දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

අප්‍රේල් 21 සිදුවීමේ මහ මොළකරු නවුෆර් බව පරීක්ෂණ වලින් තහවුරු වුණා – සරත් වීරසේකර

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධානත ම පුද්ගලයා දැනට අත්අඩංගුවේ සිටින මොහොම් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් බවත් ත්‍රස්ත විමර්ශන අංශය මගින් සිදුකරගෙන යන පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී තිබෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දැනට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් නමැති මෙම පුද්ගලයා වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි බවට තොරතුරු වාර්තා වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අකාරයෙන් වසර ගණනාවක් තිස්සේ කටාර් රාජ්‍යයේ සිටි දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් 2016 වසරේ සිට සහරාන් සමග සමීපව කටයුතු කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, ISIS නායකයා වූ අබුබකර් අල් බග්ඩාඩිගේ මතවාදයට සහරාන්ව සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්යභාරයක් සිදුකර තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව ද වීරසේකර ඇමතිවරයා පැවසීය.

නවුෆර් නමැත්තා සහරාන් සමග දිගින් දිගටම සම්බන්ධ වෙමින් පාස්කු ප්‍රහාරය දක්වාම ඔහුව මෙහෙයවා තිබෙන බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් කරන ලද විමර්ශනයන්ගෙන් හෙළි වී තිබෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

එබැවින් පාස්කු ප්‍රහාරය පසුපස සිටි ප්‍රධානත ම මූලධර්මවාදියා මෙන් ම සහරාන්ව මෙම ප්‍රචණ්ඩත්වයට යොමු කළ ප්‍රධානම පුද්ගලය‍ෙකු ලෙස නවුෆර්ව හඳුනාගෙන තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

පාස්කු ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ඝාතකයන් තමන්ගේ නායකයා අබුබකර් අල් බග්ඩාඩි බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපථ කර තිබෙන බව ද වීරසේකර ඇමතිවරයා තවදුරටත් පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button