ප්‍රධාන පුවත්විශේෂාංග

ඇම්බර් රෝස්: ‘කොරෝනා නිවාඩුවේ’ මුහුද යට ‘සැඟවුණු ලෝකයේ’ අසිරිය විඳින අපේ දැරිය (VIDEO)

අවුරුදු දහයේදී මුහුදේ කිමිදීම සඳහා අන්තර් ජාතික ප්‍රවීණතා සහතිකයක් ලබා ඇති, සාගර විද්‍යාඥවරියක වීමට සිහින දකින ඇම්බර් රෝස් මාතරගේ දැරිය සොයාගෙන බීබීසී සිංහල සේවය වෙනුවෙන් මම පසුගිය දිනෙක ගාල්ල, උණවටුනට ගියෙමි.

උණවටුන වෙරළට කරා වැටී ඇති මග දෙපස වෙනදා මෙන් දෙස් විදෙස් සංචාරකයන් දක්නට ලැබුණේ නැත. හෝටල් සහ කඩසාප්පු බොහොමයක් වසා දමා තිබුණි. වෙරළ තීරයේ දක්නට ලැබුණේ ද දේශීය සංචාරකයන් සිවු දෙනෙකු පමණි.

කිමිදුම් ඇඳුමින් සැරසී සිටි ඇම්බර් කිමිදීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ටැංකිය සුදානම් කරමින් සිටියාය. අපගේ මුහුදු ගමන ආරම්භ කිරීමට පෙර ඇම්බර් ට ඇගේ පුහුණුකරු වන ෂර්ලි කෝරලගේ එදින කිමිදෙන මුහුදු පතුලේ ස්වභාවය සහ ඊට අදාළ උපදෙස් දුණි.

ඇම්බර් රෝස් මාතරගේ කුඩා කල පටන් ගාල්ල දිස්ත්‍රික්කයට අයත් උණවටුන සුන්දර වෙරළ ආශ්‍රිතව ජීවත් වන්නීය. කොරෝනා තත්ත්වය හේතුවෙන් වසරක පමණ කාලයක් පාසල් වසා දමා තිබේ. එබැවින් උණවටුන වෙරළේ සුන්දරත්වය අත්විදින්නට ඇයට පසුගිය දිනවල වැඩි කාලයක් ලැබිණ.

”මං පුංචි කාලේ පටන් අම්මයි, තාත්තයි එක්ක මේ බීච් එකේ ඇවිදිනවා. කොරෝනා නිවාඩු කාලේ මට මුහුද පතුල තුළ සැගවුණු අලුත් ලෝකයක් දකින්න ලැබුණා.” යනුවෙන් ඇම්බර් රෝස් මාතරගේ කිමිදුම් ස්ථානය වෙත යෑමට බෝට්ටුවට ගොඩවෙන අතරතුර පැවසුවාය.

මුහුදේ කිමිදීමට දැඩි කැමැත්තක් දක්වන ඇය අවුරුදු දහය සම්පුර්ණ වන විට කිමිදුම් උපදේශකයින්ගේ වෘත්තීය සංගමයේ (PADI -Professional Association of Diving Instructors) විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ලබා ගැනීමට සමත් වූවාය. අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති එම ප්‍රවීණතා මට්ටම ළාබාල වියේදීම ලබා ගත් ඇය ඉන් ඉහළ මට්ටම් වල ප්‍රවීණතා ලබා ගැනීම සඳහා තවදුරත් පුහුණුවීම් කටයුතුවල නිරත වන්නීය.

”දැනට තියෙන ලයිසන් එකෙන් දුවට කිමිදෙන්න පුළුවන් මීටර් 12යි. ඒත් මෙයා ඊට වඩා යටට යන්න හදනවා. ඒ වෙලාවට මම ඇදල තමයි උඩට ගන්නේ. එයාට මුහුද යට දකින හැම දෙයක් ගැනම දැනගන්න ඕනා.” යනුවෙන් ඇම්බර්ගේ පියා, දුමින්ද මාතරගේ කියා සිටියේය.

මුහුදු පතුලේ සැඟවුණු ලෝකය

උණවටුන සහ ඊට යාබදව පිහිටි රූමස්සල, කොරල් සහ මුහුදු ජීවීන් නිරීක්ෂණය සඳහා කැමත්තක් දක්වන ඇයට ආකර්ෂණීය වූ ස්ථාන වේ. ඇම්බර් සිය පියා සමග කුඩා කල පටන් මුහුදේ කිමිදීමට ගොස් තිබේ.

”කිමිදුම් කරන විට බොහෝ උද්වේගකර අවස්ථාව තමයි මීට කලින් දැක නැති මාළු සහ විශාල මාළු දැකීම. මම ඒ අයව හඳුනාගන්න ආසයි. තාත්තාගෙන් සහ පුහුණුකරුගෙන් විස්තර දැනගන්නවාට අමතරව මුහුදු ජීවීන් ගැන තොරතුරු තියෙන මාර්ගෝපදේශ පොත් සහ ඉන්ටර්නෙට් එක යොදා ගන්නවා.” යනුවෙන් ඇම්බර් මේ ගමනේදී සිය අත්දැකීම් විස්තර කළාය.

ඇය මුහුදේ කිමිදීමට කිසිඳු බියක් නොදක්වන අතර උගන්වන දේ ඉතා ඉක්මනින් වටහා ගැනීමට හැකියාව ඇති නිසා ඉතා කෙටි කලකින් මූලික පුහුණුවීම් අවසන් කිරීමට හැකිවූ බව PADI කිමිදුම් උපදේශක ෂර්ලි කෝරලගේ පැවසුවේය.

ගොඩබිමදී මෙන්ම කිමිදුම් ස්ථානයට ගිය විට මුහුදට බැසීමට පෙර ඔක්සිජන් ටැංකිය, බඳපටි ආදිය නිසි පරිදි තිබේදැයි පරික්ෂා කළ යුතුය. එබැවින් එම පරීක්ෂාවෙන් අනතුරුව පුහුණුකරුගේ සහය මත බෝට්ටුවෙන් මුහුදට පැන ඇම්බර් මුහුදු පතුලේ සැඟවුණු ඇගේ ලෝකය සොයා කිමිදෙන්නට විය. ඇම්බර්ගේ පියා සහ පුහුණුකරු ද ඇය පසුපස කිමිදුණහ.

එදින කිමිදුම් වෙලාව විනාඩි 30කට පමණ සීමා විය. එම ඉලක්කය සම්පුර්ණ කර දිය මතට පැමිණි ඇම්බර් ඔක්සිජන් ටැංකිය ගලවා දිගු සුසුමක් පිට කළාය.

මුහුද මැද නිහැඬියාව

යළි බෝට්ටුවට ගොඩවූ පසු කිමිදීමේදී ලද වෙහෙසකර බව නිවා ගැනීම සඳහා ඇම්බර් ට අවස්ථාව ලබා දී අපි විනාඩි කිහිපයක් නිහඬව සිටියෙමු. ඒ අතර බෝට්ටුවේ ක්‍රියාකරු යළි ගොඩබිම බලා යාත්‍රා කිරීමට බෝට්ටුව පණ ගැන්වීය.

මඳ වෙලාවක් ජල තලය දෙස බලා සිටි ඇම්බර් නිහඬ බව බිඳිමින් යළි සිය අත්දැකීම් විස්තර කළා ය. එහිදී ඇය මුහුදට ප්ලාස්ටික් හා කැළි කසළ දැමීම ගැන විශේෂයෙන් සඳහන් කළාය.

”සාගරය පතුලේ තියෙන ප්ලාස්ටික් කෑලි, කැළි කසළ ආදිය සමහර වෙලාවට අපි ගොඩට ගේනවා. මම කියන්නේ මුහුදට කුණු දාන්න එපා. ඒක ලස්සන ලෝකයක්.” යනුවෙන් ඇය සඳහන් කළාය.

ඇම්බර්, කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන්නීය.

”දැන් මේ දියණියට ලෝකේ ඕනෑම PADI කිමිදුම් මධ්‍යස්ථානයක කිමිදුම් යන්න පුළුවන්. මේ තරම් අඩු වයසකින් ඇය PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ලබා ගැනීම රටේ අනාගතයට ඉතා වටිනවා. ඇය දක්ෂයි.” යනුවෙන් ඇම්බර්ගේ කිමිදුම් උපදේශක මේ සංවාදයේදී පැවසුවේය.

මුහුදු ගමන නිමවා යළි වෙරළට පැමිණිය ද නිවස කරා යෑමට ඇයට එතරම් හදිස්සියක් පෙනෙන්නට නැත. ඇම්බර් යළිත් වෙරළ පසුකර රළ පාගන්නට පිය නැගුවාය. ඒ වන විට දැඩි හිරු රශ්මිය වැටෙන්නට විය. ඇම්බර් කර වටක් පිරෙන්නට ජලයේ ගිලෙන්නට වූවාය.

ටික වෙලාවකින් පියා ඇය ඇමතුවේ ”දැන් යමු. අපි වෙන දවසක එමු.” කියාය.

මහා සාගරයට පෙම් බදින, අනාගතය ගැන සුබ සිහින දකින ඇම්බර්ට සුබ පතමින් මම ද උණවටුනෙන් පිටත් වුණෙමි.

Courtesy – BBC

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button