ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මහවිරු පණ්ඩු කොටස් 300 යි

සනත් අබේසේකර කියන්නෙ දැන් ඔබට අලුත් කෙනෙක් නොවෙයි. මොකද මහින්දාගමනය” සිරි දළදාගමනය” මහරජ අජාසත් වැනි ඓතිහාසික කතා පදනම් වුණ සිනමා නිර්මාණ කිහිපයකම අධ්‍යක්‍ෂවරයා ඔහු වන නිසා. සනත් විසින් පුංචි තිරයට ගෙනෙන ‘මහවිරු පණ්ඩු’ වෙනුවෙන් අලුත් යමක් කරන්නයි ඔහුගේ අදහස. මොකක්ද මේ කරන්න යන්නෙ. අපි සනත්ගෙන්ම අහමු.

‘මහවිරු පණ්ඩු’ ආරම්භය සිද්ධ වෙන්නෙ කොහොමද?

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ සංකල්පයකට අනුව ඓතිහාසික බෞද්ධ කතාවක් ටෙලිනාට්‍යයකට නගන්න ඕන කියන යෝජනාව 2020 ජනවාරි මාසයේදී හිරු ටීවී ආයතනයෙන් මට ගෙනාවා. ඒ අනුව අපි පණ්ඩුකාභය රජතුමාගේ කතාව තෝරා ගත්තා. සාර්ථක රූගතකිරීමකින් අනතුරුව ජුනි මාසයේ 19 වැනිදා සිට විකාශය ආරම්භ කළා.

සිනමා තිරයට නොගෙන පුංචි තිරයට ගෙනාවේ ඇයි?

ජැක්සන් ඇන්තනී මහත්මයා මේ කතාවම ‘අභා’ චිත‍්‍රපටයෙන් ඉදිරිපත් කළානෙ. අනෙක් කාරණය වෙන්නෙ පණ්ඩුකාභය රජතුමාගේ කතාව තමයි මහාවංශයේ දිගම කතාව වෙන්නෙ. පිටු දොළහක් පුරා ඒ කතාව දිගහැරෙනව. මේ කතාව තුළ සමූල ඝාතන හතරක් සිද්ධ වෙනව. ඒ හතරෙන්ම කුමාරයාගේ ජීවිතය බේරෙනව. එතුමා තමයි ලංකාවේ වැඩිම කාලයක් රජකම් කළ රජතුමා වෙන්නෙ. ඒ අවුරුදු 70ක්. මෙවැනි දීර්ඝ කතාවක් චිත‍්‍රපටයකින් ඉදිරිපත් කිරීම ඉතාමත් අසීරුයි. ඒ නිසා තමයි මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයකට නැගෙන්නෙ.

රංගන ශිල්පීන් තෝරා ගත්තෙ ඔබේ කැමැත්තටද?

ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායම සහ මම තමයි මේ තෝරා ගැනීම කරන්නෙ. එක චරිතයක් සඳහා මම නම් තුනක් යෝජනා කරනව. නිෂ්පාදන කණ්ඩායම ඒ අතරින් ඔවුන්ගේ තෝරා ගැනීම සිද්ධ කරනව.

ඔබ ඓතිහාසික කතාවලට වැඩි කැමැත්තක් දක්වනව. මොකක්ද හේතුව?

මහින්දාගමනයෙන් පස්සෙ එවැනිම චිත‍්‍රපට කරන්න තමයි නිෂ්පාදක වරුන්ගෙන් මට ආරාධනා ලැබුණෙ. ඒ අනුව තමයි සිරි දළදාගමනය” මහරජ අජාසත්” ගුත්තිල කාව්‍ය වැනි නිර්මාණ බිහිවුණේ. මහවිරු පණ්ඩුත් චිත‍්‍රපටයක් හා සමානයි. අශ්වයන් අරගෙන” මාළිගා හදාගෙන ටෙලි නාට්‍යයක් කරන්න අපහසුයි. මොකද ඒකට ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා.

මේ ඒකකාරී බවින් මිදෙන්න අදහසක් නැද්ද?

මම ඉගෙන ගත්තේ පිරිවෙනක. හාමුදුරුවන්ගේ ඇසුරත් එක්ක වැඩි වැඩියෙන් බුදු දහමට නැඹුරු වුණා. මහාවංශය” ත‍්‍රිපිටකය වැනි බෞද්ධ පොත් පත් පරිශීලනය කරල දැනුම ලබා ගත්තා. පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගේ අනුශාසකත්වය නිරන්තරයෙන්ම මට ලැබෙනව. ඒ නිසා සාමාන්‍ය නාට්‍යයක් කරනවට වඩා වැඩි යමක් ඓතිහාසික කතා ඇසුරින් කරන නිර්මාණයකින් පේ‍්‍රක්‍ෂකයාට වැඩි යමක් දෙන්න පුළුවන් කියලයි මම හිතන්නෙ.

මූලාශ‍්‍රයන් සොයාගැනීමේදී මුහුණ දුන් අත්දැකීම් මොනවගේද?

මේ කතාවේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වෙන්නෙ මහාවංශය. ඊට අමතරව විවිධ අය පොත් පත් ලියල තියෙනව. එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් විසින් රචනා කොට ඇති සිංහලේ මහා රාජ වංශය” ආර්. පී. සමරසිංහ මහාතා විසින් රචිත මිත්‍යාවක් නොවන රාවණා පුරාවෘතාන්තය” නවතැලියේ විජේතුංග මහතා විසින් රචිත මෙරට සාහිත්‍ය ගමන සහ විජයසිරි වෙත්තමුළි මහතා විසින් රචිත මහාවංශය සහ සිංහල ජන ජීවිතය වැනි පොත් පත් මූලාශ‍්‍රයන් සොයාගැනීමට මම පරිහරණය කළා. ඒ අනුව මෙම නිර්මාණය තුළ අන්තර්ගත වෙන්නේ සත්‍ය පමණක් බව කියන්න පුළුවන්.

යම් යම් අඩුපාඩු පිළිබඳ චෝදනා එල්ලවෙලා නැද්ද?

මට දැනගන්න ලැබෙන විදිහට පේ‍්‍රක්‍ෂක ජනතාව වගේම ලංකාවේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් මේ කතාව නරඹනව. නමුත් අද වන තුරු කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ. ඒ ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.

කතාවේ දෙබස් ඓතිහාසික බවින් මිදිල වර්තමාන තත්ත්වයට පත්වී ඇති බවක් දකින්නට ලැබෙනවා?

ඒක මෙහෙමයි. සම්පූර්ණයෙන්ම ඒ කාලේ භාෂා විලාශය මේ කතාවට ඇතුළත් කළොත් බොහෝ දෙනකුට නොතේරෙන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් කියල මට හිතුන. ඒ අනුව හිතා මතාම තමයි අදට ගැලපෙන විදිහට භාෂා විලාශය කතාවට ඇතුළත් කළේ. එහෙම නොවුණොත් තේරුම් ගන්න බැරි වචනත් එක්ක බොහෝ දෙනෙක් චැනල් එක මාරු කරන තැනට පත්වේවි.

පිටපත කොටස් කීයක් දක්වා දීර්ඝ වේවිද?

කතාවේ කොටස් ගණන අදාළ නාලිකාවෙන් තමයි තීරණය කරන්නෙ. අපි තවම ඉන්නෙ කතාවේ මැද කොටසෙ. ඉදිරියට සිද්ධීන් බොහොමයක් තියෙනව. ඒ නිසා තව කොටස් සියයක් එකසිය පණහක් හෝ ඊටත් එහා යන්න පුළුවන්.

කොටස් තුන්සියය සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන විශේෂ වැඩසටහන?

ලබන 16 වැනිදා උදෑසන 6.30ට කැලණිය කිත්සිරිමෙවන් රාජමහා විහාරස්ථානයේදී මහවිරු පණ්ඩු නාට්‍යයට සම්බන්ධ සියලූම දෙනා එකතු වෙලා කිරි ආහාර පූජාවක් පවත්වනව. මේ වැඩසටහනේ අරමුණ වෙන්නෙ පණ්ඩුකාභය රජතුමා ඇතුළු මෙහි එන චරිතවල ආත්මභාවයන් විශ්වය තුළ තවමත් සැරිසරනව නම් ඔවුන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම.

කොවිඞ් එක්ක රූගතකිරීම් සිද්ධ වෙන්නෙ කොහොමද?

ඇත්තටම අපි බොහොම පරිස්සම් වෙනව. මොකද යම් දෙයක් සිදු වුණොත් අපි විතරක් නොවෙයි අපේ ගෙවල්වල අයත් ලොකු කරදරේක වැටෙනවනෙ. ඒ නිසා අපි සියලූම දෙනා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත්කර ඇති මාර්ගෝපදේශයන්ට යටත්ව බොන වතුර බෝතලය” පිඟාන පවා ගෙදරින් ගෙනත් රූගතකිරීම් කටයුතු වලට හැමෝම ලොකු සහයෝගයක් ලබා දෙනව.

ඔබේ අලූත්ම නිර්මාණය ගැනත් කියමු?

ඔව්. ඒකත් රිදී තිරයට නිර්මාණය කරන ඓතිහාසික සිද්ධියක්. කතාව නම් කළේ ‘ගෞතම සම්බුද්ධාගමනය යනුවෙන්.. තේමාව වෙන්නෙ බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කළ කතා පුවත. දැනට ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි දහයක්. විදේශගතව ඉන්න ස්වාමීන් වහන්සේ නමක් නිෂ්පාදන පිරිවැය දරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. තවම ශිල්පීන් තෝරාගෙන නැහැ. පූූජ්‍ය එල්ලාවල මේධානන්ද” කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති මල්වානේ චන්දරතන සහ රුවන්මැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන යන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා මේ සඳහා අනුශාසකත්වය ලබා දෙනව. ඒ වගේම මේ චිත‍්‍රපටය ජාත්‍යන්තරයට ගෙනයෑමේ අරමුණින් භාෂා දහයකින් හ`ඩ කැවීමටත් බලාපොරොත්තු වෙනවා.

මහේෂ් එදිරිසිංහ 
(උපුටාගැනීම – දිවයින මීවිත අතිරේකයෙනි)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x