ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ආතාට නම් වුවමනා වුණේ මාව හොඳ වෙද මහත්තයෙක් කරන්න

බිමල් ජයකොඩි තමන්ටම ආවේනික වූ රංගන කෞෂල්‍යයකින්, තමන්ටම ආවේණිකවූ හඬ පෞරුෂයකින් දක්ෂතාවයන් දක්වන විශිෂ්ට ගනයේ රංගධරයෙකි. සෙමින් ගමනක් පැමිණි මුත් රඟදක්වන සෑම චරිතයකින්ම ඔබේ හදවතට සමීප වන ඔහුගේ ජීවිතයේ රහස් විමසීමට මම ‘රහස්’ තුළින් ඔහු මුණ ගැසුනෙමු.

‘ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි ආදරණීය නැන්දලාගේ ආභාසය නිසාමද ඔබ ක්ෂේත්‍රයට එන්නේ?

නැහැ… නැහැ… ඇත්තටම කියනවා නම් මම රංගන ක්ෂේත්‍රයට එන්නේ තාක්ෂණික ශිල්පියෙක් විදිහට. පවුල තුළ කලාවට දායකත්වයක් තිබුණත්, මම රඟපෑමට එතරම් කැමැත්තෙන් හිටියේ නෑ. 1996 වසරේ සිට තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරපු මම 2002 වසරේදියි වෘත්තාන්ත නාට්‍යයකට දායක වෙන්නේ. ඒ ආරම්භය ඉතිං මේ තාක් දුර සාර්ථකව පැමිණ තිබෙනවා.

පුංචි කාලේ කවුරු වෙන්නද ආසාවෙන් හිටියේ.

මම සංගීතයට හරිම ආසයි. සංගීතයේ මම ගායනයටත් වඩා ගොඩක්ම ආස වාදනයට. ඒ අංශය ප්‍රගුණ කරන්න ආසාවක් තිබුණා.

ගෙදරින් ආස වුණේ ඔබ කවුරු වෙනවාටද?

මගේ ආතා වෙද මහත්තයෙක්. ආතාට නම් වුවමනා වුණේ වෙදකම, හෙදකම, ආගම, දහම, හොඳට අැගන්වලා කවදාහරි මාව හොඳ වෙද මහත්තයෙක් කරන්න. ඉස්සර මට මතකයි හැමදාම හවසට ආතා ‘සකස්කඩේ’ කවි පහක් පාඩම් ගන්නවා. ඉස්සරනම් ඒවා පාඩම් කරනවා කියන්නේ හරිම නීරස දෙයක්. නමුත් අද හිතෙනවා මනා හඬ පෞරුෂයකින් හෙබි නිවේදකයෙකු ලෙස කටයුතු කරන්නත්, හඬ කැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නත් වගේම රංගන වෘත්තියේදීත් හඬ පාලනය හඬ අභ්‍යාස කියන දෙයට එදා ඔහු ලබා දුන් අභ්‍යාස මනා පිටුවහලක් වුණා කියලා.

රංගන ක්ෂේත්‍රයේ ඔබ කවුරුන් හෝ අනුකරණය කරන්න උත්සාහ ගත්තාද?

නැහැ. කවදාවත්ම රංගන ජීවිතයේදීවත්, සැබෑ ජීවිතයේදීවත් මම කිසිවෙකු අනුකරණය නොකර මම, මම ම වෙන්න උත්සාහ ගත් කෙනෙක්. නමුත් මම කලා ලෝකයේ දක්ෂයන්ගෙන් ගුරුහරුකම් ගන්න, රංගන හැකියාවන් අධ්‍යයනය කරන්න, නොදන්න දේවල් අහගන්න හරිම කැමැත්තෙන් සිටි කෙනෙක්. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ සිට, අපේ කාලයේ විශිෂ්ඨ රංගධර දර්ශන ධර්මරාජ් දක්වා සිටින රංගන ශිල්පීන්ගෙන් බොහෝ දේ ජීවිතයට ලබා ගත්තා. ඒ අතරින් මම මගේ රංගන ජීවිතයේ නළුවෙකු ලෙස වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන සිටිය යුත්තේ කෙසේද, පෞරුෂය ගොඩනගා ගත යුත්තේ කෙසේද යන්න සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගෙන් බොහෝ දේ උගත්තා.

වාසනාව ගැන විශ්වාස කරනවාද?

රංගනය වැනි වෘත්තියක නිරත වෙන්න, නමක් හදාගන්න, ජනප්‍රිය චරිතයක් වෙන්න හැමෝටම බැරි නිසා, නළුවෙක් වෙන්න කුමන හෝ වාසනාවක් තිබිය යුතුයි කියා මා විශ්වාස කරනවා. නමුත් වාසනාවන්තයි කියලා හිතාගෙන හිටියා කියලා නළුවෙක් වෙන්න බෑනේ. මම හිතන්නේ ඕනෑම ක්ෂේත්‍රයකින් දිග ගමනක් යන්න නම් තමන්ට තමන්ගේ හැකියාවන් ගැන ලොකු විශ්වාසයක් වගේම, කැපවීමෙන් වැඩකිරීමත් වැදගත්. උපරිම දක්ෂතාවයකින් අරමුණ කරා යන්න පුළුවන් වීමත් වැදගත්.

නළුවෙක් විදිහට ඔබට ඔබ ගැන හිතෙන්නේ කොහොමද?

ඔබ මොනතරම් දේ කතා කළත් මට මේ මොහොතෙත් හිතෙන්නේ මම ලොකු නළුවෙක් නොවේ. තවත් හැදෑරිය යුතු තැන් බොහෝමයක් තිබෙනවා කියා. අදටත් මම ඒ රංගන කෞෂල්‍ය ඔප්නංවා ගැනීමට අවශ්‍ය දෑ සොයා යනවා.

එන්න එන්නම කඩවසම් වෙන්න මොකක් හරි රහසක් තියෙනවාද?

ඇත්තටම නළුවෙක් විදිහට මම විවිධ චරිත වලට පනපොවද්දී බාහිර ස්වරූපය ඉතාම වැදගත්. බාහිර ස්වරූපය ආරක්ෂා කර ගන්න මා අතින් ඉටුවන පළමුවන දේ තමයි නිරෝගීකම ආරක්ෂාකර ගැනීම. ඒ වෙනුවෙන් සුජානි ඉතිං විශේෂ විදිහට කෑම පිළියෙල කරලා දෙනවා. ඊට අමතරව ඉතිං පුළුවන් හැම වෙලාවකම වගේ ව්‍යායාම කරනවා. විශේෂයෙන්ම චරිතයක් ලැබුණොත්, ඒකට ගැලපෙන විදිහට ඇඟ කොහොම හරි හදා ගන්නවා. මේ හැම දේම එක්ක මාස කිහිපයකට සැරයක් වෛද්‍යවරයෙක් මුණ ගැසී, අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත් අමතක කරන්නෑ.

විලාසිතා කරන්න කැමතිද?

නැහැ. සාමාන්‍ය ජීවිතයේ නම් මම ගොඩක් සරළ කෙනෙක්. නමුත් තිරය ඉදිරියේ රඟ දක්වන විවිධ චරිත වෙනුවෙන් විවිධ විලාසිතා කෙරෙනවා. ඇත්තම කියනවානම් සැබෑ ජීවිතයේදී මම ආසයි රැවුල වවාගෙන, ඩෙනිමක් ඇඳලා, ටී ෂර්ට් එකක් දාගෙන ඔහේ ඉන්න.

ඇත්තටම ඔබේ ඇඟට වඩාත් ගැලපෙන ඇඳුම මොකක්ද?

රඟපෑම් කටයුතු වලදී මම ත්‍රිවිධ හමුදාවෙ නිල ඇඳුම් ඇඳලා තියෙනවා. ඒ ඒ චරිත නිරූපණය කරන්න. පොලිසියේ, හමුදාවේ ඇඳුම් ඇන්දාම, එම තනතුරුවල සැබෑවටම ඉන්න අය පවා කියනවා ‘‘බිමල් ඔබට ඔය යුනිෆෝම් එක අපිට වඩා ගැලපෙනවා, මහා ගාම්භීර පෙනුමක් තියෙනවා’’ කියලා. ඇඟේ හැඩයත්, මා චරිතයට දක්වන සාධාරණත්වයත් නිසාම එහෙම දකිනවා ඇති. කොහොම නමුත් මටත් හිතෙනවා ත්‍රිවිධ හමුදාවේ ඇඳුම් වලට මම ගොඩක් කඩවසම් කියලා.

ආභරණ පළඳින්න කැමතිද?

ඉස්සරනම් සිල්වර් මුදු පළඳින්න ආසාවක් තිබුණා. දැන් නම් ඉතිං වැඩිකැමැත්ත ඔරලෝසු පළඳින්න තමයි. විදෙස් සංචාරයකට ගියත් මම හරිම ආසාවෙන් ගන්නේ ඔරලෝසුවක්. විශේෂයෙන් ‘අන්කොමන්’ ඔරලෝසු වලට කැමැතියි. උසස්ම තත්ත්වයේ, මිල වැඩිම දේවල් පළඳිනවා කියලානම් දෙයක් නෑ.

කැමැත්තෙන්ම කරන විනෝදාංශ මොනවාද?

ෆිල්ම් බලන එක තමයි. මගේ ප්‍රධානම විනෝදාංශය ෆිල්ම් බලන එක ජීවිතයේම කොටසක් කරන් තියෙන නිසා මම නිතරම ගෙදරින් බැනුම් අහනවා. ඊට අමතර සංගීත භාණ්ඩ වාදනය කිරීම වගේම මට කැමතිම ක්‍රීඩාවක නිරත වීමත් ජීවිතයේ හරිම කැමැත්තෙන් විවේකයක් ලැබුණ වෙලාවට කරනවා.

ඔබ ගැන ඔබට පුංචි හරි ආඩම්බරයක් දැනුන දවස

පළමු ටෙලි නාට්‍යයේ සිට මේ දක්වාම රඟදැක්වූ බොහෝ චරිත නිසා සම්මානයට පාත්‍ර වීමේදී නිර්දේශ වීමේදී අවංකවම හිතට පුංචි ආදරණීය ආඩම්බරයක් දැනෙනවා. නමුත් ජාත්‍යන්තර සිනමා උළෙලකට මා රංගනයෙන් දායකවූ චිත්‍රපටයක් නිර්දේශ වී, මා ලන්ඩන් වලට ගිය වෙලාවක ලන්ඩන් සිනමාහල් අසල ලොකුවට ප්‍රධානපෙලේ රටවල නළු නිළියන් සමග මාගේ ඡායාරූපයකුත් ගහලා තිබිලා දැකලා ‘‘මම මෙච්චර දුරක් ආවා නේද?’’ කියලා හිතිලා පුංචි ආඩම්බරයක් දැනුනා.

ඔබව කෙනෙකු අනුගමනය කරනවාට කැමතිද?

මම කැමතියි කෙනෙක් මාව මතුපිට දකින ස්වරූපයෙන් අනුකරණය නොකර ඇතුළතින් අනුකරණය කරන්න උත්සාහ ගන්නවා නම්, විශේෂයෙන්ම ප්‍රතිපත්ති ගරුකව ජීවත්වීම.

ජනප්‍රියත්වය නිසාම අපහසුවට පත්වුණු අවස්ථා තියෙනවාද?

සමහර වෙලාවට. මම හිතනවා ප්‍රේක්‍ෂක ආදරයක්, ආකර්ෂණයක් ලැබීම ඕනෑම ජනප්‍රිය කෙනෙකුට ලැබෙන දෙයක්. තැපැල්පතේ සිට කෙටි පණිවිඩය දක්වා පරාසයකට දිවෙන ප්‍රේක්ෂක අගය කිරීම් වලට මා භාජනය වී තිබෙනවා. විවාහ වෙලා හිටියත් බොහෝ කාන්තාවන්ගේ, යුවතියන්ගේ ආකර්ෂණයක් ලැබෙනවා.

සමහරු ආසයි මම ඇවිදින විදිහට. තවත් සමහරු ආසයි මගේ කටහඬට, ගායන හැකියාවට, බාහිර ස්වරූපයට, පෞරුෂත්වයට, ඇස් දෙකට, රැවුල වවන විදිහට, කොණ්ඩේ කපන විදිහට. මේ හැමදේම ප්‍රේක්ෂකයා මට ආදරේ කරන විදිහට ඔවුන් දකින දේවල්. සුජානිත් මේ ක්ෂේත්‍රයේම ඉන්න නිසා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ආදරණීය පිළිගැනීම් පෞද්ගලික ජීවිතයට හානියක් නොවන විදිහට, ඇයට තේරුම් ගැනීමට හැකිවීම ලොකු වාසියක්.

ආදරේ ගැන මොකද හිතෙන්නේ?

මොහොතක් ගානේ වෙනස්වෙන, දවසින් දවස අලුත් වෙන, ජීවිතය අලුත්ම මාවතකට එක්ක යන, ලෝකයේ තියෙන මිල කරන්න බැරි දෙයක් විදිහටයි මම ආදරේ දකින්නේ.

ජීවිතේ ගැන මොකද හිතෙන්නේ.

ලෝකය පුරා පැතිර යන මේ වසංගතය ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙකුටම ජීවිතේ ගැන මහා විශාල පාඩමක් කියලා දුන්න මාතෘකාවක්. ගස් ගල් වගේ හිටපු මිනිස්සු ඇසටවත් පෙන්නේ නැති වෛරසයකට පරාජය වෙලා මියැදෙන වට පිටාවක, අපි හැමෝම මැරෙන මිනිස්සු, ලෙඩ වෙන මිනිස්සු කියා පණිවිඩය හදවතට වඩාත් සමීප වෙමින් තිබෙනවා.

ඔබත් කොරෝනා රෝගයට ගොදුරු වූ අයෙක්. ඔබට ඒ වෙලාවේ මොකද හිතුනේ.

ජීවිතය ගැන ආසාවක්වත්, මරණයට බයක්වත් දැනුණේ නෑ. නමුත් හදිසියෙන් හරි මට මොනවා හරි වුණොත් මගේ ආදරණීය බිරිඳ සුජානී මේක කොහොමද දරා ගන්නේ කියන ප්‍රශ්නාර්ථයක් එක්ක මම අසරණ වුණා. නමුත් ඇගේ ආශීර්වාදයෙන්ම මම සුවපත් වුණා. ආදරණීය ආශීර්වාදයකට මේ ලෝකයේ කරන්න බැරි දෙයක් නැහැ. මේ අත්දැකීමත් සමග මම තේරුම් ගත්තා. ඒ මොහොතේදී මම තව දෙයක් තේරුම් ගත්තා. කිසිම වැඩක් හෙටට කල් දාන්න හොඳ නෑ කියලා. කෙනෙකුට ආදරය සෙනෙහස දක්වන එකවත්. ජීවිතය ඒ තරමට අවිනිශ්චිතයි.

අධ්‍යාත්මික සතුට වෙනුවෙන් මොකද කරන්නේ?

පූජනීය ස්ථානයකට ගිහින්, එරමිනිය ගොතාගෙන භාවනා කරන්න, සිල් ගන්න වෙලාවක් හදා ගන්න බැරි වුණත් උදෑසන අවදි වූ මොහොතේ සිට, රාත්‍රියේ ගැඹුරු නින්දට වැටෙනකම්ම හිතේ රැව්පිළි රැව් දෙන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඒ මෛත්‍රිය සෑම මොහොතකම මා සියලු සත්වයන් වෙනුවෙන් වඩනවා. ඒ වගේම ස්වභාව දහම අප ආරක්ෂා කරනවා කියන ධර්මතාවය මම නිතර විශ්වාස කරනවා. ඒ වගේම ඊට පිටින් කිසි විටකත් යන්න උත්සාහ කරන්නෑ.

රැල්ල වෙරලට ආදරේ ටෙලිවෘතාන්තය වෙනස්ම ආරක එකක් නේද?

ඔව්. කළු චරිත, සුදු චරිත, වීර චරිත, රඟපාපු මගේ ජීවිතයේ අලුත්ම අත්දැකීමක්. මෙය දකුණු ඉන්දියානු චිත්‍රපටයක ආභාසය ගත් චරිතයක්.

අසුන්තා එදිරිසූරිය
උපුටා ගැනීම – සාරවිට වෙබ් අඩවිය

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x