විශේෂාංග

“එයා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ගැබ් ගත්තා, ඇබෝෂන් කරන්න උදව් කළේ අම්මා, එතකොට එයාගේ වයස අවුරුදු 14යි” – ආශ්චර්යා පීරිස්

ආශ්චර්යා පීරිස් ජයකොඩි කියන්නේ ලෝකය ලස්සනට දැක්ක, සුන්දර ජිවිතයක් ගත කළ චරිතයක්. ඒ ජිවිතේ මිට වසර ගණනකට පෙර එකපාරටම කණපිට පෙරළෙමින් දෑස් අහිමිව, ආදරේ අහිමිව, දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වෙමින් ලෝකයේ තනි වෙනවා. ඒ තනිවුණු හිත තනිකම ප්‍රතික්ෂේපවීම් ජිවිතයට පන්නරයක් කරගනිමින් ජීවිතය ජයගන්න ශක්තිමත් එඩිතර යුවතියක්, කාන්තාවක්, ආදරණිය බිරිඳක් සේම ආදරණියම අම්මා කෙනෙකු වෙනවා.

දෑස් අහිමි වෙමින් සදහටම අන්ධකාරයේ ජිවත් වුවත් ජිවිතයම ආලෝකයක් කරගනිමින් හික්මීමක් නැති, කඩාවැටුණු හිත්වලට හයියක් වෙමින් ඈ අද ඇගේ ගමන යනවා. ඒ නිසාම ඒ පෞර්ෂයක් ඇති හිතත් එක්ක කතා කරන්න අපි කල්පනා කළා. මේ ආශ්චර්යා සමඟ කළ කතාබහයි.

ඔබට මේ වෙද්දී ඉල්ලුම වැඩියි, දේශන එක්ක කාර්යබහුල වෙලා ඇති නේද, අපි මුලින්ම ඒ ගැන කතා කරමු..?
කාන්තා දිනය ලන් වෙද්දී මට දේශන සඳහා ආරාධනා ලැබෙනවා වැඩියි. මේ අවුරුද්දෙත් වෙනසක් නැහැ දේශන සඳහා ආරාධනා ලැබෙනවා, ඒවාට සම්බන්ධ වෙනවා. මේ වෙද්දී පිටරට දේශනා සඳහාත් ආරාධනා ලැබුණා, සූම් තාක්ෂනය ඔස්සේ දේශනා ලබා දෙන්න කියලා. මගේ අත්දැකීම් ජනතාව එක්ක බෙදාගනිමින් දේශනා පවත්වනවා.

බිරිඳ, අම්මා කියන උත්තුංග චරිත එක්කත් ඔබ කාර්යබහුලයි, හැම කටයුත්තකටම වඩා පවුලට ඔබේ මුලිකත්වය වැඩිපුර හිමි වෙනවා ඇති නේද..?
මොන දේ කරන්න ගියත් මම අම්මා කෙනෙක් මම බිරිඳක් කියන එක අමතක කරලා කටයුතු කරන්නේ නැහැ. මුලිකත්වය පවුලට. දෙවනුව තමයි අනෙක් දේවල් කරන්නේ. මොකද කොච්චර හම්බකරත්, ප්‍රසිද්ධ වුණත් වැඩක් නැහැ පවුල් ජීවිතය ඇතුළේ අසාර්ථක නම්. මොන දේ නැති වුණත් අන්තිමට ඉතුරු වෙන්නේ පවුල. කාන්තාවක් හැටියට මම එය තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා මොනදේ කළත් පවුලට මුලිකත්වය දීලා තමයි මම අනෙක් දේවල් කරන්නේ.

නිවසේ සියලුම වැඩකටයුතු ඔබ අතින් සිදුවෙනවා කියලා කියද්දී බොහෝ දෙනෙක් පුදුමයට පත් වෙයි..?
ඒක තමයි ඇත්ත. මට අතට පයට වැඩකාරයෝ නැහැ. ගෙදර සියලුම වැඩ කරන්නේ මම. ගෙදර උයන පිහන දේවල්, අස්පස් කරන දේවල් වගේම රෙදි හෝදන ඒවත් කරන්නේ මම. මට රසට උයන්න පුළුවන්.

මගෙන් කෑම කන හැමෝම කියන්නේ මම උයන කෑම රසයි කියලයි. මගේ දුව ඉපදිලා මාස කිහිපයක් යන්න කලින් මම කෑම හැදුවා. වැඩට ඒ කාලේ හිටපු අයත් මගේ කෑම කන්නේ අසාවෙන්.

ඔබට දියණියක් හිටියත් ඔබ දරුවෝ කිහිප දෙනෙකුටම ජිවිතේ දීලා මවකගේ සෙනෙහස දෙනවා..?
මට ඉන්නේ දුවක්. එයා තමයි අපේ පවුලට වාසනාව ගෙනාවේ. එයා ඉපදුනු කාලේ මම රාජකාරි වැඩත් එක්ක කාර්යබහුල වෙද්දී දුව සියල්ල ඉවසාගෙන ශක්තිමත්ව ජිවත් වුනා. සමහර දවස්වලට දුවට කිරි ටික පවා දෙන්න බැරිවුණු දවස් තිබ්බා. ඒ වගේම මම දෙමාපියන් අහිමි වූ දරුවන් කිහිපදෙනෙක් හදාගන්නවා. ඔවුන්ට අපි දෙමාපියන් වෙලා.

ඒ නිසා මගේ දුව ඇතුළු ඒ දරුවන්ට කියන්නේ අම්මා කවුද කියලා ඇහුවොත් ආශ්චර්යා පීරිස් ජයකොඩි කියලා නම් කියන්න එපා කියලා කියනවා. මම දරුවන්ගේ මුහුණු පවා පෙන්නන්නේ නැහැ. මට එන තර්ජන දරුවන්ට කරදරයක් වෙන්න පුළුවන් නිසා. මම ඒ දරුවන් හදන්නේ හරිම පරිස්සමින්. මම නැති කාලෙක වුනත් මගේ දරුවන් ආඩම්බරෙන් සතුටින් ජිවත් වෙයි. මම දරුවන්ට හරි මඟ පෙන්වමින් ජීවිතය ගෙනියන්න උගන්වන්නේ.

ඔබ දෙස බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්නේ නැහැ දෑස් නොපෙනීම ඔබේ දුර්වලකම කියලා, සර්ව සම්පුර්ණ බොහෝ අය පුංචි දෙයටත් කඩාගෙන වැටෙන පසුබිමක ඔබ එය ජිවිතයට හයියක් කරගෙන ජීවිතය ගොඩ නගාගත්තා…?
හැමදෙයක්ම තියෙන ඇතැම් කාන්තවන් පුංචි දේවල්වලට කඩාගෙන වැටෙන හැටි මම අහලා තියෙනවා.

බොහෝ දෙනෙක් මගෙන් උපදෙස් ගන්න කතා කරද්දී මට තරහ යනවා ඇයි මේ මිනිස්සු පුංචි දේවල් කළමනාකරණය කරගන්න බැරුව දගලන්නේ කියලා. අපේ රටේ අබාධිත ප්‍රජාව ලක්ෂ 17ක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් විතරයි මම. ඇතැම් අබාධිත අය එතනින් එහාට ජිවිතයක් නැහැ කියලා ජිවිතේ අත්හැරලා ජිවත් වෙනවා. මට ආපු ප්‍රශ්න හැටියට මම ජිවිතේ ජයගත්තා කියන එකත් පුදුමයි.

අනිත් අයට ඉන්න ගෙයක් හරි තියෙනවා. මම ඉන්නේ මගේ සැමියාගේ ගෙදර. මට ගෙයක් හදාගන්න ලෝන් එකක් ගන්නවත් බැහැ ආබාධිතයි කියලා. නමුත් මම තියෙන දෙයින් සතුටු වෙනවා. නැති දේවල්වලට වඩා තියෙන දේවල් වලින් සතුටු වෙන්න ඕන. මිනිස්සු දුක් විදින්න ඕන. දුක හරහා තමයි ජිවිතේ ගොඩනගන්නේ. ශක්තිමත් වෙන්න දුක ප්‍රයෝජනයක් වෙනවා.

මගේ පියා හරිම ධනවත් කෙනෙක්. මට අවුරුදු 12කට පස්සේ තමයි මගේ අනිත් සහෝදරියෝ ඉපදෙන්නේ. එතකල් කිසිම අඩුපාඩුවක් නැතුව සැපට මම ජිවත් වුනා. හුරතලයට හැදුනු මගේ ජීවිතේම කාලයකදී කඩාගෙන වැටුණා. ඒ කඩාවැටීමම තමයි අවසානයේ මගේ ජිවිතේ සාර්ථක වුනේත්.

බොහෝ දරුවන් යන එන තැන්වලට දෙමාපියන් එමින් මුර කිරීම දරුවෙකුගේ සාර්ථකත්වයට හේතුවක්ද, කරදරයක් කියලද ඔබ හිතෙන්නේ..?ඔබටත් එවැනි ළමා කාලයක් තිබ්බා..?
මගේ අම්මා මගේ පසුපසින් නිතරම හිටියා. නිදහසේ කොහෙවත් යන්න දුන්නෙවත් නැහැ. පාසලෙන් විනෝද චාරිකාවක් ගියත් අම්මා ඒත් එක්කම එනවා. එතකොට මගේ යාළුවො පවා මට විහිළු කරලා තියෙනවා. තනියම කිසිදෙයක් කරගන්න ඉඩ දුන්නේ නැති නිසා තනියම බස් එකකවත් යන්න දන්නේ නැහැ. තනියම දේවල් කරගන්න බැහැ. මම නම් කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට යාලුවෙක් වගේ වෙන්න ඕන කියලයි. ඒ බැඳීම තිබ්බම දරුවෝ වරදක් කළත් ඒක අම්මට කියනවා.

වැරදි කරනවා අඩුයි. මගේ ජිවිතේ වරදින්න සියයට 80ක් අම්මා බලපෑවා. නමුත් මම මගේ දුවව හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. අම්මා දරුවාට නියම යාලුවෙක් වෙන්න ඕන කියලයි මම නම් කියන්නේ. මට නීති දාලා හදපු නිසා තමයි මම නිදහස හොයන්න ඇත්තේ. අවුරුදු 16දී මම පිරිමි ළමයෙකුට ආදරේ කරේ ඒ නිසා වෙන්න ඇති. පෙම්වතා විශේෂ කෙනෙක් කියලා දැනුනේ ඒ නිසයි. මගේ ජිවිතේ වෙනස් වෙන්න අම්මා හේතුවක් වුණා.

ඔබ දෙමාපියන්ගෙන් වෙන් වෙන්නේ මිට වසර 20කට පෙර. එතැනින් එහාට මුණ නොගැහුණු ඒ දෙමාපියන් දැන් කෝ..?
මගේ දෙමාපියන්ට මාව එපා කියලා මාව එලෙව්වේ මිට වසර 20කට කලින්. එදා ගෙදරින් ආවට පස්සේ තවමත් මම ඒ ගෙදරට අඩියක්වත් තියලා නැහැ. මාව එපා කියලා ප්‍රතික්ෂේප කළොත් ඒ කෙනා කවුද අම්මා තාත්තා වුණත් මම ඉන්නේ එකම ප්‍රතිපත්තියක. මම ඒ අයගේ පස්සෙන් යන්නේ නැහැ. ඒ විදිහට තමයි මම ගෙදරින් එලියට බැහැලා එන්නේ.

එදා ඉදලා අද වෙනකල් ඒ අය එක්ක සම්බන්ධයක් නැහැ. මිට වසර 3,4 කලින් තාත්තා නැති වෙනවා. අම්මා ඉන්නවා. ඒත් මම හොයලා බලන්නේ නැහැ. ඒ වගේ දෙමාපියන් ලබන්න මම කරුමයක් කරලා තියෙනවා. හොඳ දෙමාපියන් ලැබෙන්නෙත් පින් කරන්න ඕන. මගේ දරුවෝ පින් කරලා තියෙනවා මම වගේ අම්මා කෙනෙක් ලබන්න. දරුවෝ අයාලේ යන්නෙත් දෙමාපියන් නිසාමයි.දෙමාපියන්ගෙන් නියම මඟ පෙන්වීම තියෙන්න ඕන.

ඔබේ දෑස් නොපෙනීමත් එක්ක ඔබ ආදරය කළ, ඔබේ යැයි සිතු ඔබේ පෙම්වතා ඔබ හැර යනවා, ඔබේ කඩාවැටීම පටන් ගන්නෙත් ඔබේ නැගිටීම සිදු වෙන්නෙත් එතනින් පසුව නේද..?
ඒ නරුමයාව මතක් කරන්නවත් මම කැමති නැහැ. මම ඔහුට ආදරේ කරන්න පටන් ගන්නේ මට වයස අවුරුදු 16දී. ගෙදරින් තිබ්බ නීතිමය පරිසරයත් එක්ක මම ඔහුට ආදරේ කරන්නේ ඔහු මගේ එකම ආදරේ කියලා හිතලා.

විවාහ වෙන්නෙත් ඔහුත් එක්ක විතරයි කියන දැඩි සිතුවිල්ලක හිටියා. මගේ දෙමාපියන්ට අවශ්‍ය වුණා මට සියලු පහසුකම් ලබාදෙන කෙනෙක්ව විවාහ කරලා දෙන්න. ඒ නිසා ධනවත් අයගෙන් විවාහ යෝජනා ගෙනාවා. නමුත් මම සියල්ල ප්‍රතික්ෂේප කරලා මගේ පෙම්වතාට ආදරේ කළා. ඔහුට ආදරේ කරපු නිසා මට ගෙදරින් ප්‍රශ්න ආවා. ප්‍රතික්ෂේපවීම් ආවා. සියල්ල දරාගෙන ඔහුත් එක්කම හිටියා.

මම නිතරම හිතුවේ මගේ සියල්ල ඔහු කියලා. මම විශ්ව විද්‍යාලයට තේරිලා ඒ ගමන යන්න එපා කියලා කිව්වම මම ඔහුට අවනත වෙලා ඒ ගමන නතර කළා. මුළු ජීවිතේම බෙදා ගන්න ඉන්න කෙනානේ කියලා හිතලා ඔහු කියන විදිහට ජිවත් වුණා. ඔහු නිසා තමයි මම බැංකුවක රැකියාව කරන්න යන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඔහු නිසා තමයි මම මේ විපතට මුහුණ දෙන්නේ. අවසානයේ මගේ දෑස් පෙනීම අහිමි වීමත් එක්ක ඔහු මගෙන් අයින් වෙලා විදෙස් ගත වෙනවා.

ඔහු මාව හැර යාමත් එක්ක මගේ පවුලෙන් ආ පීඩන වැඩි වුණා. නිතරම මට බැන්නා ඔහු මාව දාලා ගියා කියලා. මම ඔහුට කොච්චර ආදරේ කලාද කිව්වොත් මගේ මුදලින් මිලදී ගත් මෝටර් රථය පවා ඔහුගේ නමට ලියලා තිබ්බේ. ඔහු කොයිම මොහොතකවත් හිතුවේ නැහැ මම ආදරේ වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක් කළාද කියලා. ඔහු නිසා මම දෙමාපියන්ගෙන් ගුටි කාලා තියෙනවා. පවුලෙන් කොන් වෙලා හිටියා . නමුත් ඒ කිසිවක් නොහිතා ඔහු මාව දාලා පිට රට ගියා.

එහෙ ගිහින් ඔහුටත් වඩා වසර ගණනාවක් වැඩිමහල් කාන්තාවක් එක්ක විවාහ වුණා. ඒ වෙද්දී අවුරුදු 18ක දරුවෙකුත් ඒ කාන්තාවට හිටියා. මට කරපු දේට ඔහුට පවු පඩිසන් දුන්නා කියලයි මම නම් හිතන්නේ. ඔහු පසු කාලයේ සෑහේනට විදෙව්වා.

ඔහුගේ හැර යාම ශක්තියක් කරගෙන ඔබ ජිවිතය ගොඩ නගාගත් පසුව ඔබට ඔහු කතා කළේ නැද්ද..?
කිහිප සැරයක් මට කතා කරලා දුක බෙදා ගන්න ඔහු වෙහෙස ගත්තා. ඒ වෙද්දී මම සමාජ ගත වෙලා හිටියේ. මම තැනකට ඇවිත් හිටපු කාලේ තමයි ඔහු මට යලිත් කතා කළේ. නමුත් මට කරදරයක් වුනු වෙලාවේ මාව හැර ගිය ඔහුත් එක්ක කතා කරන්න මට කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. මම ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔහුට ඇහුම්කන් දුන්නේ නැහැ.

දැන් මට මාව ආදරයෙන් බලාගන්න ආදරණිය සැමියෙක් ඉන්නවා. මම හරි වාසනාවන්ත ජිවිතයක් දැන් ගත කරන්නේ. ප්‍රතික්ෂේප කළ කිසි කෙනෙක් මම මගේ ජිවිතෙට නැවත එකතු කරගන්නේ නැහැ. ඒ නිසා ඔහු ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ.

දැන් සමාජයේ බොහෝ දෙනෙක් ඉක්මණින් මුදල් හොයන්න වැරදි මාර්ග හොයා ගන්නවා, මුදල් නිසා ලිංගික සේවනයේ යෙදෙන තරුණියන් වගේම පාසල් සිසුවියන් ඉන්න බවත් ආරංචියි. උපදේශන සේවා සඳහා සම්බන්ධ වෙන චරිතයක් හැටියට ඔබට ඒ ගැන යමක් කියන්න ඇති..?
මුදල් නිසා ලැජ්ජාව බය නැති කරගෙන ලිංගික සේවනයේ යෙදෙන පිරිස ඉන්නවා. ඔවුන්ට සැප සම්පත් අවශ්‍යයි, දුක් විදින්න කැමති නැහැ . ඒ නිසා ඉක්මනින් මුදල් හොයන්න පුළුවන් ක්‍රමය ඒක කියලා හිතනවා. මම දන්න කෙනෙක් මාත් එක්ක කිව්වා ප්‍රසිද්ධ පාසල්වල සිසුවියන් පාසල් නිල ඇඳුමින්ම ඇවිත් ලිංගික සේවනයේ යෙදෙනවා කියලා. ඔවුන් යහන් ගත වෙන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ පිරිමි එක්ක. ඇතැම් අම්මලා වාහනයෙන් ඇවිත් දරුවන්ව දාලා යනවලු.

දරුවන් ඒ වගේ දේවල් වලට ගොදුරු වෙන්නේ දෙමාපියන් නිසාමයි. හැදියාව එන්නේ ජානවලින්, පවුලේ ලේවලින්. ඒ වගේ දේවල් වලට යොමු වෙන අය කාලයක් යද්දී බයෙන් ජිවත් වෙන්නේ. මොකද අතීතය කොයි මොහොතක හරි වටේ කැරකිලා එලියට එයි කියලා. විවාහ වුනු කාලෙක කොයි තරම් බයෙන් ජිවත් වෙන අය ඉන්නවද. හිතා ගන්න බැහැ කොහොමද පිරිමි එක්ක යහන් ගත වෙන්නේ කියලා.

ඒ ගැන නම් මට තියෙන්නේ පුදුමාකාර කලකිරීමක්. දෙමාපියන් හරියට හිටියා නම් දරුවෝ අයාලේ යන්නේ නැහැ. අම්ම තමයි ගෙදර ශක්තිය. අඩිතාලම. දෙමාපියන් දරුවන්ව තේරුම් අරගෙන ඔවුන් එක්ක සුහදව කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ.

ඔබේ පාසල් කාලයේත් එවන් සිදුවීම් අහන්න දකින්න ලැබුනද..?
ඔව්. හොඳම උදාහරණය තමයි මගේ යාලුවා. එයා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක සම්බන්ධකමක් ඇති කරගෙන ගැබ් ගත්තා, එතකොට එයාගේ වයස අවුරුදු 14යි. එයාගේ අම්මා තමයි ඇයගේ ගැබ අබෝෂන් කරන්න උදව් කරේ. ඒ අම්මා දැනුවත්ව තමයි අර ක්‍රීඩකයා එක්ක හිටියේ. ඒ අම්මා දරුවෝ දෙන්නව පොහොසත් මිනිස්සුන්ට දෙනවා.

නයිට් ක්ලබ් යවලා සල්ලි හෙව්වා . ඒ අම්මා වගේම දරුවෝ නිතරම කතා කරන්නේ කැත විදිහට කුණුහරප. මගේ අම්මට ආරංචි වෙලා මට එයාලව ආශ්‍රය කරන්නවත් දුන්නේ නැහැ. ඒ නිසා හොඳ වෙලාවට මාව ඒ රැල්ලට ගහගෙන ගියේ නැහැ. මාව ඒ පැත්තට ගන්න ගොඩක් ඒ අය උත්සහ කළා. අන්තිමට ඒ ළමයි දෙන්නා විවාහ වෙලා පිටරට ගියා.

අවුරුදු 4ක්වත් ගියේ නැහැ කරුමේ පඩිසන් දීලා වගේ ගේ ගිනි අරගෙන අන්තිමට ලංකාවට ආවා. දැන් ඒ අය දුක් විදිනවා. සල්ලි නිසා චරිතය නැති කරගත්තා. ඒ නිසා සියල්ලන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. දැන් දවසකට කි පාරක් මැරී මැරී ජිවත් වෙනවා ඇතිද අතීතයේ වැරදි නිසා. ඒ අම්මා නිසා තමයි දරුවෝ වැරදි පාරේ ගියේ.

මම සල්ලි නැතුව කාලයක් හිටියා. අනතුරෙන් පසුව නිවස හැර ආවාට පස්සේ. මට රූපය නැතුව නෙමෙයිනේ. මටත් සල්ලි හොයන්න එහෙම යන්න තිබ්බා. බඩගින්නේ හිටියත් මම එහෙම කලේ නැහැ. කරන්න හිත දුන්නේ නැහැ. ඒ වගේ සම්බන්ධකම් වලට ආරාධනාත් ලැබිලා තියෙනවා. නමුත් ගරුත්වය පරිස්සම් කරගන්න ඕන.

කවදාවත් අපිව පාලනය කරන්න සල්ලිවලට ඉඩ දෙන්න හොඳ නැහැ. අපි තමයි සල්ලි පාලනය කරන්න ඕන. දැන් ඉන්න ළමයි හරියට කුණාටුවකට අහුවෙන ඉරට්ටක් වගේ ගහගෙන යනවා. මම හරියට ජිවත් වුනු නිසා අද මම ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා. මගේ මහත්තයා පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. මම හරිම සතුටින් ජිවත් වෙනවා කියන්න පුළුවන්.

ඔබේ දෑතින් ලස්සන විලාසිතා මැවුණු කාලයක් තිබ්බා. මෝස්‌තර නිර්මාණ ශිල්පයට දැන් තිත තියලද..?
ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕන. ලංකාවේ එයට හොඳ ඉල්ලුමක් නැහැ. යුරෝපා රටවල වගේ. ඒ නිසා දැන් ආරාධනාවක් කරන අයට විතරක් මෝස්‌තර නිර්මාණය කරලා දෙනවා. විදෙස් රටවලිනුත් ආරාධනා ලැබෙන අවස්ථා තියෙනවා. ඉදිරියේදී බලනවා වෙනසක් කරන්න, නමුත් ලොකුවට ඒ පැත්තට දැනට යොමු වෙලා නැහැ.

-හර්ෂණී වීරරත්න

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button