විශේෂාංග

පාදය අහිමි වූ රණවිරුවාට මංගල සීනු හැඬවේ – සුභපැතීමට හමුදාපතිතුමත් එක්වේ

ජීවිතවලට අනතුරු සිදුවන්නේ නොසිතූ මොහොතකය. අනතුරු දැක දැක තම ජීවිතය ගැන නොතකා අකාලයේ මියගිය දහස් ගණනක් රණවිරුවන්ගේ නාමය ඉතිහාසයට එක්වන්නේ දැයේ විරුවන් ලෙසිනි.

ඔහු කෝප්‍රල් ඩබ්ලිව්. ජී. තිළිණ සම්පත්ය. ඔහුගේ දකුණු පාදයේ දණහිස ළඟින් ඉවත් කර තිබුණද ඔහු කිසිවිටකත් ඒ ගැන කම්පා වන්නේ නැත.

සමහරු ගම ගාල්ලේ කියන්නේ උජාරුවටය. සම්පත්ද ගාල්ලේ බද්දේගම කොල්ලෙකි. ගාල්ලේ මිනිස්සු සම්පත් ගැන කියන්නේ ගාල්ලට තවත් වටිනාකමක් එක්කළ සම්පතක් ලෙසමය. සම්පත්ට නැතිවුණ කකුල ගැන දුකක් නැත. ඒ ඔහු රට වෙනුවෙන් කළ සේවය අගය කරමින් තාමත් තමන් ගැන යුද හමුදාව සොයා බලන නිසාය. හමුදාවේ සොල්දාදුවකුට ලෙහෙසියෙන් අත් නොවන වාසනාවක්ද ඔහුට උදාවිය. ඒ යුද හමුදාපතිතුමන්ද ඔහුගේ ජීවිතයේ වටිනාම දිනයට සුබ පැතීමට පැමිණි නිසාය.

“මගේ මල්ලිත් හමුදාවේ. අක්කයි, නංගියා දෙන්නම බැඳලා ඉන්නේ හමුදාවේ රැකියා කරන අය. මගේ කකුල අහිමි වුණාට පස්සේ මම හිතුවේ මට තරුණියක් සමග විවාහ වෙන්න ලැබෙන එකක් නෑ කියලයි. නමුත් මගේ හොඳම මිතුරාගේ නංගිගේ යාළුවෙක් දවසක් මුණ ගැහුණා.

එයා ලස්සනයි. එයා ගැන මට හිත ගියත් මගේ කකුලක් නැති බව දැනගත්තොත් ඇය අකමැති වන බව මම දැනගෙන හිටියා. මම බොරු කකුලක් දාලා ඉන්න නිසා කාටවත් මගේ කකුල නැහැ කියලා සොයාගන්න අපහසුයි. මුලින්ම මම එයත් එක්ක කතා කළා. එයා කැමති බව හැඟුණා. ඇත්ත තත්ත්වය කියන්න මම බය වුණා.

මාස කීපයක් ගතවුණා. මට ඇය ගැන ආදරය වැඩිවුණා. මගේ යාළුවගේ නංගිත් මගේ ඇත්ත කතාව කියලා තිබුණේ නෑ. දවසක් එයත් එක්ක කතා කරද්දී මම මගේ ආබාධිත තත්ත්වය කිව්වා.එදා මට පුදුම හිතුණා. එයා මාව දැකපු මුල් දවසේ ඉඳලා මගේ කකුලක් නැති බව දැනගෙන ඉඳලා. එයා නිලුෂා කුමුදුනී. වයස අවුරුදු 35 යි. හලාවත නගරය කිට්ටුව තියෙන ආරච්චිකට්ටුව තමයි නිලූෂලගේ ගම. එයාට අයියෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. ඉස්සර රස්සාවක් කළත් දැන් රස්සාවක් කරන්නේ නෑ.”

මේ නිලූෂා ඒ අතීතය සිහිපක් කළ අයුරුය.

“මට සම්පත් මුණගැස්සුවේ මගේ හොඳම යෙහෙළියක්. එයා මට කිව්වා මෙයාගේ කකුලක් නැති බව. නමුත් මම රණවිරුවන්ට පුදුම කැමැත්තක් තියෙන්නේ. යුද්දෙට ගිය සෙබළෙක් කිව්වහම මට තවත් කැමැත්ත වැඩිවුණා. ආබාධිත තත්ත්වය ගැන මම හිතුවේ නැහැ. නමුත් සම්පත් දැනහිටියේ නෑ මම ඒක දන්න බව. මාස ගණනක් ගියා. එයා මගේ ගෙදරත් ආවා. අම්මා, තාත්තත් හමුවුණා. ඒ අය දැනගෙන හිටියේ නෑ ඒක.

දවසක් එයා මට කකුලක් නෑ කියලා දුකෙන් කියන කොට ආදරය පටන්ගෙන ඉවරයි. මම කිව්වා ඒක මම දන්නවා කියලා. එයා මාව බදාගෙන ඇඬුවා. මටත් ඇඬුනා. මේක දන්නේ අපි දෙන්නා විතරයි, අද තමයි මම මේක හෙළි කළේ. අපි දෙන්නගේ ආදරය වැඩිවුණා. මම මගේ ගෙදර අයට කිව්වා. ඒ අය මට ප්‍රශ්න දැම්මා ඇයි ඔය වගේ කෙනෙක්ට එහෙම කැමති වුණේ කිව්වා.

නමුත් පස්සේ මගේ ආදරය ඒ අයට හැඟුණා. මට අවසර දුන්නා. මට මොනවා නැතත් මේ වගේ කෙනෙක් එක්ක විවාහ වුණ එකට දේවාශීර්වාද ලැබෙනවා. මගේ ජීවිත කාලයම එයාව රැක බලාගන්න බවට පොරොන්දු වුණා. එයත් එහෙමයි. ආදරය කියන්නේ ශරීර අංගවලට තියෙන ආශාව නෙවෙයි කියලා මම තේරුම් අරන් තියෙන්නේ. අද ලෝක කාන්තා දිනයේම මගේ විවාහය සිදුවීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.’’

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button