ඡායාරුප ගැලරියේවිශේෂාංග

කොවිඩ් ආසාධිත නිවසේ නිරාහාරව මැරෙන්නට ගිය සතුන් 38කගේ කුසගිනි නිවු මනෝජා

“මගේ මහත්තයා ඉන්නේ සිංගප්පූරුවේ. පුතා ජපානයේ ඉංජිනේරුවෙක්. චිත්‍ර ශිල්පිනියක් වෙන දුව විවාහ වෙලා ඉන්නේ දික්වැල්ලේ. මම බල්ලො, බළල්ලු හතළිස් පහක් විතර එක්ක තනියම ජීවත් වෙනවා. ඇත්තටම මටත් පුළුවන් මහත්තයා ඉන්න සිංගප්පූරුවට ගිහින් කකුල් දෙක පුටුවක් උඩ තියාගෙන සැපට ඉන්න. ඒත් ලංකාවයි, මේ සත්තුයි, පරිසරයයි හින්දා මට යන්න හිතක් නෑ.”

මේ මනෝජා වීරක්කොඩිය. සැපවත් ජීවිතයක් ගෙවන්නට සියලු හේතු වාසනා තිබියදීත් අසරණ සතුන් නිසා එක තැනක ජීවිතය සිර කරගෙන සිටින ඇය සතුන්ගේ සුබ සිද්ධිය බොහෝ අගයන්නියකි. පසුගියදා කොරෝනා සැදී කළුබෝවිල රෝහලට ඇතුළත් වූ අක්කා නගාලා දෙන්නකුගේ මත්තෙගොඩ නිවසේ දින ගණනක් නිරාහාරව සිටි බල්ලන් දාහතක්, පූසන් විස්සක් සහ ඉබ්බෙකුට පිහිටවෙන්නට මුලින්ම ගියේ ඇයයි. ඒ ඇගේ තවත් මිතුරියකගෙන් ලද තොරතුරක් අනුවය.

“ඒ කාන්තාවන් දෙන්නා රෝහල්ගත කරලා දවස් පහක් යනකල් ඒ ගෙදර ඉඳපු සත්තුන්ට කෑමබීම කිසි දෙයක් හම්බවෙලා නෑ. අඩුම තරමේ අහල පහල කෙනෙක්වත් වතුර ටිකක්වත් තියලා නෑ. සත්තු දවස් පහක් ගේ ඇතුළෙ කොටුවෙලා බඩගින්නෙ කෑගහනවා කියලා දැනගත්තහම මට ඇත්තටම ඉන්න බැරි වුණා. මම ඒ ගෙදර යතුර තිබුණ කෙනාට කතා කරලා එනවා කිව්වම ඒගොල්ලො බලාපොරොත්තු වුණේ මම සත්තු ටික මුදාගන්නයි එන්නේ කියලා. ඒත් එදා මම කෑමත් හදාගෙන ගියේ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න. ගෙදර දොරවල් ඇරලා දුන්නම මටත් මොනවත් හිතාගන්න බැරි වුණා. බල්ලො පූසෝ මහ ගොඩක් කන්න බොන්න නැතුව ජරා ගොඩේ හිටියේ. ඒගොල්ලො සත්තු අරන් යන්න කිව්වට මං එහෙම සූදානමක ගියේ නෑ. අනික ඒ විදියට සත්තු අරගෙන අපිට තියන්න තැන් ඇත්තෙත් නෑ. පුංචි පූස් පැටව් ටිකක් විතරක් අරගෙන ඇවිත් මම තවත් අය එක්ක කතා කළා මොකක්ද කරන්න පුළුවන් කියලා. ඊටපස්සේ තමයි ඒ කාන්තාවො දෙන්නා හොඳවෙලා එනකල් ගෙවල් දොරවල් සුද්ධ කරලා දිගටම සත්තුන්ට කෑමබීම ලබාදෙන ක්‍රමවේදයකට ආවේ…”

මුලින් සතුන්ට කෑම දෙනවාට ඒ පවුලේ ඥාතීන් කැමති වී නැත. ඒ නිසා මනෝජා මත්තෙගොඩ පොලිසියේ සහය පතන්නට සිදුවිය. අවසානයේ පොලිසියේ සහ තවත් සත්ත්ව හිතවාදීන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමෙන් සතුන්ට කෑම දෙන්නට ඇයට ඒ නිවසේ දොර ඇරුණේය. ඒ මනෝජා අතින් මේ ආසන්නයේම සිදු වූ සත්ත්ව සුබසාධන කටයුත්තයි. අද වනවිට වසර ගණනාවක් තිස්සේ ඇගේ පිනෙන් ජීවිතය ලැබූ පුංචි පැටව් සිය දහස් ගණනකි.

“අපේ අම්මයි තාත්තයි මම පුංචි කාලේ ඉඳලම සත්තුන්ට හුඟක් ආදරෙයි. මගේ තාත්තා තමයි ආරියවංශ වීරක්කොඩි කියන චිත්‍ර ශිල්පියා. මට අවුරුදු නවයෙ ඉඳලා දිගටම අපි හිටියෙ කිරුලපන බලපොකුණ පාරෙ. බලපොකුණ පන්සල ඉස්සරහම ගෙදර තමයි අපි පදිංචි වෙලා හිටියේ. ඉස්සර මිනිස්සු ගොඩක් පාරවල්වලට සත්තු අතෑරියෙ නෑ. පන්සල්වලටයි ගිහින් දැම්මෙ. බලපොකුණ පන්සලේ පඩිපෙළ උඩින් මිනිස්සු බලුපැටව්, පූස්පැටව් ගෙනල්ලා තියලා යනවා. පඩිපෙළ කියන්නේ අපේ ගේට්ටුවෙන් එහා පැත්තෙ. තාත්තා මුලින් කියනවා එතන තියලා කිරි දෙන්න, ගෙදර ගේන්න එපා කියලා. හැබැයි ඊට පහුවදා ඉඳලා ඒ සත්තු අපේ ගෙදර. ඒ හින්දා හැමදාම අපේ ගෙදර බල්ලෝ බළල්ලු හතක්, අටක්, දහයක් හිටියා.”

මෙසේ කල්ගත්වෙද්දී මුහුණුපොතේ ආරම්භයත් සමඟ ඇයට ඕෂධී කෝරාල හඳුනාගන්නට ලැබුණි. සතුන් වෙනුවෙන් වැඩ කරන මනෝජාට ඒ හඳුනාගැනීම හොඳ අත්වැලක් විය.

“එතකොට මගේ දුවට අවුරුදු පහළොවක් විතර ඇති. ඕෂධී ෆේස්බුක් එකේ doctor dog in sri lanka පිටුව පටන් අරන් තිබුණේ. ගෙදර හිටපු බලු පැටවුන්ගේ පින්තූර අරගෙන දුව ඒ පිටුවට දැම්මා. ඊටපස්සේ ඕෂධී මාව හොයාගෙන ආවා. මම ඒගොල්ලො එක්ක කාලයක් සත්තු වෙනුවෙන් වැඩ කළා. එදා ඉඳලා අද වෙනකල් මේ අවුරුදු දොළහට මම බලුපැටවු දෙදාහකට විතර ගෙවල් හොයල දීලා තියෙනවා. පූස්පැටවු වුණත් පන්සීයකට හයසීයකට මං ගෙවල් හොයල දීල තියෙනවා. හැබැයි සමහර වෙලාවල්වල ඔක්කොම පැටවුට ගෙවල් හම්බ වෙන්නේ නැහැ. සමහරු පෙනුම මදි කියල ගන්නෙ නෑ. සමහර සත්තු ආබාධිතයි. එහෙම පැටව් අවුරුද්දකට පහක් හයක් ඉතුරු වෙනවා. එහෙම ඉතුරු වෙන බලුපැටව් විස්සක් විසිපහක් දිගින් දිගටම මං ළඟ හිටියා. ඒ විදිහට දැන් මට බල්ලො හැටකට වැඩිය ඉන්නවා.”

ඇය සන්තකේ ඇති බල්ලන් හැටෙන් තිහක් ඉන්නේ මනෝජා ජීවත්වෙන නිවසේය. අනෙක් පිරිස ඉන්නේ වේයන්ගොඩ ඇගේ පියාගෙන් ලද ඉඩම් කොටසේය. ඊට යාබද ඉඩමේ පදිංචි ඇය දන්නා හඳුනන පවුලක් ඒ සතුන් බලා ගනිති. ඒ වෙනුවෙන් මනෝජා ඔවුනට වැටුපක් දී සතුන්ට කෑමබීම සඳහා වෙනම මිල මුදල් ලබා දෙන්නීය. කිසිම රැකියාවක් නොකරමින් බල්ලන් හැටකටත් වඩා රැකබලා ගන්නට ඇයට වැඩිපුර උදව් දෙන්නේ එතෙර සිටින ඇගේ සැමියාය.

“මේගොල්ල නඩත්තු කරන්න මට වැඩිපුරම වියදම් කරන්නේ මගේ මහත්තයා. මාසේ මුලම එයා මට ලොකු මුදලක් දෙනවා. ආයේ මදි පාඩුවට ඉල්ලගන්න වෙලාවලුත් තියෙනවා. පූසන් පහළොවක් මේ වෙනකොට මගේ ගෙදර ඉන්නවා. උපුල් සත්තුන්ට හරිම කරුණාවන්තයි. එයා බල්ලන්ට වඩා පූසන්ට කැමතියි. සත්තු හදන එකට මට කවදාවත් ප්‍රශ්න දාලා නෑ. මම කරන වැඩවලට හැමදාම එයා උදව් කළා. ඉස්සර උපුල් මාසෙකට සැරයක් ලංකාවට ආවා. දැන් මේ කොරෝනා හින්දා ආවොත් ආයෙ ඒ රටවලට යන්න බැහැ. එයා මේ රටේ හිර වුණොත් මට බල්ලන්ට කන්න දෙන්න විදිහක් නැතිවෙනවා. එයා ඒ රටේ රස්සාව කරන එක තමයි මට සත්තුන්ට සලකන්න තියෙන ලොකුම හයිය.”

සත්තු මහමගට වැටී අසරණ වීම ගැන මනෝජා බොහෝ තැවෙන්නීය. මේ තත්ත්වයට පත්කරන වරදකාරී මිනිසුන් ගැන ඈ කළකිරීමෙන් කතා කරන්නීය. මේ රටේ සතුන් වෙනුවෙන් නීතියක් නැතිකම මේ සියල්ලටම මුල බව ඇය කියයි.

“ලංකාවේත් පිටරට වගේ සත්තු ගැන මීට වඩා වගකීමකින් බලනවනම් සත්තුන්ට සාධාරණයක් වෙන්න නීති රීති හැදෙනවනම්, සත්තුන්ට ඇත්තටම ආදරේ කරන අය මේ තරම් සත්තු අතරෙ හිරවෙන්නෙ නෑ. කෙනෙක් සතෙක් හදනවා නම් ඒ සතාට වඳ සැත්කම කරගෙන වගකීමෙන් හදන්න ඕනේ. එතකොට සත්තු පැටවු පාරට වැටෙන ගණන අඩු වෙනවා. එහෙම අඩු වුණාම කරුණාවන්ත මිනිස්සු ළඟ සත්තු ගොඩගැහෙන එක අඩු වෙනවා. ඔය කරුණාවන්තකම නිසා මම වගේ ඉතා විශාල මිනිස්සු ප්‍රමාණයක් අද අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ පාරේ අසරණ වෙලා ඉන්න සත්ව පැටියෙක් ළඟින් අහක බලාගෙන යන්න බැරිකම නිසයි. එතකොට එයාට සත්තු ගොඩගැහෙනවා. ඒ කරුණාව තමන්ටම කරදරයක් බවට පත්වෙනවා.”

කරුණාවන්තකම අතින් ගෙන ඉපදෙන මිනිසුන් අමාරුවේ දාන්නේ අකරුණාවන්ත මිනිස්සු විසින්මය. මනෝජා ද මත්තෙගොඩ කාන්තාව ද පමණක් නොව බොහෝ සත්ත්ව සුබසාධනයේ යෙදෙන්නන්ට, යෙදෙන්නියන්ට අද ඒ නිසා තුන් තිස් පැයම ජීවත්වෙන්නට සිදුව ඇත්තේ කරදරකාරී සිතිනි. ඊට වගකිවයුත්තෝ ලෙස මනෝජා දකිනුයේ හිතක් පපුවක් නැති අකරුණාවන්ත මිනිසුන්ය.

බියංකා නානායක්කාර
(උපුටාගැනීම – ධරණී පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x