්‍යාපනය නොදීම තමයි වැරැද්ද විදියට සලකන්නේ. පාසලකට ඇතුළත් නොකිරීම වරදක් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතාගත්තා අපිට ඇති දැනුමෙන් දරුවන්ට ගෙදරදීම අධ්‍යාපනය ලබාදෙන්න ඕනෑ කියලා. ඇත්තම කිව්වොත් දැන් අපේ ගෙදර ඉස්කෝලයක් වගේ තමයි.

මෙන්ඩිස් වික්‍රමසිංහගේ ප්‍රිය බිරිය නෙතු කලක් ගුරු වෘත්තියේ නිරතව සිටියා. ඇය අපේ රටේ සුප්‍රසිද්ධ පෞද්ගලික පාසලක හොඳින් ඉගැන්වූ අපූරු ගුරුවරියක්.

ඇත්තම කිව්වොත් එදා මම ළමා මනස කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැතිව තමයි උගන්වන්න පටන් ගත්තේ. මම හිතනවා ඒ නිසාම යම්තාක් දුරට දරුවන්ට මගෙන් අසාධාරණයක් වෙන්න ඇති කියලා.

ඒක ඇත්තටම අපේ රටේ බහුතරයක් ගුරුවරුන්ගෙන් සිදුවන අඩුපාඩුවක්. අද දරුවන්ගේ චින්තනය මොට වෙලා. දරුවෝ අලුතින් හිතන්න බැරි විදියට පත්වෙල. දැන් බලන්න අද පාසලක දරුවන්ට හිනාවෙන්න බැහැ. කතා කළොත් වැරැදියි. පන්තියකදී ප්‍රශ්නයක් ඇහුවොත් ඒකත් වැරැදියි.?”

නෙතු වික්‍රමසිංහ පවසන්නේ අද ගුරු භවතුන් සිරවී සිටින්නේ වසර 50ක් පැරැණි අධ්‍යාපන ක්‍රමයක බවයි. එහි දරුවා විෂය නිර්දේශයට පමණක් කොටුකර තබා ගන්නට වැඩි බරක් යොදවා තිබෙන බවයි.

නෙතූ වික්‍රමසිංහගේ අදහසට තවත් වැදගත් කාරණයක් එකතු කළේ මෙන්ඩිස් වික්‍රමසිංහ. ඔහු පවසන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන ළදරු පාසලේ සිටම මේ ක්‍රියාවලිය තුළ දරුවන් හුදෙකලා වන බවයි.


අද බලන්න මොන්ටිසෝරි අධ්‍යාපනය දිහා… එතැනත් කරන්නේ මොකක් හරි වැඩක් දීලා කෑගහන්න එපා… දඟලන්න එපා… කියලා දරුවන්ව එකම විදියට තියාගන්නේ.

බොරුනම් ළඟම තියෙන පෙර පාසලක් ළඟට ගිහින් නොපෙනෙන්න කන්දීලා බලන්න. ඕකමයි ඇහෙන්නේ. ඊට පස්සේ ඉස්කෝලෙට ආවට පස්සෙත් කරන්නේ ඕකමයි. හැබැයි හත වසරට විතර වෙද්දී ස්ටේජ් එකට නග්ගවලා කතා කරන්න කියනවා. පුංචි කාලේ ඉඳලම කතා කරන්න නොදීපූ ළමයාට බලකරනවා කතා කරන්න කියලා. මේක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරැද්ද?

පවතින අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරමින් තම දරුවන් තිදෙනාම පාසල් නොයවන මේ මවුපියන් ඔවුන් මෙහෙයවන්නේ පුදුමාකාර ක්‍රමයකටයි.

අපේ දරුවෝ මොන වගේ විෂයන්වලට ඇලුම් කරනවාද? ඒ අය දැනගන්න ඉගෙන ගන්න කැමති මොනවාටද කියලා අපි මුලින්ම අවබෝධ කරගත්තා. ඒ අනුව පළමු පුතා සංගීත විෂයට වගේම තාක්‍ෂණ විෂයට කැමැති බව දැනගත්තා. දැන් අපි එයාට ඒ පාරේ යන්න අවස්ථාවදී තිබෙනවා.

දෙවැනි දරුවා ගගන එයා වැඩිපුර කැමැති අපේ විෂයයට. දැන් ඔහු ඒ සම්බන්ධව හදාරනවා. සොයා බලනවා. ඊළඟට ඉන්නේ අපේ දුව අරංගා. එයා ගැනත් අවධානයෙන් ඉන්නවා. පුංචි නිසා තවම හරියට කියන්න බැහැ.

උරග හා උභය ජීවී විෂයයට සම්බන්ධ මේ පවුල වැඩිපුර වෙසෙන්නේ වනාන්තරවලයි. ඒ වනාන්තරවල ගත කරන කාලය පුරාම ඔවුන් වැඩිපුරම කරන්නේ විෂයට අදාළ කරුණු කාරණා සොයා බලන එක. මේ නිසාම බොහෝ දෙනා ඔවුන්ව හඳුන්වන්නේ ඩාවින්චි පවුල කියලයි.

ඉස්කෝලේ යන්නේ නැහැ කියලා ඔවුන්ට යාළුවන්ගෙනුත් අඩුවක් නැහැ. ලංකාවේ හැම පළාතකම ඔවුන්ට යාළුවෝ ඉන්නවා. ඒ යාළුවෝ විවිධ තරාතිරමේ අය. ඔවුන් හොඳින් ඒ ඇසුර පවත්වනවා. මෙන්ඩිස් වික්‍රමසිංහ පියා කිව්වා.

පළපුරුදු එමෙන්ම පසුකාලීනව ළමා මනස පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ නෙතු වික්‍රමසිංහ දැන් ඒ දැනුමද එකතු කරගනිමින් ඉගැන්වීම් කටයුතුවල නිරත වෙන්නේ නිවෙසම පාසලක් කරගෙනයි. මේ ගෙදර පාසලේ අසල්වැසි හිතවතුන්ගේ දරුවන්ද අධ්‍යාපනය ලබන බව කිව යුතුයි.

මම උගන්වන මේ දරුවෝ අතරේ පාසල් යන අය වගේම මෙන්ම නොයන අයත් ඉන්නවා. අපි මේ දරුවන්ට උගන්වන්නේ ඔවුන්ගේ හැකියාවන් හා දක්‍ෂතා හඳුනාගෙනයි. මේ දරුවෝ නිපුණතා දක්වන අංශවලින් කවදාහරි ඉතා හොඳින් ඉදිරියට යාවි. බොරුනම් මම උගන්වන විධිය කොහොමද කියලා ඔන්ලයින් තාක්‍ෂණය මඟින් උගන්වද්දී බලන්න.

හැම මවුපියකුගේ බලාපොරොත්තුව තමන්ගේ දරුවා මොකක් හෝ වෘත්තියකින් ඉදිරියට අරගෙන යන්න. ඒ වෘත්තියේ නිපුණතා දක්වන්න නම් ඔහු ඒ පිළිබඳව හොඳින් දැන ගන්න ඕන. එහෙම නැතිව වැඩක් නැහැ. දැන් මගේ දරුවෝ ස්වභාව ධර්මයට ළැදියි. ඔවුන් පරිසරයට හුඟාක් ආදරෙයි. සතා සිවුපාවුන්ට ළැදියි. පරිසරයට ආදරය කරන අය කවදාවත් පරිසරයට හානිවෙන විධියට හැසිරෙන්නේ නැහැ.

උරග හා උභය ජීවී විෂයයට ආදරය කරන මේ දරු පවුල නයා, පොළඟා පමණක් නොව විෂකූරු ඕනෑම සතෙකු දෙස බලන්නේ මිතුරන් විධියටයි. ඒ ඇත්ත අන්තර්ජාලයෙන් කාටත් හොඳින් බලාගත හැකියි.

“මේ දරුවන්ගෙන් කැලෑව ගැන, සතා, සිවුපාවුන් ගැන අහන්න. විශ්වාස කරන්න බැරි තරමට කතා කරාවි. ඒ විතරක් නෙවෙයි අනෙක් සාමාන්‍ය කරුණු කාරණා ගැන වුණත් ඔවුන්ට තිබෙන දැනුම සුළු පටු නැහැ. අපි ඔවුන්ව පුරුදු කරන්නේ අන්න ඒ විධියටයි.”

“ඉතින් එයාලා ලොකු මහත් වෙද්දී ඒ දැනුමෙන්ම විභාගවලට ලියන්න වුණත් පුළුවන් වේවි. පෞද්ගලික අයැදුම්කරුවන් හැටියට විභාගවලට පෙනී සිටින්න තහනමක් නැහැනේ.” මෙන්ඩිස් වික්‍රමසිංහ කියා සිටියහ.

නෙතු වික්‍රමසිංහ පුදුමාකාර ගුරුවරියක් බව අප ඔබට වරින් වර සඳහන් කළා. ඒ කතාව ඇත්තක් කරන තවත් කතාවක් ඔබට මෙන්න මෙහෙම කියන්න හිතුණා.

වරක් ඇය පුත්තලම ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන් වෙනුවෙන් පැවැති දේශනයකට සහභාගි වීමට ගියා. එහිදී ඇයට පැවරී තිබුණේ ‘ජලය’ ගැන කතා කරන්න. ඇය එම ක්‍රියාකාරකම සිදුකිරීම සඳහා තෝරා ගත්තේ අදක්ෂම දරුවන් පිරිසක්.

“මේ ක්‍රියාකාරකම ඉවර වුණාම අර දරුවෝ මට එන්න දුන්නේ නැහැ.” තවත් ක්‍රියාකාරකමක් කරන්න කිය කියා බලකරන්න පටන් ගත්තා.

ඇත්තටම අපි තේරුම් අරන් තිබෙන්නේ දරුවෝ අදක්ෂ නැහැ. ඔවුන්ට තේරෙන විධියට, ගැළපෙන විදියට ආස හිතෙන විධියට අපි උගන්වන්න ඕනෑ කියලයි. ඒ එහෙම වුණාම අදක්ෂ දරුවන් කියල කොටසක් අපිට පේන්නේ නැහැ. වෙන්කරල පැත්තකට දාන්න සිද්ධ වෙන්නේ නැහැ.

අද අපි අපේ දරුවන්ට ගෙදරදීම උගන්වනවා. දරුවෝ විෂය කරුණු දන්නවා. ඔවුන් නිදහසේ අධ්‍යාපනය ලබනවා. බාහිර දක්ෂතා පෙන්වනවා.

මේ පවුලේ දෙවැනි දරුවා වූ ගගන පසුගියදා ලෝකයේ හොඳම ඡායාරූපය ලබාගත් දරුවා හැටියටද අභිෂේක ලැබුවා. ඒ ඡායාරූපය ඔහු ලබා ගත්තෙත් නිවෙසට යාබදව තිබූ පොල් ගසක සුරතල් වෙමින් සිටි ගිරවුන් කිහිප දෙනකුගේ දසුනක්.

මේ කතාබහ අවසන් කිරීමට පෙර මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.

“දැන් මේ දරුවෝ මෙහෙම ඉගෙනගෙන කවුරු වේවි කියලද හිතන්නේ? මොන රස්සාවක් හොයා ගනීවී කියලද? හිතන්නේ”

ඒක තීරණය කරන්න ඕනෑ ඔවුන්මයි. අපි දැනුම ලබාදෙන්නේ ඔවුන් කැමැති විෂය තෝරා ගෙන ඉදිරියට යන්න කියලයි. එහෙම ගියාම ඔවුන් ඒ විෂය ක්‍ෂේත්‍රයේ හොඳ නිපුණයෙක් වේ.

පොල් ගස් නැග්ගත් ඒක හොඳින් දැනගෙන බහින්න එපැයි. ඒ වෘත්තියෙන් දක්ෂයෙක් වෙන්න ඕනෑ. අපි කියන්නේ එපමණයි. අද අපේ රටේ එහෙම අය අඩුයිනේ. මොකක් හරි දෙයක් පරතරේටම ඉගෙන ගන්න අය නැහැ. හැමදේම ටිකයි. මම හිතන්නේ පොඩි දෙයක් ගැන වුණත් වැඩිපුර දැනගන්න ඕනෑ කියලයි. එහෙම අයට අවස්ථාව තිබෙනවා.

ඉතින් අපි අපේ දරුවන්ට දවස පුරා කියා දෙන්නේ හුරු කරන්නේ ඒ විධියට හදන්නයි. දවස පුරාම අපි කතා කරන්නෙත් මොකක් හරි විෂය කරුණක් ගැන තමයි. ඒ හින්දා අපේ දරුවෝ මොට වෙන්නේ නැහැ. ඒ විශ්වාසය අපිට හොඳින්ම තිබෙනවා.

වික්‍රමසිංහ යුවළ අපි සමඟ කළ කතා බහ අවසන් කළේ ඒ විධියටයි.

“යල් පැන ඇති මේ අධ්‍යාපන ක්‍රමය තුළ අපේ දරුවන් සිරවී කොටුවී තිබෙන බව නම් ඇත්තක්. ඒ විෂය නිර්දේශය අද කාලෙට වුවමනා විධියට සකස් විය යුතු බවද සත්‍යයක්”

(උපුටාගැනීම – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x