දේශීය පුවත්ප්‍රධාන පුවත්

රට විවෘත කිරීමෙන් පසු පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි

එළඹෙන ඔක්තෝබර් 1 වන දා රට සම්පූර්ණයෙන් විවෘත කළහොත් යම් කොන්දේසිවලට යටත්ව පොදු ප්‍රවාහන සේවා ධාවනයට යළි අවසර ලබාදෙන බව අවසන් කොවිඩ් කමිටු හමුවේදී ගත් තීරණ අනුව දැනුම් දී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අදාළ තීරණය ක්‍රියාත්මක වුවහොත් කටයුතු කළ යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග සැලසුම් කර දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවත් පෞද්ගලික බස් රථ සහ ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධානීන්ට සැලසුම් සකසන ලෙස දැනුම් දී ඇති බවත් අද (සැප්. 24) දින මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

“පළමු වන දා රට විවෘත කරලා පොදු ප්‍රවාහනයට අවසර දුන්නොත් මං විශ්වාස කරනවා, මං සෞඛ්‍ය ඇමතිතුමා එක්කත් සාකච්ඡා ⁣කළා කොවිඩ් කමිටුවේ ප්‍රධානී හමුදාපතිතුමා එක්කත් සාකච්ඡා කළා යම් කොන්දේසිවලට යටත්ව අපිට පළමු වන දා සිට ධාවනය කරන්න, ඊට කලින් පැවතුණු කොවිඩ් කමිටුවේ තීරණවලට යටත්ව අපිට අවසර දෙන බව මේ වන විටත් ඒ සියලු ම දෙනා අපට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා සුබවාදීව බලාගෙන ඉන්නවා. ඒ අය අපෙනුත් ඉල්ලලා තියෙනවා ඔබතුමාලාගේ සැලැස්ම දෙන්න කොහොම ද සෞඛ්‍යාරක්ෂිතව ධාවනය කරන්නේ? කියන කාරණාව. ඒ නිසා අපි වෙල්ගම මැතිතුමාට කියලා තියෙනවා පෞද්ගලික බස් රථවල ඒ වැඩසටහන හදන්න. සී.ටී.බී. එකේ සභාපතිතුමාට භාරදීලා තියෙනවා ඒ වැඩසටහන හදන්න. අවසාන කොවිඩ් කමිටුවට අපි ඉදිරිපත් කරනවා සෞඛ්‍යාරක්ෂිතව අපි මගීන් ප්‍රවාහනය කරනවා කියලා.”

ඔහු සඳහන් කළේ, එලෙස ධාවනයට ඉඩ ලැබුණහොත් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනයට බස් රථ රියැදුරන් නිසැකව ම කටයුතු කළ යුතු බවත් ඊට අදාළ ගමන් ගාස්තු ද සංශෝධනය කර ඇති බවත්ය.

“අනිවාර්යෙන් ම ආසන සංඛ්‍යවට අනුගත වෙන්න සිද්ධවෙයි. ඒ වගේ ම ඔබතුමන්ලා කොටසකට ස්තූති කරනවා වගේ ම ඔබතුමන්ලා කොටසක් අපේ ඉල්ලීම ඔබතුමන්ලාගේ සහ මගියොන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. ආසන සංඛ්‍යාවට අපි ගාස්තුව සංශෝධනය කරලා තියෙනවා. ආසන ගාණට පමණයි ප්‍රවාහනය කළ යුත්තේ. කැමැත්තෙන් නෙමෙයි, නමුත් අපි 180 ගණනක බලපත්‍ර පළාත් සභා සහ ජාතික අත්හිටුවලා මේ වන විටත් අපි ක්‍රියාත්මක නොකර ඉන්නවා. ⁣මගේ මිත්‍රයෝ ඉන්නවා. හිතවත්තු ඉන්නවා. මම කියලා තියෙනවා කිසි ම හේතුවක් මත වැඩිපුර සෙනග ගෙනියලා මගෙන් නැවත සක්‍රීය කරන්න ඉල්ලන්න එපා. ඒක කෙරෙන්නේ නෑ.”

ආසන සංඛ්‍යාවට අනුගතව මගීන් ප්‍රවාහනය නොකළහොත් පළමු වන දා ලැබීමට නියමිත අවසරය වුව ද වහා අහෝසි විය හැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී පළාත් අතර ධාවනය වන පෞද්ගලික බස් රථ රියැදුරු සහ කොන්දොස්තරවරුන්ට ද යම් සහනයක් හිමි කර දීමට කටයුතු සැලසුම් කර ඇති බවය.

“ඉතා ම අමාරුවෙන් අපි සෞඛ්‍ය අංශවලින් අවසරය ගන්නේ. ඒ අවසරය අපි නිසි ආකාරයට පාවිච්චි කළේ නැත්නම් අවසර ලැබුණාට වැඩිය ඉක්මනට ඊළඟ සෙනසුරාදා තියෙන කොවිඩ් කමිටුවේදී ඒ අවසරය අවලංගු වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. රියැදුරු කොන්දොස්තරවරු දැනුවත් කරන්න. විවෘත කළ පසුව ඒ නීති රීතිවලට අනුගතව, පාඩුවක් තියෙයි, නමුත් අපේ ව්‍යාපාරය යහපත් මට්ටමකට අපි ගොඩගන්න උත්සාහ කරමු කියන කාරණය මතක් කරනවා. රියදුරු කොන්දොස්තරවරුන්ට යම් සහනයක් ලබාදෙන්න ඉදිරියේදී යම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ අයගේ NBC බස්වල ගත්තොත් කා⁣ලයක් ඒ මිනිසුන්ට රස්සාව තිබිලා නෑ. පළාත් ඒවා නම් විටින් විට හරි පොඩ්ඩක් එහෙ මෙහෙ දිව්වා. නමුත් යම් සහනයක් ඒ අයටත් ලබාදෙන්න අපි ඉදිරියේදී උත්සාහ කරනවා.”

කාංචනා විජයබණ්ඩාර
(මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x