දේශීය පුවත්ප්‍රධාන පුවත්

මෙරට විශාලතම පිළිම ගෙය වන ඓතිහාසික ලංකාතිලකයට අකුණක් වදී

පොළොන්නරුව පුරාණ ලංකාතිලක පිළිම ගෙයට අකුණක් වැදීමෙන් හානි සිදුව තිබේ. වැසි සමය ආරම්භවීමත් සමග පසුගිය දා (සැප්. 18දා) රාත්‍රී 7.30ට පමණ පුපුරා ගිය අකුණු සැරය පුරාවිද්‍යා පෙදෙසේ පිහිටි ඓතිහාසික ලංකාතිලක පිළිම ගෙයට වැදී ඇත.

පොළොන්නරුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්. ජයතිලක මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේ, ඊයේ (සැප්. 20දා) උදෑසන ලංකාතිලක පිළිම ගෙය පරීක්ෂා කිරීමේදී අකුණ වැදීමෙන් හානි සිදුවී ඇති ආකාරය දැකගත් බවය. දැනට පරිශ්‍රය අවට බිඳුණු ගඩොල් කැබිලි විසිරී ඇති අතර බිත්ති හා ගොඩනැගිල්ලේ ස්තම්භ පුපුරා ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා කඩිනමින් විධිමත් විමර්ශනයක් සිදුකරන බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය. තමා දැනුවත්ව පොළොන්නරුව පුරාණ ස්මාරකවලට මෙයට පෙර අකුණු පතිතව ඇති බව ද ජයතිලක මහතා පැවසීය.

ලංකාතිලක පිළිම ගෙය පුරාණ රාජධානි සමයේ පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153 – 1186) විසින් කරවන ලද්දකි. එය මෙරට ඇති විශාලතම පිළිමගෙය ලෙස සැලකේ. ගඩොල් හා හුනු බදාමයෙන් නිර්මිත බුද්ධ ප්‍රතිමාව අඩි 41ක් උස බව 1910දී එච්.සී.පී. බෙල් වාර්තා කර තිබේ. දැනට ශේෂව පවතින පිළිමගෙයි බිත්තිවල උස අඩි 42කි.

අකුණ වැදීම හේතුවෙන් පිළිමගෙයි උස් බිත්ති පාමුල හෑරී ඇති අතර ඇතැම් ස්තම්භවලට ශක්තිය ලබාදීම සඳහා සංරක්ෂණ කටයුතුවලදී යොදා ඇති යකඩ ආධාරක ඔස්සේ අකුණු සැරය භූගත වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

මෙම පුරාවිද්‍යා ස්මාරක සඳහා අකුණු සන්නායක යොදා නොමැති බව ද ඒ නිලධාරීහු පැවැසූහ.

අකුණු පහර හේතුවෙන් හානි සිදුවූ බිත්තිය ප්‍රතිසංස්කරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව සිදුකිරීමට බලාරොත්තු වන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරියෙකු අප කළ විමසුමකදී පැවසීය.

අනුරාධ විශ්වනාත් – පොළොන්නරුව, උදේනි සමන් කුමාර
මව්බිම

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x