ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කලාව සිල්ලර බඩු කඩයක් වගේ

සේනක විජේසිංහ කියන්නේ කාලයක් පුංචි තිරය සැරසූ කඩවසම් ප්‍රේමවන්තයෙක්. විටෙකදි දක්ෂ සටන් කලා ශිල්පියෙක්. ඔහුව බොහෝ දෙනා හඳුනාගත්තේ දඬුබස්නාමානය ටෙලි නාට්‍යයෙන්. නමුත් වසර ගණනාවක් ඔහු කලාවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ ඇයිද කියන සැකෙත් එක්ක අපි අද සේනක එක්ක කතාබහක් පටන්ගන්න හිතුවා. ඔහු මේ කතාව සාමාන්‍ය ජීවිතයෙන්ම පටන් ගත්තා.

‘‘2007 ඉඳන් තමයි ටෙලිනාට්‍ය කලාවෙන් මම ඈත් වුණේ. ඒකට එක හේතුවක් තමයි මම දිගින් දිගටම මෙගා ප්‍රතික්ෂේප කරපු එක. පස්සේ 2011 වසරේ ඉඳන් වසර කීපයක් මම දේශපාලනේට අවතීර්ණ වෙලා හිටියා. 2014දි අබුඩාබි තානාපති කාර්යාලයේ රැකියාවකට ගිහින් 2017 තමයි ආයේ ලංකාවට ආවේ. ඉතින් ඔය කාලෙදි වුණත් මට නිර්මාණයක් භාරගන්න කාලයක් තිබුණෙත් නෑ. නමුත් ලංකාවට ඇවිත් මගේම කියලා චිත්‍රපට තුනක් කළා. මේ කොවිඩ් තත්ත්වය එක්ක ඒ සියල්ල ප්‍රදර්ශනය ඇනහිටලා තියෙන්නේ.’’

නමුත් කලාවේ දිගු ගමනක් ඇවිත් හිටිහැටියේම නිහඬ වෙද්දි තිබුණු ජනප්‍රියත්වයට හානියක් වෙන්නෙ නැතිද යන පැනයට සේනක මෙහෙම උත්තරයක් දුන්නා.

‘‘ජනප්‍රියත්වය අඩුවෙන්න පුළුවන්. ඒත් මොකද්ද කරන්නේ? ක්ෂේත්‍රය ඇතුළේ මොන විදිහට ජනප්‍රියත්වය අඩු වුණත් එළියට බැස්සම ඕන තරම් මිනිස්සු මාව අඳුරනවා. ඒක දෙවුන්දරතුඩුවේ ඉඳන් පේදුරුතුඩුවට යනකල්ම එහෙමයි. අද කාලේ ගොඩක් නළු නිළියන්ව මිනිස්සු අඳුරන්නේ ඇත්ත නමින් නෙවේ චරිතෙ නමින්. නමුත් මාව අදටත් සේනක විදිහට මිනිස්සු අඳුරගන්නවා.’’

අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ත්‍රිත්වය ගැනත් ඔහු මෙසේ පැවසුවා.

‘‘2017 මම ලංකාවට ආවට පස්සේ මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තමයි ‘මේඝ’. ඒ චිත්‍රපටයට මම තෝරගෙන හිටිය නළු නිළියන් නෙවෙයි අන්තිමේදි මට යොදාගන්න සිද්ධ වුණේ. මුලින්ම මම ප්‍රධාන නිළියට තෝරගත්තේ එවක නවක නිළියක්. දැන් ඇය ප්‍රසිද්ධ නිළියක්. මේ චරිතෙට කැමති වෙලා ඉඳලා අන්තිම මොහොතේ කණ්ඩායමේ දුරකථන ඇමතුම් සියල්ල ප්‍රතික්ෂේප කරලා පොල්ල තිබ්බා. මම ගත්තත් උත්තර දුන්නේ නෑ. අන්තිමට කෙටි පණිවිඩයක් එවලා තිබුණා ‘අයියේ මට මේක භාරගන්න වෙන්නෑ. එන්න වෙන්නෙ නැති හේතුව මට කියන්නත් ලැජ්ජයි’ කියලා. මම මේ අවුරුදු 30ට ක්ෂේත්‍රය ඇතුළේ කිසිම ජරා වැඩක් කරලා නම කැත කරගත්ත කෙනෙක් නෙවේ. ඒ නිසා මම ඇයගෙන් ඒ ලැජ්ජා හිතෙන කාරණාව කොච්චර ඇහුවත් කිව්වෙත් නෑ. කලාව ඇතුළේ කොහොමත් ග්‍රාමසේවක රස්සාව කරන අය ගොඩදෙනෙක් ඉන්නවා. එයාලා කාලෙකදි කිව්වා සේනක දැන් රඟපාන්නෙ නෑ දේශපාලනේ කරනවා කියලා. ඊට පස්සෙ කිව්වා දැන් එයා රටනේ. ආයෙ රඟපාන එකක් නෑ කියලා. පස්සේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරද්දි කිව්වා දැන් සේනක රඟපාන්නෙ නෑ අධ්‍යක්ෂණේට බැහැලා කියලා. වාහන අනතුරකට මුහුණ පෑවම කිව්වා දැන් ඇක්සිඩන්ට් වෙලා නිසා රඟපාන්න බැරි වෙයි කියලා. ඉතින් ඔය වගේ ඇතුළේ ඉන්න ලොකු ලොකු තැන් කියන කතා අනිත් අයත් විශ්වාස කරනවා. තාරුකා කැමති වෙලා ඉඳලා එකපාරට චරිතෙට පයින් ගහන්නත් ලොකු මඩ කතාවක් හේතුවෙන්න ඇති.කොහොමත් ලංකාවේ තරුණ නිළියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ස්වාධීනව තීරණයන් ගන්න බැරි නොහැකියාව. පස්සේ මම ඒ චරිතෙට සචිනි අයේන්ද්‍රාව ගත්තා. සියල්ලම වෙන්නේ හොඳටයි කියලා චිත්‍රපටය අවසානයේදී මට හිතුණා ඇත්තටම තාරුකා නැතුව සචිනි චරිතෙ කළ එක ඉතාමත්ම හොඳයි කියලා. ඇය ඒ චරිතය එතරම්ම සාර්ථකව කළා. මෙවැනි ගැටලු ප්‍රසිද්ධියේ කතා කරන්න ඇතැමුන් හරිම අකමැතියි. නමුත් මමනම් ප්‍රසිද්ධියේම කියනවා.

මේඝ ඒකට පස්සේ මම කළා ආදරණීය අමන්දා. ඒකේ රංගනයෙන් දායක වෙන්නේ ඩබ්ලිව්. ජයසිරි, ගයාත්‍රි ඩයස්, නිර්මාල් පල්ලෙවත්ත වගේ අය. ඒකෙත් බාගයක් රූගතකිරීම් කරගෙන යද්දි කොවිඩ් ආවා. පස්සේ ප්‍රධාන නිළියත් රට ගියා. ඉතින් දැන් මේ දවස්වල ඒ චරිතෙට ගැළපෙන වෙන නිළියක් හොයනවා. අලුත් අයව නම් තෝරගන්න එක හරිම අමාරුයි. දැන් නළු නිළියෝ බිහිවෙන්නේ මොඩ්ලින් එහෙමත් නැත්නම් ගුවන් සේවිකාවක් වුණ පළියට. ඒ අය චරිතෙට ආරාධනා කරපු ගමන් අහන්නේ කවුද මේක්අප් ආටිස්ට් කියලා. සාමාන්‍යයෙන් වෘත්තීමය නිළියක් අහන්න ඕන ඉස්සෙල්ලා පිටපත සහ තමන් රඟපාන අනෙකුත් පිරිස ගැන. ඒකට වැරදිත් ඇතැම් අධ්‍යක්ෂකවරුම තමයි. ඔවුන් ලස්සනට මෙයාලව අන්දනවා. ඇන්දුවම මෙයාලත් උඩ යනවා.

තෙවැනි චිත්‍රපටය සද්ධා. ඒක තනිකර කුංග් ෆූ සටන් කලාව ගැන චිත්‍රපටයක්. ඒකට මම විශේෂයෙන්ම ගෙන්නුවා චීනයේ ෂාවොලිං ආරාමයේ මාස්ටර් ඩූ ෂියැංග් පිංව. චිත්‍රපටයේ ඔහු තමයි මගේ ගුරුවරයා. ඒකේ ඩිෂ්නි රාජපක්ෂ, චන්දික නානායක්කාර වගේ අය රංගනයෙන් දායක වෙනවා. ඔය තුන එක්ක තමයි පහුගිය කාලේ යුද්දෙ තිබ්බේ.’’

කතාබහේ අවසානයේදී අපි සේනකගෙන් ඇහුවා සේනක කලාවෙන් ඈත්වෙන්න හේතුව කලාවෙන්ම නැගුණු මඩ ප්‍රහාර ද එහෙමත් නැත්නම් වෙනත් සිත් තැවුලක් ද කියලා.

‘‘කලාව ඇතුළේ කැපිල්ලක් වෙනව නම් ඒක වෙන්නෙත් සැලසුම් සහගතව. මම ලංකාවට ඇවිත් චිත්‍රපට අධ්‍යක්ෂණය කරනකොට ක්ෂේත්‍රයේ අය දැනගත්තා මම ලංකාවට ආවා කියලා. නමුත් ඒ වෙද්දි මම දැකපු දෙයක් තමයි ලංකාවේ ඇතැම් අධ්‍යක්ෂවරු තමන්ටම කියලා නළු නිළි ගැන්සියක් හදාගෙන හිටියා. ඒ අයගෙන් පිටට චරිත දෙන්නෑ. එහෙමත් අධ්‍යක්ෂවරයෙක් තමයි අපිට ගැළපෙන චරිතයක් අපි වෙනුවෙන්ම නිර්මාණය කරන්නේ. නාට්‍ය කලාව දැන් සිල්ලර බඩු කඩයක් ගාණට වැටිලා ඉවරයි. දැන් තියෙන්නේ අපිම අපේ ගමන හදාගන්න එක.’’

එරංදි කෞශල්‍යා
(උපුටා ගැනීම – අරුණ පුවත්පත)

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x