ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ඕනම මනුස්සයෙක්ට ලස්සනට ජීවිතේ ගත කරන්න අයිතියක් තියෙනවා

කාලයකදී බැබළෙන තරු ටික කාලයකින් අතුරුදන් වන අවස්ථා කලා අඹරට නුපුරුදු අත්දැකීමක් නොවෙයි. නමුත් එකී කුලකයෙන් ඔහු පිට පනින්නේ මී විත පිරුණා මැදියම් රෑ යැයි ඔහු ගැයූ පළමු ගීතය තවමත් අපේ කන්වල ‍ෙදා්ංකාර දෙන නිසයි. මෑතකදී ඔහු නැවත කරළියට පිවිසෙන්නේ, සමාජ මාධ්‍ය තුළින් ඔහුට නොකඩවා එල්ල කරන මඩ ප්‍රහාර නිසයි. අපහාස මඩ ප්‍රහාර ඉදිරියේ බොහෝ දෙනා හඬා වැටෙන විට වගේම කඩා වැටෙන විට ඔහු තම ආදරණීයයන්ගේ අත් අල්ලාගෙන හීයක් මෙන් නැඟී සිටීම කතා නොකරම බැහැ. හදගැස්ම ඔහුගේ කතාවට ඉඩක් වෙන් කළේද එකී ශක්තියට උර දෙමිනුයි.

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ ඔබව වැඩි වැඩියෙන් කතා බහට ලක් වුණා නේද?

මං සාමාන්‍යයෙන් කෙළින් කතා කරන කෙනෙක්. ඒ නිසා දිනේෂ් තරංග කියන මගේ පේජ් එකෙන් ජීවිතේ සිදුවීම් සැඟවීමකින් තොරව මං පළ කරනවා. අපේ පෞද්ගලික දේවල් ඇත්ත ඇති සැටියෙන් කිව්වම මිනිස්සුන්ට කතන්දර ගොඩනඟන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. නැත්නම් මිනිස්සු කියන කතාවලට අපේ හිත් රිදවගෙන මානසිකව ඇද වැටෙනවා. කාලයක් තිස්සේ මං ඒ සිද්ධි නිසා තැළිල තැළිල දැන් මට කවුරු මොන දේවල් කිව්වත් දැනෙන්නෙ නැති තත්ත්වෙටම පත්වෙලා.

බොහොමයක් කලාකරුවන් විවාහ වුණත් ජනප්‍රියත්වයට යම් බාධාවක් වේ යැයි සිතා පෞද්ගලිකත්වය සඟවනවා. විවෘත වීම ජනප්‍රියත්වයට බාධාවක් වේ යැයි කියා ඔබට හිතුණේ නැද්ද?

ඔව්…. මං පෞද්ගලිකව හ¾දුනන ඇතැම් ප්‍රසිද්ධ චරිත ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. අපේ ප්‍රේක්‍ෂකයන්ගෙන් අපේ පෞද්ගලිකත්වය සඟවන්නේ ඇයි කියන ප්‍රශ්නය මට මතුවෙනව. අපට ලස්සන ජීවිතයක් තියෙනවා නම්, අපට ආදරණීය පවුලක් සිටිනව නම් එය සඟවන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මොකද ඕනම මනුස්සයෙක්ට ලස්සනට ජීවිතේ ගත කරන්න අයිතියක් තියෙනවා.

ඔබේ ගීතයක් පිට වුණාම අළු යට තියෙන ගින්දර වගේ ඔබේ පෞද්ගලික ජීවිතේ කරුණු යළි යළිත් කතාබහට ලක්වෙනවා… එහෙම වෙන්නේ ඇයි?

මං ජනප්‍රිය කෙනෙක් නොවුණ නම් අපේ ගමේ කට්ටිය විතරක් මං ගැන කතාබහට ලක්වෙලා නතර වෙනවා. නමුත් මගේ ජනප්‍රියත්වය නිසා වගේම බොහෝ විට සමාජය තුළින් විවේචන කරන්නම හේතුවක් හොයන නිසා මම වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙනවා. මං විවාහ වී වසර 11ක් ගත වුණත් තාමත් මට යම් යම් විවේචන එල්ල වෙනවා. මඩ ප්‍රහාර එල්ල කරනවා. මට මගේ බිරිය මුණගැහෙන්නෙ 2009දී. ඊටත් බොහොමයක් කාලෙකට පෙර සිට මම ඇයව හ¾දුනනවා. ඇය මං ගීත ගායනා කරන නිසාවත්, මං ජනප්‍රිය නිසාවත් මාව කසාද බැඳපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මගේ පෞද්ගලික ජීවිතයේ විස්තර විවෘතව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. එතකොට මිනිස්සුන්ට කුතුහලයෙන් මං ගැන හිත හිත කතා හදන්න අවශ්‍ය නැහැ. සඟවන්න මුකුත් නැති නිසා මගේ හිතටත් කරදරයක් නැහැ.

ආදරණීය බිරියව ඔබට මුණගැසෙන්නේ කොහොමද?

මං පාසල් යන කාලයේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ අපි දෙන්න එකට ගීතිකා ගායනා කළා. හ¾දුනාගත්තු මුල් කාලයේදී එකිනෙකාට විරුද්ධ මත දරපු නිසා ගීතිකා කණ්ඩායමේදී පුංචි පුංචි රණ්ඩුසරුවල් අඩු වුණේම නැහැ. ඒත් ඒ කාලේ හරිම සුන්දරයි. නමුත් පාර්ටිස්වලදී තරහ මරහ අමතක කරලා අපි මිතුරන් බවට පත්වුණා. එහෙම පල්ලියේදී හ¾දුනගත්ත කෙනා දැන් මගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා.

ජනප්‍රිය තලයේ සිටින අය සම්මත රාමුවෙන් පිට පනින්න දෙපාරක් හිතනවා. ඔබ එවැනි තීරණයක් ගනිද්දී හිතට චකිතයක් දැනුණේ නැද්ද?

එයාට ජීවිතය බොහෝ දේවල් තිබුණ කෙනෙක්. නමුත් ඇයගේ ජීවිතයේ තිබුණු යම් හිස්තැනක් නිසා මං ඇයගේම වුණා. මගේ ගමන මම යන්නේ මගේ විදිහට නම් සමාජය මට අදාළම නැහැ. සම්මතය/අසම්මතය කියන්නේ සෙලවෙන මනසට.

ඒ කාන්තා භූමිකාව ඔබගේ ජීවිතයට හා ඔබගේ වෘත්තිමය ජීවිතයට අත්වැලක් වුණේ කොහොමද?

මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2008දී. ඒ කාලයේදීමයි අපි එකතු වෙන්නෙත්. මීවිත පිරුණා මැදියම් රෑ, මනමාල හිතක් කියන ගීතවලට ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මගේ සිහිනයට යන්න, මගේ පිස්සුව සඵල කරන්න ඇය ලබාදුන් සහයෝගත් එක්ක මට ඇයව නැතුවම බැරි චරිතයක් වුණා.

හේතු හොයමින් ආදරණීයන්ව අෑත් කරන කාලයක, හේතුවක් නැතුව හේතු මවමින් එකිනෙකාගෙන් වෙන්වෙන කොට ඇය ළඟම රැඳෙන්න හේතු වුණු විශේෂ ලක්ෂණය මොකක්ද?

මම ඇයගෙන් දුටු සුවිශේෂීතම ලක්ෂණය දරාගැනීමේ හැකියාවයි. ඒ දරා ගැනීම නැත්නම් ඇයගෙයි මගෙයි බැඳීම ඉතුරු වෙන්නෙත් නැහැ. මේ වන විටත් විටින් විට ගෑනු ළමයින්ගෙන්, අඳුරන් නැති නම්බර්වලින් කෝල් එනවා, මැසේජ් එනවා. ඇයි මාව හම්බවෙන්න එන්නෙ නැත්තෙ? මාව බලන්න ආවෙ නැත්තෙ ඇයි? කියලා. අපි දෙදෙනා අතර අවබෝධය තියෙන නිසා ඒ ගැටලු නිරාකරණය කරගන්න අපට පහසු වුණා. ඊටත් වඩා ප්‍රශ්න අපේ ජීවිතයට ආවා. ඒ සියලු දේ ඇය දරාගත්ත නිසයි තාමත් අපි දෙන්නා අත්වැල් බැඳන් මේ ගමන යන්නේ. වෙන්වෙනවා නම් වෙන්වෙන්න ඇයට හේතු ගොඩක් තිබුණා. මාව දාලා යන්න ඒ ඇතිවුණු ප්‍රශ්න හොඳටම ප්‍රමාණවත්. ඒත් කිසිම අවස්ථාවක මට ඇයව දාලා යන්න හේතුවක් නිර්මාණය වුණේ නැහැ.

මිනිස්සු ඔබේ ජීවිතේට කියා දුන් හොඳම පාඩම මොකක්ද?

මිනිස්සු මට කියා දුන්න හොඳම පාඩම මට හිඟන්නා කියපු එක. හිඟන්නා කියල ආමන්ත්‍රණය කළ කෙනාට මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මං හැල්මේ දුවන්න පටන් ගත්තේ ඊට පස්සෙයි. උකුස්සෙක්ට කපුටෙක් කෙටුවට උකුස්සගෙ ගමන නවතින්නේ නැහැ. උෟ තවත් ඉහළටම පියාඹනවා. ඉහළටම ඉගිළෙන උකුස්සා ළඟට ඉන්පස්සෙ කපුටට ළංවෙන්නවත් බැහැ. කපුටො ඉන්න සමාජයක මං උකුස්සෙක් වෙන්නයි හැම තිස්සෙම උත්සාහ කරන්නේ.

එක පිට එක ප්‍රශ්න එනකොට ජීවිතේ කඩා වැටුණේ නැද්ද?

මීට වසරකට දෙකකට කලින් ජනප්‍රිය වීම මට ලොකු මානසික පීඩනයක් වුණා. ඒ ජනප්‍රිය වීම මත මගේ බිරිය දුක් වෙනවා, මගේ දරුවො දුක් වෙනවා. ඒ පීඩනය මට දරාගන්න බැරි වුණා. නමුත් මේ මොහොත වෙද්දී මට කවුරුත් කියන කතා ගානක් නැහැ.

රෝස මල් දෙකක් වගේ ලස්සන දුවලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඒ වගකීම ඔබේ හිතට දැනෙන්නෙ කොහොමද?

මට ඉන්නෙ දුවලා දෙන්නෙක්. ඒ නිසා එයාලව මගේ ඇස් දෙක වගේ පරිස්සම් කරනවා. සමාජයේ සිද්ධවෙන දේවල්, ඇහෙන දකින දේවල් එක්ක මගේ හිතට දැනෙන්නෙ ලොකු බයක්. මෙච්චර කාලෙකට මං වත්, මගේ බිරියවත් දරුවො ගැන වැරදි වචනයක් අහල නැහැ. ඒ නිසා මගේ ඇස් මායිමේ තියාගෙන දරුවො දෙන්නව රැකීමයි මගේ එකම වගකීම.

වයස අවුරුදු 21දී ඔබ ගත් තීරණය ගැන මේ මොහොතේදීත් ඔබ සතුටු වෙනවද?

මට කවදාවත් ජීවිතේ වැරදුණේ නැහැ. ඒ නිසා ඇයත් සමඟ විවාහ වීම ගැන හිතේ කිසිම පසුතැවීමක් නැහැ.

ඔබගේ වෘත්තිමය ජීවිතය තුළ ඔබ තෘප්තිමත්ද?

ඔව්. වෘත්තිමය ජීවිතය පිළිබඳව මං ගොඩක් තෘප්තිමත්. මගේ පළමු ගීතයට මී විත පිරුණා මැදියම් රෑ – තවමත් මිනිසුන් ප්‍රිය කරනවා. වසර දහයක් ගත වුණත් මිනිසුන්ගේ මතකයේ ඒ ගීතය පැවැතීම මගේ ජීවිතයේ මං ලැබූ ලොකු ජයග්‍රහණයක්.

අනාගත බලාපොරොත්තු මොනවාද?

සැනසීමෙන් ජීවත්වීමයි මගේ එකම බලාපොරොත්තුව. අන්තිම හුස්ම පොද හෙළන කොට දිනේෂ් තරංග කියලා නමක් මිනිසුන්ගේ මතකයෙ තිබ්බොත්, මට සතුටින් පොළොවට පස් වෙන්න පුළුවන්.

විශ්මි ජයනිකා
(උපුටා ගැනීම – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x