ඡායාරුප ගැලරියේවිශේෂාංග

අපි දෙන්නා හැතැක්ම දහස් ගාණක් දුර පයින් යනව එනව

නුවර ඇසළ පෙරහරේ සධාතුක කරඬුව පිට මත තබා වඩමවන්නට යොදුන් ගණනක් දුරහිඳ නැඳුන් ඇත් රජු සමග එක පෙළට සත් සිතින් ඇවිද එන යන මනුසතෙකුට හිමිවන උතුම් පදවියක් ලබන්නට හේතු වාසනා ලැබූ කලූ මාමා සමග කළ හර්ද සංවාදයකි. බුදුදහමට අනුව සෑම හමුවීමකටම, බැඳීමකටම, හේතුවක් තිබෙනවා. බුදුන් උපන් දේශයේ ඉපිද දළදා හාමුදුරුවෝ වඩමවන්නට කලූ මාමා එක්කම නුවරට එන්නේ සාංසාරික බැඳීම් පාරමිතාවක් ලෙස ඉටු කිරීමටයි.

ආයුබෝවන් කලූ මාමේ

ආයුබෝවන් මහත්තයෝ.

ඉතින් කොහොමද කලූ මාමේ ජීවිතය?

හොඳින් සතුටින් ජීවත් වෙනවා. (සිනාමුසු මුහුණින් යුතුව)

නැඳුන්ගමුවේ රාජා එක්ක නුවර ආවේ මේ කීවෙනි වතාවටද?

මට මතක විදියට අවුරුදු 15 විතර මම රාජා එක්ක නුවර එනවා. 2005 තමා මුලින්ම එන්න පටන් ගත්තේ අවුරුදු දෙකක් විතරයි මට එන්න බැරිවුණේ.

කොහොමද නැඳුන්ගමුවෙ රාජාව මේ තරම් හීලෑ කර ගත්තේ?

මම මුලින්ම 1972 තමා අලි ඇත්තු බලන්න පටන් ගත්තෙ. මුළින්ම ඇතින්නක් බැලූවා. ඊට පස්සේ අලියෙක් බැලූවා. පස්සේ නැඳුන් රාජා බලන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී මට එයාව හුරු වුණා. (සිනාමුසු මුහුණින් යුතුව* දැන් මගේ හොඳම යහළුවා මෙයා. දැන් මට මෙයා හොඳටම හීලෑයි.

නැඳුන්ගමුවේ රාජා නිසා පයින් එන යන එක අමාරුවක් නැද්ද?

අපෝ නෑ. දැන් දෙන්නටම මේ ගමන හොඳටම හුරුයි. අපි දෙන්නා හැතැම්ම දහස් ගාණක් දුර පයින් යනවා එනවා. පයින් ආවා ගියාම ලෙඩ හැදෙනවා අඩුයිනෙ.

රාජා අසනීප වෙලා එහෙම තියෙනවාද?

බඬේ අමාරුවක් හැදෙනවා ඇරෙන්නට වෙන ලෙඩ මුකුත් එයාට නෑ. නැඳුන්ගමුවේ හර්ෂ ධර්ම විජය වෙදරාළහාමි එයාව හොඳින්ම බලා ගන්න නිසා අසනීප වෙනවා බොහොම අඩුයි.

එතකොට ඇතාට කන්න දෙන්නෙ එහෙම මොනවාද?

වැඩිපුරම රාජා කන්න කැමති පොල් අතු, කිතුල් අතු එහෙම තමයි. පලතුරු එහෙමත් කන්න දෙනවා.

නුවර පෙරහරේ සධාතුක කරඬුව වඩමවන්න ඇත් රාජා සූදානම් කරන්නේ කොහොමද ?

කරඬුව වඩමවන දාට වෙනදාට වඩා කලින් නැඳුන් රාජාව පිරිසිදු කරනවා. නැඳුන් රාජාගේ නිරෝගීභාවය අපේ දියවඩන නිළමේතුමා නිතරම හොයලා බලනවා. අපි ගැනත් එතුමන් කොච්චර වැඩ රාජකාරි තිබ්බත් නිතරම සොයා බලනවා. මඟුල් ඇතු සරසන තැනට අපි පැයකට කලින් යනවා. ඊට කළින් නැඳුන් රාජාට කන්න දීලා අපිත් නාලා කියලා පිරිසිදුවෙනවා.

එ් මාහැඟි කාර්යය සඳහා ඔබේ සූදානම කොහොමද?

මේ හැමදේම මට ලැබුණේ නැඳුන්ගමුවේ ඇත් රාජා හින්දා. දළදා හාමුදුරුවන්ගේ සධාතුක කරඬු වහන්සේ එක්ක උඩුවියන් යටින් දෑලේ ඇතුන් එක්ක මට ළඟින්ම යන්න ලැබෙන්නේ මේ ඇත් රාජා හින්දා. මං හිතන්නේ සංසාරේ අපි එකට ඉන්න ඇති. එ් හින්දා මං හැම වෙලේම පිං දෙනවා. මං හරිම ආසාවෙන් තමයි නුවර පෙරහරට එන්නෙ.

කලූ මාමාගේ ඇත්තම නම මොකක්ද?

මගේ ඇත්තම නම විල්සන් කොඩිතුවක්කු. හැබැයි එ් නම කිව්වොත් කවුරුවත්ම මාව දන්නෙ නැහැ. ඔක්කොම දන්නෙ නැඳුන්ගමුවේ රාජගෙ කලූ මාම කියල.

එතකොට කලූ මාමගෙ ගම් පළාත එහෙම කොහෙද?

මම උපන්නේ ගාල්ලෙ, උඩුගම. මගේ ගම් පළාත එ්ක.

කලූ මාමගෙ පවුලේ ඉන්නෙ කවුද?

නෝනයි, පුතයි නැතිවුණා (ගැඹුරු හුස්මක් හෙළමින්*. දැන් ගෙදර ඉන්නේ දුවයි, මගේ නංගි කෙනෙකුයි විතරයි. මම ගෙදර යන්නෙ බොහොම කළාතුරකින්.

ජීවිතය ගැන මොකද හිතන්නේ

මෙයත් එක්ක ජීවිතය ගත කරනකොට දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. කොරෝනාවට කී දෙනෙක් මැරෙනවද? මොනවා වුණත් නැඳුන් රාජා එක්ක සතුටින් මම ජීවත් වෙනවා. මටත් දැන් වයස අවුරුදු 72 ක්. (ඇස්වලට සතුටු කඳුළු නලියමින් තිබේ.)

නැඳුන්ගමුවේ රාජා නිසා කලූ මාමා නොදන්න කෙනෙක් දැන් නැහැ කිව්වොත්… එ් අත්දැකීම කලූ මාමාට දැනෙන්නෙ කොහොමද?

ගම්පහ ඉඳලා පයින් එනකොට ගොඩක් මිනිස්සු රාජාව අඳුර ගන්නවා. නැඳුන් රාජාව අඳුරගන්න බැරි අය මාව පින්තූරවල දැකලා තියෙන නිසා කලූ මාමා කියලා කතා කරනවා. පෙරහරට ආපුවහමත් ගොඩක් මිනිස්සු මට කතා කරනවා. මාත් එක්කයි ඇතා එක්කයි පින්තූර ගන්න ගොඩක් අය හරිම කැමතියි.

හමුදා ආරක්‍ෂාව මැද මේ එන, යන ගමන හරි අපූරුයි නේද

මගේ මතකේ හැටියට 2016 ඉඳලා තමා හමුදාවේ ආරක්‍ෂාව අපට ලබා දුන්නෙ. හමුදාවේ මහත්තුරුත් අපිට හරිම ආදරෙයි. රටේ නායකයෙක් පයින් එනව වගේ අපි දෙන්නා ඉස්සරහින් ආරක්‍ෂාව ලබා දෙනකොට ගොඩක් ආඩම්බරයි. වැස්ස වෙලාවට එ් මහත්තුරු කුඩයක්වත් ඉසලන්නෙත් නෑ. පෙරහර ඉවර වෙලා අපි ආපහු ගමට යනකොටත් ආරක්‍ෂාවට එ් මහත්තුරු පයින්ම එනවා. එ් අය ගැන මටත් හරිම දුකයි.

ඉතින් කලූ මාමේ අපි ගොඩක් දේවල් කතා කළා. ජීවිතේ බලාපොරොත්තු එහෙම ඇතිනේ. අපි අන්තිමට එ් ගැනත් ටිකක් කතා කරමු.

බලාපොරොත්තු කියලා එහෙම ලොකු දේවල් නෑ. මැරෙනකම් සතුටින් ජීවත් වෙන එක තමා එකම බලාපොරොත්තුව. වෙද රාළහාමි අපිව හොඳින් බලා ගන්නවා. අපිට හරිම ආදරෙයි. මගේ උදව්වට ජගත් නන්දසිරි මල්ලිත් ඉන්නවනෙ. එයා තමයි ඇත් පන්තිය බාරව ඉන්නෙ. නැඳුන් රාජාත් එක්ක දවස ගෙවෙද්දී වෙන දේවල් හිතන්න වෙලාවක් මට නැහැ. ලැබෙන ඕනි දෙයකින් සතුටින් ජීවත් වෙන්න මෙයා නිසා මම පුරුදු වෙලා ඉන්නවා. (අව්‍යාජ සිනහවෙන් යුතුව කලූ මාමා නැඳුන් රාජාගේ පිට පිරිමදිමින්ම එසේ කියන්නට විය.)

එහෙනම් කලූ මාමේ මෙදා සැරෙත් පරිස්සමෙන් ගිහින් එන්න

හොඳමයි මහත්තයෝ. ලබන සැරෙත් මම හිටියොත් ආයෙත් රාජා එක්ක නුවර දළදා හැමුදුරුවො වඩම්මන්න එනවා. (අත් දෙක එකතු කරමින් ආචාර මැද* බුදුසරණයි මහත්තයෝ.

උතුම් දළදා හාමුදුරුවන්ගේ සධාතුක කරඬුව අතිමහත් ගෞරවයෙන් පිට මත දරා වීදි සංචාරය කරන්නාවූ මේ උත්තම පින් මහිමයෙන්, නැඳුන්ගමුවේ ඇත් රාජාණන්ටත්, මේ උතුම් සත්වයා සමග දෙපා ගෙවෙනා තුරා ඇවිද යන එන පින්වන්ත කලූ මාමාටත් අව්වැසි පින්න බාධාවක් නොවේවා? රෝබිය දුක් වේදනා නොදැනේවා. චිර ජීවනය ලැබේවායි යන්න සුවහසක් ශී‍්‍ර ලාංකිකයන්ගේ ප‍්‍රාර්ථනයයි.

විශේෂ ස්තූතිය – ප‍්‍රදීප් යන්පලාව මහත්මාට / මයුර රොෂාන් කුමාර ජයසිංහ

ඡුායාරූප – සංජීව බණ්ඩාර / මයුර රොෂාන් 

මණිල්ක ජයසිංහ

(උපුටාගැනීම – නවලිය පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x