ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

දැන් අපි හැමෝටම ඔක්සිජන් මතක් වෙනවනෙ

අතීතයේ දිනක ගාමිණී ෆොන්සේකා ශූරීන් මහේන්ද්‍ර පෙරේරා ගැන අනාවැකියක් කීවේය. අනාගතයේ ශ්‍රී ලාංකීය රංග භූමියේ හොඳ වැඩ පෙන්වන්නෙකු වන බව ඒ අනාවැකි යයි. මහේන්ද්‍ර පෙරේරා නමැති ඒ රංග ශිල්පියා හට ඒ බව ඕනෑවටත් වඩා ඔප්පු කර පෙන්වීමට පසු කළෙක හැකිවිණි. මහෙන්ද්‍ර යනු රංගනයේ දී ඕනෑම චරිතයකට ඔට්ටු රංග ශිල්පියෙකි. ඉතින් තව තවත් අතිශයෝක්තියකින් ඔහු ගැන කතා කළ යුතු නොවේ. මේ දිනවල ඔහු ගැන බොහෝ දෙනා කතා කිරීමට හේතු කිපයකි. මේ ඊට සාපේක්ෂව ඔහු සමග කළ පිළිසඳරකි.

මහේන්ද්‍ර කොහොමද වැඩ කටයුතු?

ටෙලිනාට්‍ය රංගනය පැත්තෙන් ගත්තොත්, ජීවිතයේ පළමු වතාවට, මෙගා ටෙලිනාට්‍යයක රඟපාන්න බාර ගත්තා. පසුගිය දිනවල ඒ වැඩ එක්ක හිටියෙ. ඒ හැර රඟපෑ ටෙලි නාට්‍ය කීපයක් විකාශය වීමට තියෙනවා.

මොකක්ද මේ මෙගා නාට්‍යය ඔබ දායක වූ?

ඒක මේ දිනවල හිරු ටී.වී. එකේ විකාශය වෙනවා. ඒකෙ නම රැල්ල වෙරළට ආදරෙයි.

එහි ඔබ රඟපාන චරිතය?

ධීවරයෙකුගේ චරිතයක්. එක් අවස්ථාවකදී ඔහු මිය යනවා. ඉතින් එහි ඉදිරිය ගැන මොනවගේද කියලා ඒ නාට්‍ය නරඹලා අපි බලමු. මේ දිනවල නම් කොරෝනා තත්ත්වය නිසා එහි රූගත කිරීම් නතර කරලා තියෙන්නේ.

පසුගිය කාලයේදී මහේන්ද්‍ර පෙරේරා නමැති මේ සම්මානනීය රංගධරයා වැඩි හරියක්ම අපට දැක ගන්න ලැබුණෙ ටෙලිනාට්‍යවලටත් වඩා, ‘දැන්වීම්’ ඔස්සේයි. එහෙම නේද? මේ දිනවලත් එහෙමයි?

කාලයකට පෙර මම දායක වූ දැන්වීම් නැවත ප්‍රචාරය වෙනවා. ඊට අමතරව මෑතකදී නිර්මාණයවූ දැන්වීම් එහෙමත් ප්‍රචාරය වෙනවා. ඉතින් ඔබ කියන විදියට වැඩිපුර දකිනවා ඇත්තේ ඒ නිසයි.

ඒ දැන්වීම් අතරේ, කාන්තාවක ලෙස පෙනි සිටින දැන්වීමක් මේ දිනවල නිතර ප්‍රචාරය වෙනවා. ඇයි ඒ වගේ අවස්ථාවකට පෙනී හිටියේ?

එය එම දැන්වීම නිර්මාණය කළ අයගෙ අදහසක්. චරිත කිපයක් අලලා එය නිර්මාණය වන බව කිව්වා. මම එකඟ වූ මුදලටත් එයාලා කැමැති වුණා. ඒ වගේම විවිධ චරිත රඟපෑමේ උනන්දුවක් අපට තියෙනවනෙ. ඒ නිසා මේ දැන්වීම බාර ගත්තා. කොහොමටත් දැන් අපට මේ පවතින ස්වභාවය එක්ක ජීවත්වීමේ ප්‍රශ්නයත් තියෙනවානෙ. ඒ නිසා ඒ ගැනත් හිතන්න වෙනවා. කලාකරුවන් කියන්නෙ මාස් පඩි ගන්න අය නෙවෙයිනෙ. මේ තත්ත්වය යටතේ සෑම ක්ෂේත්‍රයකම කලාකරුවන් අසරණ වෙලා ඉන්නෙ. ඉදිරියට කලාකරුවන්ට කුමක්වේවිද කියන බය කලා ක්ෂේත්‍රයේ හැමෝටම ඇති.

ඔබ ප්‍රවීණ රංග ශිල්පියකු බව ඇත්ත, ඒත්. පළමු වතාවට නේද දැන්වීමකින් හෝ කාන්තා චරිතයකට දායක වුණේ? කොහොමද ඒ අත්දැකීම ?

එහිදී එය නිර්මාණය කළ අධ්‍යක්ෂක, වේශ නිරූපණ ශිල්පියා ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මෙය ටෙලිනාට්‍යක් හෝ චිත්‍රපටයක චරිතයක් වගේ නොවෙයි. ඒ විදියෙ චරිතයක් නම්, අපිට ඒ වෙනුවෙන් ලොකු කාලයක් ලැබෙනවා. නමුත් මේක තත්පර ගාණක වැඩක්. ඒ නිසා තරමක් සංකීර්ණයි. දැන්වීමට අදාළව ප්‍රකාශ කළ යුතු දේ තත්පර ගාණක දී කළ යුතුව තිබුණා.

ලංකාවේ මූර්ති ශිල්පියෙකු විසින් ප්‍රථම වතාවට වැක්ස් යොදා ප්‍රතිමාවක් (ඉටිවලින්) නිර්මාණය කළේ මීට වසර කීපයකට පෙරදී ඔබගෙ. දැන් ඒ ගැන ආයෙත් බොහෝ දෙනා කතා වෙන්නේ ඇයි?

ඔව්, මේ වැක්ස් ප්‍රතිමා කලාව අතුල හේරත් නිර්මාණ ශිල්පියා කලාකරුවකු ලෙස මුලින්ම කළේ. මගේ වැක්ස් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමයි. මේක වසර කීපයකට පෙර දී ඒ වැඩේ කළේ. එයාගේ ප්‍රියතම නළුවා මම වෙච්ච නිසා, එයා ඒ වැඩේට අත ගැසුවා. පසුව තව තව කලාකරුවන්ගේ රූපත් කළා. මෑතක දී එදා කළ එකට වඩා වෙනස් විදියේ රූපයක් කරන්න ඕනෑ කියලා හිතලා එයාගෙම වියදමින් ආයෙත් මගේ රුව සහිත ඉටි රූපයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ විදියේ වැඩකට සෑහෙන මුදලක් යනවා. ඉතින් ඒක එයාම වියදම් කරන්නම් කීවා. ඒ වියදම දෙවැනි වතාවටත් ඔහු ඒ වැඩේ කරන්න බාර ගත්තාම, ඔහු හමුවන්න ඔහුගේ ගෙදරට මම ගියා. රූපය අඹන්න, මිම්ම දෙන්න. ඒ වෙලාවේ ගත්ත ඡායාරූප කිපයක් මගේ ෆේස්බුක් පිටුවේ පළ කළා. ඒ ඡායාරූපය තමයි බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණේ.

මහේන්ද්‍ර මේ හැම දේම එක්ක අායෙත් අපට ගෙදරටම වෙලා ඉන්නට සිදුවෙලා. කොහොමද මේ ස්වභාවය දැනෙන්නේ?

මම කොහොමටත් මේ ව්‍යසනය ආදා සිට ඍණාත්මකව හිතුවෙ නැහැ. සියල්ල හමුවේ සුබවාදීව හිතන කෙනෙක්. ගෙයි දොරකඩ මරණය සැරිසරණ මොහොතක්. ගෙයින් එළියට ගිහින් ආපහු එනවා කියලා කියන්නෙම මරණය අරන් ගෙදර එනවා වගේ වැඩක්. ඒ නිසා පුළුවන් තරම් ගෙදර ඉන්න උත්සාහ කළා. ඒත් උදේ නැගිට්ටාම දිනපතා මම කරන වැඩ ටිකක් තියෙනවා. මුලින්ම ව්‍යායාම්වල නිරත වෙනවා. ශ්වසන අභ්‍යාස කිව්වොත් හරි. මනස පිරිසිදුව තියාගන්න ඒ අභ්‍යාසවල නිරත වෙනවා. ඒ වගේම ගෙදර සිටින මේ කාලයේ දී සුපුරුදු පරිදි මගේ සංගීත වැඩවල නිරත වෙන්න පටන් ගත්තා. කාලයකින් ‘වයලීනය’ අතට ගන්න පුළුවන් වුණා. ඒවා කරන්නෙ මගේ තෘප්තිය වෙනුවෙන්. ගිටාරය එක්ක කාලය ගත කරන්න. පොත්පත් කියවීමට වගේම ඉදිරියේ රඟපෑමට බාරගෙන තියෙන නිර්මාණවල පිටපත් කියවීමටත් අවස්ථාවක් කර ගත්තා. ගේ අස්පස් කරන වැඩත් කළා.

ගෙදර කට්ටිය ගැනත් කියමු ?

බිරිඳයි, මමයි, ලොකු පුතයි ඉන්නෙ. එයා එයාගේ කරන රස්සාවට අදාලව ඔන්ලයින් වැඩ ටික ගෙදර ඉඳලාම කරනවා. තුන්වෙනි පුතා ගෘහාලංකරණ නිර්මාණ ශිල්පියෙක්. එයත් මේ දවස්වල අපි එක්ක ඉන්නෙ. දෙවැනි පුතා පදිංචිය ඕස්ට්‍රේලියාවේ. මේ විදියට වුණාම තවමත් ජීවිතේ ප්‍රශ්න කියන ඒවා තියෙනවා. මාසෙ අන්තිමට ගෙදරට එන බිල්ටික ගෙවන්න ඕනෑ. ඒවා ඔක්කෝම මම කරන්න ආසයි. ළමයින්ට පටවන්න කැමැති නැහැ. එයාලා ඉතිරි කරගෙන එයාලගෙ අනාගතය හදාගන්නට ඕනෑ.

අපේ රටේ බොහෝ වෙලාවට, මිනිහෙක් ජීවත්ව සිටිය දී කිසිම අගයක් නැහැ. අවශ්‍ය ගරුත්වය, පිළිගැනීම කරන්නෙත් නැහැ. ඒත් මැරුණාම කරන වර්ණනා එමටයි. මහේන්ද්‍රට මේ ගැන හිතෙන්නෙ කොහොම ද?

අපේ සංස්කෘතියේ තියෙන දෙයක් ද මන්ද, ඒ කාලයේ ඉඳලාම එහෙමනේ. කවුරුහරි මැරුණාම ගුණ කතා පවත්වනවා. ඒක අවසන් ගෞරවය දක්වන්න ඕනෑ නිසා කරනවා ඇති. කොයි හැටි වෙතත් සාධාරණ විවේචන නම් කළාට කමක් නැහැ. ජීවත්ව සිටිය දී අසාධාරණ විදියට මිනිස්සු විවේචනය කරන අවස්ථා තියෙනවා. බලනකොට අපි ජීවත්වෙලා තියෙන්නෙ හොඳම මිනිස්සු. මේ රට තුළ හොඳ මිනිහෙක් විදියට ඉන්නෙ කියනදේ තියෙනවා. හොඳ මිනිහෙක් වෙන්න නම්, එකම දෙයයි තියෙන්නෙ. භෞතිකවාදී නොවී, ද්‍රව්‍යමය මත ජීවිතය ගොඩ ගසා ගන්නෙ නැතුව, අපි කවදාහරි මේ ඔක්කොම දාලා යනවා කියන දේ අපේ හිත්වල තියෙන්න ඕනෑ. සමහර විට සමහරු ජීවත් වෙන්නෙ කවදාවත් මැරෙන්නෙ නැහැ කියන අදහසින්. ඒත් අපි මැරෙනවා කියන දේ දැනගෙන ජීවත් වෙන්න. ඒක දැනගෙන තව කාටවත් කරදරයක් නොවී ජීවත් වනවා නම්, සමාජයට දැනෙන විදියට වැඩදායී මිනිහෙක් විදියට ජීවත් වෙන්න පුළුවන් නම්, ඒක සාර්ථකයි. මට එහෙම කිව්වෙ දිවංගත ගාමිණී ෆොන්සේකා ශූරීන්. ‘මහේන්ද්‍ර සමාජයට දැනෙන යහපත් පුද්ගලයකු හැටියට ජීවත් වෙන්න’ ගාමිණී සර් මට කිව්වෙ එහෙමයි.

අතීතයේ ඒ අවස්ථාව සිහිපත් කරමු?

ඒ දිනවල මම නිතරම වාගේ ගාමිණී සර් හමුවෙන්න සීදුවේ එතුමාගෙ නිවසට යනවා. ගිහින් අපි බොහෝ දේ ගැන කතා කරනවා. එතුමා මාව ඉහළින්ම අගැයූ කෙනෙක්. ඒ නිසාම මම එතුමා කෙරෙහි තිබුණෙ ලොකු ගරුත්වයක්. එවැනි අවස්ථාවක දී තමයි එතුමා මට ඒ විදියට කිව්වෙ. සමහරවිට අපි කරන සෑම දෙයක්ම හරි නැහැ. රංගනයේ දී චරිත කරද්දී වුණත් එහෙමයි. සමහරවිට අපි ඇඩ් එකකට ගියාම විවේචන එල්ල වෙන්න පුළුවන්. නමුත්, අපි කවුරු ගැනත් කතා වෙන්නෙ අවුරුදු 100 ක් වගේ කාලයක් ඇතුළත දී විතරයි. එතැනින් එහාට මතකයක් නැහැ. ඒක තමයි ස්වභාවය.

මේ වෙලාවේ මිනිස්සුන්ට මොනවද කියන්න තියෙන්නේ?

තමන්ගේ වගකීම් හඳුනාගෙන යුතුකම් වටහාගෙන, හැකිතාක් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න. දැන් අපි හැමෝටම ඔක්සිජන් මතක් වෙනවනෙ. මින් අපේ තථාගත බුදුරජානන් වහන්සේ මේ ගැන පහදලා දුන්නේ. වසර 2500 කට පෙරදී ආනාපාන සති භාවනාව කියා දීමෙන්. ඒ කිව්වේ ඔක්සිජන් හොඳට ආග්‍රාණය කරන්න කියලයි. අපිට උදේට හොඳට ඔක්සිජන් ලැබෙනවා. ඒ පිරිසිදු වාතය උදේට ලබා ගන්න. උදේ පාන්දර ඒ පිරිසිදු වාතය ආග්‍රාණය කරන්න. ජීවිතය පිරිසිදු වේවි.

(සඳුන් ගමගේ – සාරවිට වෙබ් අඩවිය)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x