ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම ජිවිතේ ලැබුණු 90% ගැන මිස නොලැබුණු 10% ගැන හිතන්නේ නැහැ

පුංචි තිරයට නැතුවම බැරි වුණු රංගන ශිල්පියෙක් විදියට හඳුන්වන්නට පුළුවන් දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් තමයි චන්දික නානායක්කාර. මතක හිටින චරිත කිහිපයකින් ම පුංචි තිරය වර්ණවත් කළ චන්දික හැමවිටම එකිනෙකට වෙනස් ආරේ චරිත නිරූපණය කළ නිසාම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබූවෙක්. පිට පිටම ජනප්‍රිය නළුවා සම්මානයත් දිනා ගනිමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව විඳපු චන්දික මේ දිනවල මොකද කරන්නෙ කියලා බලන්නත් එක්ක අපි ඔහුට කතා කළා.

කාලයක් ඉතා කාර්යබහුල ජිවිත ගෙවපු බොහෝ අයට කොවිඩ් ලොකු විවේකයක් දුන්නා, මොකද හිතෙන්නේ මේ කාලය ගැන?

ඔව්. ඇත්තෙන්ම අපිට ඉතා කාර්යබහුල ජිවිතයක් තිබ්බේ. ඒ වගේම ඉදිරියටත් ඒ වගේම නිර්මාණ කොටසක් කරන්න තිබුණා. නමුත් මේක ලෝක වසංගතයක් නිසා අපිට අකමැත්තෙන් හරි වැඩ කටයුතු නවත්තන්න වුණා. මම මේ දිහා කිසිම විදියට ඍණාත්මක විදියට බැලුවේ නැහැ. උදේ පාන්දර හතරට නැගිටලා රෑ වෙනකම් වැඩ කරලා පහුවදාට ආයෙම රූපගත කිරීම්වලට යන ජීවන රටාවක්නෙ තිබ්බේ. මේ කාර්යබහුල ජීවිතය එක්ක අතපසු වුණු වැඩ කොටසක් තිබ්බා. කාර්යබහුල වීම නිසා අපේ විනෝදාංශ පවා අපෙන් ඈත් වෙලා තිබ්බේ. මේ කාලයේ මම ආපස්සට හැරිලා බැලුවා මොනවද අතපසු වුණේ කියලා. පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා ගෙනත් ගොඩ ගහපු පොත් ඔක්කොම කියෙව්වා ද වගේ දේවල් මම හිතලා බැලුවා. අපි ගැන අපිට බලන්නවත් වෙලාවක් නැති ව හිටිය අපිට ඒ සියල්ල ගැන සොයා බලන්න ලැබුණු කාලයක් විදියට මම මේ කාලය දිහා බැලුවේ. මම කියන්නේ කොරෝනා ආව එක හොඳයි කියලා නෙවෙයි. නමුත් අපි දැන ගන්න ඕනේ පෙරළුණු පිට හොඳ කර ගන්න.

මෙතෙක් කරපු ච‍රිත වලින් වඩාත් කැමති හෝ හැරවුම් ලක්ෂ්‍යයක් වන චරිත මොනවද?

මේ කාලයේ කරපු නිර්මාණත් නැති නිසා රූපවාහිනී නාළිකා පෙලඹුණා පරණ නිර්මාණ නැවත විකාශය කරන්න. ඇත්තම කියනවා නම් තිබ්බ කාර්යබහුලකම එක්ක අපේ නිර්මාණ අපිටවත් හරියට බලන්න ලැබුණේ නැහැ. මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යයය බවට පත්වුණු ‘ඉතිං ඊට පස්සේ‘ සහ ‘අමා‘ නාට්‍යය දෙකක් නැවත විකාශය වුණා ස්වාධින රූපවාහිනියේ දහවල් කාලයේ දී. ඉතින් මම හොඳට නිදහසේ බැලුවා. ඉතිං ඊට පස්සේ නාට්‍යය නිසා තමා අවුරුදු දෙකක් එකපිට ජනප්‍රිය නළුවා සම්මානය ලබා ගන්නේ. එතකොට අමා හි ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. බ්‍රිගේඩියර් මහේන්ද්‍රගේ චරිතය පළවෙනියට කරපු තාත්තාගේ චරිතය ප්‍රේක්ෂයන් හැමෝම වගේ කතා කරපු චරිතයක් වුණා. මම මේ වෙද්දී ටෙලි නිර්මාණ සියයකට වැඩියෙන් රඟපාලා තියෙනවා. නමුත් එකිනෙකට වෙනස් වූ මේ නිර්මාණ දෙකෙන් තමා බොහෝ දෙනා අතරට ගියේ සහ සම්මාන ලැබුවේ. ඒ නිසා හැරවුම් ලක්ෂ්‍යයක් වුණු නිර්මාණ විදියට ඒ නිර්මාණ දෙක කියන්න පුළුවන්.

පුංචි තිරයේ කඩවසම්, දක්ෂ නළුවාට සිනමාව ආදේශ වුණේ නැහැනේ?

ඒක හරියටම හරි. ඒත් එහෙම වුණේ ඇයි කියන්න මම හේතුව දන්නේ නැහැ. මම ආව කාලයේ මට සිනමාවට ආරාධනා ලැබුණේ නැහැ. එහෙම නැතුව වෙන අය කියනවා වගේ ආරාධනා ලැබුණා පිටපතේ කරන්න දෙයක් නැති නිසා බාර ගත්තේ නැහැ නෙවෙයි. මට පොඩි චරිතයක් හෝ ලැබුණා නම් මම රඟපානවා. එහෙම ලැබුණු අතළොස්සක් සිනමා නිර්මාණවලට තමා ඔය දායක වෙලා තියෙන්නේ. මම කවමදාකවත් කිසිම අධ්‍යක්ෂවරයෙක්ගෙන් චරිත ඉල්ලගෙන ගියේ නැහැ. මම දායක වුණේ මට ලැබුණු නිර්මාණවලට. ඒ නිසා මට පැහැදිලිව කියන්න තියෙන්නේ සිනමාවට ඇරයුම් ලැබුණේ නැහැ. මේක ඇත්තටම මගෙන් නෙවෙයි අහන්න ඕනේ, එවකට හිටිය අධ්‍යක්ෂවරුන්ගෙන්; ඇයි මෙයා ගත්තේ නැත්තේ කියලා.

සිනමා නළුවෙක් නොවුණු එක ගැන පසුතැවීමක් තියෙනවද?

අපි හැමෝම සිනමා නළුවෙක් වෙන්න ආසයි. හැබැයි සියල්ල ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා සිනමා නළුවෙක් වෙන්න බැරි වුණානේ කියලා පසු තැවෙන්නේ නැහැ. මම හැමදාම ජිවිතේ ලැබුණු 90% ගැන මිස නොලැබුණු 10%ගැන හිතන්නේ නැහැ. ගමක ඉදලා ඇවිත් අද ඉන්න තැන ගැන සැහීමකට පත් වෙන්න මට පුළුවන්. අද සිනමාව නැහැ නමුත් මම ස්ථාවරව ඉන්නවා.

චන්දික වෘත්තීය රංගන ශිල්පියෙක්නේ, වෘත්තිමය වශයෙන් පවතින්න අමාරුද?

නැහැ. මම උසස් පෙළින් පස්සේ රැකියාවක් කළා. පසුව කලාවට ආවට පස්සේ මගේ වෘත්තීය වුණේ රංගනය. ඒ නිසා මම අදත් වෘත්තියමය කලාකරුවෙක්. මේක හොඳ රැකියාවක්. ඕනෙම රස්සාවක් කරන කෙනෙකුට තමන් හම්බකරන මුදල හරියට කළමනාකරණය කර ගන්න බැරි නම් එයාට ජීවත් වෙන්න අමාරුයි. විශේෂයෙන්ම කලාකරුවෙක් වීම තුළ මම දකින්නේ සංවේදී සහ විනෝදයට බර ජිවිත. අපේ වෘත්තිය වෙලා තියෙන්නේ මිනිසුන්ට විනෝදාස්වාදය සැපයීම නිසා අපිත් පෙලඹෙනවා විනෝදයට බර ජිවිත ගෙවන්න. වැඩේ වැරදුණාට පස්සේ අරයට මෙයාට ඇඟිල්ල දික් කරන්න අපිට අයිතියක් නැහැ. මගේ තාත්තා ගුරුවරයෙක්. එයාල කිව්වේ නැහැ මම ළමයි ලක්ෂ ගාණකට උගන්නල තියෙනවා කවුරු හරි මට උදව් කරන්න කියලා. ඒ මිනිස්සු ලස්සනට විශ්‍රාම වැටුපෙන් ජිවත් වුණා. ඒක කලාකරුවාටත් පොදුයි. ඒ නිසා රස්සාවේ නෙවෙයි ගැටලුව තියෙන්නේ අපිට ලැබෙන මුදල අපි කළමනාකරණය කරන විදිය.

රස්සාව ගැන කතා කළ නිසා පරස්තාව ගැනත් කතා කළොත්, ඇයි තවම ප්‍රමාද?

කතාවක් තියෙනවානේ කසාද බැන්දේ නැහැ කියලා මිනිහෙක් මැරෙ-න්නේ නැහැ; හැබැයි නොගැළපෙන විවාහයක් කර ගත්තොත් වෙන්නේ මැරී මැරී උපදින්න කියලා. තවමත් මම විවාහ වෙන්නේ නැහැ කියන තැන නැහැ. විවාහ වෙන්න බැරි තරම් වයසට ගිහිල්ලත් නැහැ. ජිවිතයක් සර්ව සම්පුර්ණ කරගන්න හැමෝම කැමතිනේ. ඒ නිසා මමත් විවාහ වෙන්න කැමතියි. නමුත් මොන හේතුවක් නිසා හෝ මට විවාහය පරක්කු වුණා. හැබැයි විවාහ නොවුණා කියලා මට පසුතැවීමක් නැහැ. දැන් අපි පරිණත නිසා කොයි මොහොතක හරි මේ ජිවිතේ ගත කරන්න පුළුවන් කියලා හිතෙන හරි කෙනා ලැබුණොත් විවාහය සිද්ධ වෙයි.

ආපස්සට හැරිලා බලද්දී ජිවිතේ ගැන මොකද හිතෙන්නේ?

සියයට සීයක්ම සතුටු වෙනවා. මගේ ජිවිතේ මුලික ළමා අවදිය ගමේ සුන්දර විදියට ගත වුණා. අධ්‍යාපනය පැත්ත ගත්තත් මගේ තාත්තා රජයේ ගුරුවරයෙක් සහ විදුහල්පති කෙනෙක් විදියට වැඩ කළ කෙනෙක් නිසා ඉගෙන ගන්න ආර්ථික ගැටලුවක් තිබුණෙ නැහැ. මම විවෘත විශ්වවිද්‍යාලයෙන් කැලණිය සහ සබරගමු විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව පරිගණක විෂයයන් හැදෑරුවා. ඔය කාලේ රඟපාන්න හිතිලා කලාවට ආවා. ඒ ගැන මහේන්ද්‍ර පෙරේරාගෙන් කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් සහ ඉන්දියාවේ ගිහිල්ලා ඉගෙන ගත්තා. අදටත් මම කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව කරලා උසස් ඩිප්ලෝමාව කරනවා. ඒ වගේම ආර්ථිකය හොඳයි. ලැබෙන මුදල් කළමනාකරණය කරන්න ඉගෙන ගත්තා. ඒ නිසා ඒ ඒ අවදීන් වල කළ යුතු දේවල් කළා. ඒ නිසා විවාහය හැරුණම නිසි කාලවලදී නිසි දේවල් කර ගන්න ලැබුණා.

අනුෂා රණසිංහ
(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x