ඡායාරුප ගැලරියේවිශේෂාංග

දැනුත් නයි දෙන්නෙක් ගෙදර ප්‍රතිකාර ලබනවා

“මං පොඩි කාලේ ඉඳලා දකින්න අකමැති සමහර සිද්ධි තිබ්බා. මිනිස්සු වත්තට හරි ගෙදරට එන සර්පයින්ව ග-හ-ලා ම-ර-ණ එක ඒ වගේ එක සිද්ධියක්. ඒ කාලෙ මිනිස්සු සර්පයෙක් දැක්ක ගමන්, පො-ල්ල-කින් ග-හ-ලා හරි ක-ප-ලා කො-ට-ලා හරි ම-ර-ලා දාන්නයි, නැත්තම් භූමිතෙල් දාලා ප-න්න-ලා යවන්නයි පුරුදුවෙලා හිටියෙ.

මට තේරෙන කාලෙ එද්දී මං එහෙම සිද්ධි දැක්කනම් කොහොමහරි සතා බේ-ර-ලා යැව්වා. මට මතකයි මං හය වසරෙ වගේ ඉගෙන ගනිද්දී අපේ අල්ලපු ගෙදරකට සර්පයෙක් ඇවිත් ඒ අය ම-ර-න්න-මයි ලෑස්ති වුණේ. මං එහෙම කරන්න එපා කිව්වට පුංචිවට හිටපු මං කී දේ කිසි කෙනෙක් ගණන් ගත්තෙ නෑ. අන්තිමට මං ඇඬුවා. මගේ ඇඬිල්ලට පුළුවන් වුණා ඒ සතාට ජීවිත දානය දෙන්න. ඊටපස්සේ මං හිතාගත්තා මටත් යමක් කරන්න පුළුවන් කාලය ආවම සර්පයින්ව, ම-ර-න්න දෙන්නෙ නෑ කියලා.”

එදා එසේ සිතද්දී කසුන් දිල්රංග ඉතා කුඩා පිරිමි දරුවෙකි. නමුත් කුඩා නොවූ ඒ සිතුවිල්ල නිසා අද වනවිට ඕනෑම සර්පයෙක් අල්ලන්නටත් එම ජීවිත සුරක්ෂිත කරන්නටත් සිතූ පරිදිම ඔහුට හැකිවී ඇත. ඔහු කුඩා කල පටන් කොයි සතාටත් ආදරය කළේය. විශේෂයෙන් හාවුන්, ලේනන්, කුරුල්ලන් වැනි සතුන් තුවාල වී හෝ කිසියම් අකරතැබ්බයකින් අසරණව සිටිනු සිටිනු දුටුවහොත් ඔහු කිසිදා නොදුටුවා සේ ගියේ නැත. ඒ සතුන් ගෙදර ගෙනවුත් දන්නා පරිදි ගෙදර ඇති දේ වලින් බෙහෙත් කළේය. පුංචිම අය නම් කවා පොවා ලොකු කළේය. ඉන්පසු කැලෑවකට මුදා හැරීම කළත් සමහර සත්තු ඔහු හැරදා නොගියෝය.

කසුන් දිල්රංග ඉපදෙන්නේ මතුගම වුවත් අවුරුදු හයේ හතේ කාලයේ පටන් හැදෙන්නේ හෝමාගමය. අනෙක් ළමුන් මෙන් සර්පයින්ට බිය නොවූ නිසාම අවුරුදු දහයක් දොළහක් වනවිට කාගෙන්වත් ගුරුහරුකම් නොලැබ ඔහුගේම ක්‍රමවේදයකට සර්පයින් අල්ලන්නට කසුන් හුරු වුණේය.

“කෝටු කෑල්ලක් තියලා සතා බෝතලයකට ගන්න පුළුවන්කම මට තිබ්බා. එහෙම අරගෙන කැලෑවකට ගිහින් දානවා. ඉස්කෝලෙ යන කාලේ එහෙම සර්පයෝ අල්ලනවා කියලා දන්න අය සර්පයෙක් දැක්කම මට කතා කරනවා. මං ඉතින් ගිහින් සතා අල්ලන් ඇවිත් කැලෑවකට දානවා. හැබැයි මං ඔය හැමදේම කළේ ගෙදරට හොරෙන්. අම්මා දැන ගත්තොත් බයවෙනවා. මං හෝමාගම පිටිපන ලොකු අම්මලාගෙ ගෙදර ඉන්න කාලේ දවසක් පන්ති ඇරිලා ගෙදර එද්දී පාර මැද්දෙ සර්පයෙක් ඉන්නවා දැක්කා. වාහනයක් ආවොත් එයා අහුවෙයි කියලා හිතිලා මං එයාව ඔය විදිහටම පාරෙ අයිනකට දාන්න හැදුවේ. එක පාරටම එයා මගේ ඇඟිල්ලක් කෑවා. ලේ ආවා.

එතකොට මං සර්පයින්ව කවුද කියලා අඳුරන්නෙත් නෑ. හැබැයි ගෙදරින් බනියි කියලා ගෙදර ඇවිත් කිව්වෙත් නෑ. සද්ද නැතුවම සබන් ටිකක් ගාලා එතන හොඳට හෝදගෙන වෙනසක් නැතුව ඉන්න හැදුවා. හැබැයි හිත යටින් කියනවා, සර්පයා කාපු පාරට මාව මැරෙයි ද දන්නෙ නෑ කියලා. කොහොම වුණත් ඉතින් එහෙම කරදරයක් වුණේ නෑ..”

සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වාට පසු සර්පයින් ගැන වැඩිදුර විස්තර දැනගන්නට ඔහුට අවස්ථාවක් ලැබුණි. ඒ පිටරට සිටි අම්මා ලංකාවට එනවිට ගෙනැවිත් දුන් අලුත්ම වර්ගයේ ජංගම දුරකතනය නිසාය.

“ඒකෙන් මම අන්තර්ජාලයේ හෙව්වා ලංකාවේ සර්පයෝ ගැන. එතකොට රූප එක්ක නම් ආවා. ඊළඟට මං ඒකෙන් තමයි දැනගත්තේ ‘ස්නේක් හැන්ඩ්ලින්’ කියලා මං මේ කරන වැඩේට නමක් තියෙන බවත්. අන්තර්ජාලය හරහා මං දැනගත්තා ලංකාවේ සර්පයෝ කොටස් තුනකට බෙදෙනවා. ඒ නිර්විෂ, මද විෂ හා උග්‍ර විෂ කියලා. ඔය දේවල් දැනගත්තට පස්සෙ සර්පයෝ අල්ලන එක තව ලේසි වුණා. විෂ ඇති නැති කියලා දැනගත්තම වැඩේ ලේසියි. ඉතින් ඊටපස්සෙ ඉස්සරට වඩා ක්‍රමවත් විදිහට සත්තු අල්ලන්නත් පුළුවන් වුණා.”

ඔහු කරනා මේ කටයුත්ත වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2015 වසරේ ඔහු මුහුණුපොතට එක්වීමත් සමඟය. ඔහුගේ මුහුණුපොතේ රක්ෂිතයන්ට මුදාහරින නයි, පොලොඟුන් ඇතුළු උග්‍ර විෂ, මද විෂ හා නිර්විෂ සතුන්ගේ තොරතුරු ඇතුළත් වීමත් සමඟ ඊට ප්‍රශංසා සේම රටේ බොහෝ පළාත්වලින් එවන් තොරතුරු ඔහුට ලැබෙන්නට විය.

“සමහර දවසකට කැ-පි-ලා කෙ-ටි-ලා, සත්තු අල්ලලා, භූමිතෙල් වැටිලා වගේ ප්‍රතිකාර අවශ්‍ය සත්තු ගැන පණිවිඩ හතරක් පහක් ලැබෙනවා. මං මෙයාලව ගෙදර ගෙනත් ප්‍රතිකාර කරනවා. අනාරක්ෂිත සත්තු මුදාගෙන ඇවිත් රක්ෂිතයකට මුදා හැරීම සිදුකරනවා. සමහරු සත්තු ගෙනවිල්ලත් දෙනවා. මං මේ සතුන් මුදාගන්න යනවා නම් යන්නෙ එක කොන්දේසියක් පිටයි. ඒ තොරතුර ලබා දෙන්නා විසින් අදාළ තැනට මට ප්‍රවාහන පහසුකම් සලසන්න ඕන.”

ගෙවල්වල වෙනත් සතුන් හදන්නා සේ කසුන්ගේ ගෙදර නිතරම ප්‍රතිකාර ලබන සර්පයෙක් දෙන්නෙක් සිටිති. මේ සතුන් ද සුව වී රක්ෂිතයකට මුදාහැරෙන තුරු කෑම බීම කසුන් විසින් සැපයෙයි. සමහර සර්පයන් එසේ දුන්නාට කන්නේ හෝ බොන්නේ නැත. එවිට කසුන් සර්පයන් කියා නොසිට එම සතුන්ට අවශ්‍ය කෑම බීම කැවීමත් පෙවීමත් කරයි.

“සමහර තුවාල වුණ සර්පයින්ට දුන්නට කන්න බෑ. සිරින්ජරෙන් බිත්තර වගේ දෙයක් පෙවීමත්, කුකුල් මස් වගේ දෙයක් කැවීමත් ඒ වෙලාවට කරනවා. මේ මොහොතෙත් නයි දෙන්නෙක් අපේ ගෙදර ප්‍රතිකාර ලබනවා. එක්කෙනෙක් හොරණ ඉඳලා අයියා කෙනෙක් ගෙනත් දුන්නේ භූමිතෙල් වැටුණු නයෙක්, අනිත් කෙනා වෙලක් ළඟ ඉඳලා අරන් ආව තුවාල වුණ නයෙක්.

සතෙකුට භූමිතෙල් වැටුණම අපිට ඇසිඩ් වැටුණා වගේ තමයි. එයාලා ලොකු පීඩාවක් ලබනවා ඒ නිසා. මේ සතා තව දින දෙකකින් මුදාහරින්න පුළුවන්. මැෂින් එකෙන් තණකොළ කපද්දි, විසිකැති ගහද්දි වගේම බල්ලො අල්ලද්දිත් සර්පයෝ තුවාල වෙනවා. ගෙදර මේ මොහොතේ ඉන්නෙත් ඒ වගේ තුවාල වුණ නයෙක්. මෙයාලා සුව වුණම මං රක්ෂිතයකට මුදා හරිනවා.”

වෙන තරුණයන් විවේකය සතුටින්, විනෝදයෙන් ගත කරද්දී කසුන් ඒ විවේකය අවසන් කරගන්නේ ඊට වඩා සතුටක් ලබන්නටයි.
“මුල් කාලේ වගේම සර්ප දෂ්ඨනක් වුණා මේ කාලෙත්. එයාට බේත් දාද්දි මට ගැහුවා. අවිස්සාවේල්ල රෝහලේ දවස් තුනක් ප්‍රතිකාර ලැබුවා. මං රෝහලට යද්දි මූලික ප්‍රතිකාර ටික කරගෙන ගිය නිසා වැඩි අමාරුවක් වුණේ නෑ.

මුලින් අම්මා බයවුණා. අනේ ඕව නවත්තපන් පුතේ කියලා පිංසේණ්ඩු වුණා. සමහර මිනිස්සු මට පිස්සු කිව්වා. තව සමහරු කියලා තියෙනවා මං හින්දා සර්පයෝ මරණ එක අතෑරියා කියලා. මේ වෙනකොට මං සර්පයෝ සිය ගානක් මුදාගෙන. නයි බිත්තරම දාහක් දෙදාහක් රක්කවලා පැටව් මුදාහැරලා ඇති. ඊට වඩා ඉතින් මට වෙන සතුටක් කොහෙන්ද?”

බියංකා නානායක්කාර
(උපුටාගැනීම – ධරණීපුවත්පත)

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x