ඡායාරුප ගැලරියේවිශේෂාංග

එක පැළයකට පුළුවන් අපේ දරුවන්ට සුන්දර තැනක් හදන්න

සාලුමරඩා තිම්මක්කාගේ විශ්වාසය එයයි. ඉන්දියානු කාන්තාවක වන ඇය වෘක්ෂ මාතාව (Mother of Trees) ලෙස ලොව පුරා ප්‍රචලිතව සිටින්නීය.

කර්ණාටක ප්‍රාන්තයේ ටම්කර් දිස්ත්‍රික්කයේ ගුබ්බි හි උපත ලද ඇගේ ළමා කාලය කිසිසේත් සුවදායී වූයේ නැත. දරිද්‍රතාවය සහ ප්‍රදේශයේ නිසි අධ්‍යාපන පහසුකම් නොතිබීම ඈ පාසලින් දුරස් කර තැබීය. තිම්මක්කාගේ කුඩා කාලය ගෙවුණේ බැටළුවන් සහ ගවයන් තණබිම් කරා රැගෙන යාමටයි. ඇතැම් අවස්ථාවල කුලී සේවාවල නියැලීමට ද ඇයට සිදුවිය. යොවුන් වියට එළැඹීමත් සමඟ ඇය හුලිකල් ග්‍රාමයේ ශ්‍රී බිකල් චික්කයියා හා සරණ බැඳුණාය.

ජීවිතය තවදුරටත් තිම්මක්කාට කෙනෙහිලි කිරීම නැවතුවේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව ලොව පුරා අඹු සැමියන්ගෙන් 15% කට පමණ අත්වන ඉරණම ඔවුන්ට ද හිමිවිය. දරු සුරතල් බැලීමට ඈ කෙරෙහි වූ බලාපොරොත්තුව දිනෙන් දින ඈතට ගමන් කළේය. වයස අවුරුදු 40 පමණ වනතෙක් ඈ එම අපේක්ෂාව අත නොහැර සිටියාය. එහෙත් දරාගැනීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් දිවි තොර කර ගැනීමට ද තිම්මක්කා කල්පනා කළාය.

ජීවය පවත්වාගෙන යාමට දායක වීම වෙනුවෙන් දරුවකු බිහි කිරීමට නොහැකි වුවද ජීවිය රැකීමට ක්‍රියා කිරීම තිම්මක්කාගේ අපේක්ෂාව විය. ඊට සැමියා චික්කයියාගේ සහාය හිමිවීම ඈ ලද භාග්‍යයකි. ඒ අනුව දෙදෙනා වෙනත් අරමුණක් හඹා යාම ඇරඹුවේ මේ අවදියේදීය. ඔවුහු නුග පැළ දහයක් සොයා ගත්හ. බෙංගලූරුහි ඔවුන් ජීවත් වූ ග්‍රාමීය ප්‍රදේශයේ මහ මඟ දෙපස කිලෝමීටර 4ක පරාසයේ ඒවා රෝපණය කළහ. එතැන් පටන් ඔවුන්ගේ දරුවන් වූයේ ඒවායි. පැළ දහයෙන් නොනැවතුණ දෙදෙනා දවසින් දවස් තව තව ගස් සිටවූහ. ටිකෙන් ටික, දිනෙන් දින ඒවා වැඩෙන අයුරු දකිමින් ඔවුන් ලැබුවේ අප්‍රමාණ ප්‍රීතියකි.

ඔවුන් පැළ සිටුවීමෙන් නැවතුණේ නැත. සතුන්ට ළඟාවිය නොහැකි ලෙස ඒවා වට කළහ. ප්‍රදේශය වියළි බැවින් දිනපතා ජලය සැපයුවෝය. එම කිලෝමීටර හතරක පමණ දුරෙහි වතුර පනිට්ටු දෙක බැගින් රැගෙන යන යුවළ එකල කාටත් සුලබ දසුනක් විය. තමන් සතු අවම පහසුකම් ඔවුන් භාවිත කළේ මේ පැළ නඩත්තුව වෙනුවෙනි. වියළි කාලයේ ශාක සඳහා වතුර දමන දෙදෙනා මෝසම් සමය එළැඹෙන විට නැවත ගස් සිටුවීම අරඹති. ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය වූයේ මෙයයි. බිළිඳකු නැළවීමෙන් ලබන සතුට ඔවුන් රුක් සිටුවීමෙන් සහ රැකබලා ගැනීමෙන් ලැබුවෝය.

පැළ සිටුවීම සහ වතුර දැමීමට අමතරව චික්කයියාට මෙම කිලෝමීටර හතරක දුරෙහි මුර සංචාර කිරීමට ද සිදුවිය. ඒ, පැළ කා දැමීමට පැමිණෙන ගවයන් එලවා දැමීමටයි. මේ ක්‍රියාවෙන් ඔවුනට කිසිඳු ආර්ථික ලාභයක් සැලසුණේ නැත. අසීරුවෙන් උපයා ගන්නා සොච්චම් මුදල ද වැය වූවා පමණි. එහෙත් දල්ලෙන් දල්ල, ඉත්තෙන් ඉත්ත වැඩෙමින් මහා වෘක්ෂ බවට පත්වන තුරු දරුවන් සෙවණේ ඔවුන් ලද සැනසීම මිල කළ නොහැකි විය. අද වනවිට ඔවුන් සිටුවා වැඩුණු ගස් සංඛ්‍යාව 8000 ඉක්මවයි. නුග ගස් 400 කට ආසන්න සංඛ්‍යාවක් ඒ අතර වේ. ඒවායේ වටිනාකම ගණනය කළ නොහැකි තරම්ය.

ජීවිතයේ සියලු තැන්හි ඈ අත නොහැර සිටි චික්කයියා 1991 දී දිවි ගමන නිම කළේය. ඒ වනවිට ඔවුන් සිටවූ පැළ මහ ගස්ව ජීවය රැකීමේ මහා ක්‍රියාදාමයේ කොටස්කරුවන් වී තිබුණේය. සැමියා තමා හැරගියද තිම්මක්කා දරුවන් අත නොහැරියාය. ඇය අඛණ්ඩව සිය රාජකාරිය ඉටු කළාය. මේ වනවිට වගකිව යුත්තන්ට ඇගේ මෙහෙවර මඟහැර යාමට නොහැකි වටපිටාව නිර්මාණය වී තිබිණ. 1995 දී ඇය ඉන්දියාවේ ජාතික පුරවැසි සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයෙහි අවධානය ඇයට හිමිවන්නේ අනතුරුවයි. එතැන් සිට මේ දක්වා මෙම සැබෑම පරිසරවේදිනියට හිමිවූ දෙස් විදෙස් සම්මාන සංඛ්‍යාව 50 කි.

2014 වසරේදී සාලුමරඩා තිම්මක්කා ජාත්‍යන්තර පදනම ස්ථාපිත කෙරෙනුයේ ඇයට ගෞරවයක් ලෙසිනි. එහි සභාපති ධුරය දරන්නේ ඇය හදාවඩා ගත් පුතු වන බී.එන්.උමේෂ් ය. මේ වනවිට වයස අවුරුදු 109 ක් හෝ 110 ක් පමණ වෙතැයි විශ්වාස කරන තිම්මක්කා තවදුරටත් රුක් රෝපණය සිදු නොකරයි. ඇය වෙනුවෙන් එය ඉටු කරන්නේ පුතුය. එම සංවිධානයේ දායකත්වය හිමිවන්නේ පරිසර ක්‍රියාකාරකම්වලට පමණක් නොවේ. දිළිඳු ඉන්දියානුවන්ට අධ්‍යාපන පහසුකම් සැපයීමට මැදිහත්වීම තවත් අරමුණකි.

ඉන්දීය රජය මගින් පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් තිම්මක්කා පිදුම් ලබන්නේ 2019 වසරේය. ඇගේ නමින් ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර සංවිධානයක්ද තිබේ. Thimmakka’s Resources for Environmental Education එහි නමයි. 2016 වසරේ දී බීබීසී ආයතනය නම් කළ ලොව බලවත්ම කාන්තාවන් 100 අතරට තිම්මක්කා ද ඇතුළත් වූවාය. පරිසර ක්‍රියාකාරකම් කෙරෙහි තනි පුද්ගලයෙකුට කළ හැකි බලපෑමට හොඳම උදාහරණය ඇයයි. ඉන්දියාවේ විශාල ආකල්ප වෙනසක් කිරීමට ඇයට හැකිවිය. එරට පරිසරවේදය මෙන්ම පාරිසරික නීති සංශෝධනය කෙරෙහි තිම්මක්කාගේ බලපෑම සුළුපටු නොවේ. ඉන්දියාවේ මෙන්ම සමස්ත ලෝකයටම ඇය පරමාදර්ශී චරිතයක් වී හමාරය.

වසර හැත්තෑවක පමණ කාලයක් පුරා ඇය සිය කාලය ශ්‍රමය වැය කළේ ගස් සිටුවීම වෙනුවෙනි. ඒ කිසිඳු ආර්ථික වාසියක් අපේක්ෂා නොකරමිනි. අදටත් ආදායමක් ලෙස ඈ ලබන්නේ රජයෙන් පිරිනමන ඉන්දීය රුපියල් 500 ක මාසික දීමනාව පමණි. එහෙත් ඈ ඉපයූ වටිනාකම් බොහෝය. වරක් පාසල් දරුවන් සමඟ පරිසර දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනකට එක්වූ තිම්මක්කා පැවසුවේ තමාගේ ආයුධය හරිත වර්ණය බවයි.

“බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අපට ගස්වැල් බොහොමයක් අහිමි වෙනවා. අපේ ජල මූලාශ්‍ර විනාශ වෙමින් තිබෙනවා. ඔබ අපේ අනාගතයයි. එනිසා මෙය නැවැත්වීමට ඔබ ඉදිරිපත් විය යුතුයි. බටහිර සළු ප්‍රතික්‍ෂේප කිරීමට මහත්මා ගාන්ධි අවිය කරගත්තේ චරකය. අපේ අත්යන්ත්‍ර කර්මාන්තය ඒක නිසා දියුණු වුණා. හරිත සංකල්පයේ වටිනාකම ඔබ අවබෝධ කරගත යුතුයි. වඩා හොඳ සහ පිරිසිදු ජීවිතයක් වෙනුවෙන් මගේ අවිය එයයි. එය ඔබේත් ආයුධය කරගන්න.”

ජීවිතය අප පතන සියලු දේ අපට ලබා දෙන්නේ නැත. තිම්මක්කාට දරුවකු හිමි නොවීය. එහෙත් ඇය ජීවය රැකීමට උර දුන්නාය. ආදරයෙන් ඇය සිටවූ පැළ සිය ගණනක් මිහිතලය රකිමින් සිටී. ඈ ගස් සමඟ ආදරයද රෝපණය කළාය. එය ලොව බොහෝ තැන්හී පැතිරවීමට කිසිඳු අධ්‍යාපනයක් නොලද දිළිඳු කාන්තාව සමත් වූවාය. කුඩා ආරම්භය දැවැන්ත අවසානයකි. ලොවට ආදරය බෙදීමට ඔබේම යැයි කියන අයෙකු අත්‍යවශ්‍ය නැත. උවමනා කරන්නේ ආදරණීය අවංක සිතිවිල්ලත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමත් පමණි.

රෂ්නිකා ලියනගේ
(උපුටාගැනීම – ධරණී පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x