ENTERTAINMENTවිශේෂාංග

ලෝකයේ කඩවසම්ම රාජකීය කුමාරයෝ

අද හිතුවා මේ වෙනකොට ලෝකෙ ඉන්න කඩවසම්ම රාජකීය කුමාරවරු ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

1. වර්ම්ලන්ඩ්හි ආදිපාද කාර්ල් පිලිප් කුමරු

ස්වීඩනයේ වර්තමාන රජු වන දාසය වැනි ගුස්ටාෆ් රජුගේ සහ සිල්වියා බිසවගේ එකම පුත් කුමාරයා වන කාර්ල් පිලිප් කුමරු ඉපදෙන විට ස්වීඩනයේ පැවති ව්‍යවස්ථාව අනුව කිරුළ හිමි කුමරු බවට පත්වුණා. නමුත් පසුව ව්‍යවස්ථාවේ සිදුකරන ලද සංශෝධනයක් මගින් ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයට සමානකම් ලබා දීම සිදු කළ අතර, එමගින් එම පදවිය ඔහුගෙන් ගිලිහී ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන වික්ටෝරියා කුමරිය ඔටුන්න හිමි කුමරිය බවට පත්වුණා. මෝස්තර නිරූපිකාවක වන සොෆියා සමඟ විවාහ වූ කාල් පිලිප් කුමරුට මේ වන විට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටිනවා.

2. හැරී කුමාරයා

නම කියූ පමණින් මුළු ලෝකයම දන්නා හැරී කුමරු අද වන විට තමන්ට උරුම රාජකීය සැප සම්පත් සියල්ල අතහැර තම බිරිඳ වන මේගන් මාකෙල් සහ පුත් ආචී සමග කැනඩාවේ සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. පසුගිය දිනක ඔවුන්ට ලැබීමට නියමිතව තිබූ දරුවා ගබ්සා වූ බවට කණගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වුණා. සිය මවගේ මරණය නිසා අතිශයින්ම සංවේදී පුද්ගලයෙකු බවට පත් වූ හැරී කුමරු සියල්ලට වඩා තම විවාහය සහ බිරිඳට මුල්තැන දීම බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා.

3. හම්ඩන් බින් මොහම්මඩ් අල් මක්ටුම්

ඩුබායි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන අල් මක්ටුම් කුමරු සමාජ මාධ්‍ය ජාලා තුළ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටිනවා. උදාහරණයක් විදිහට ඔහුගේ instagram ගිණුමේ මිලියන 11කට අධික රසිකයන් පිරිසක් එක්වී සිටින අතර ජීව ගුණයෙන් පිරුණු ඔහුගේ ජීවන රටාව බොහෝ දෙනෙක් අගය කරනවා. අරාබි රජ පවුල්වල බහු විවාහ සාමාන්‍ය දෙයක් වුවත් 38 හැවිරිදි මෙම කුමාරයා මේ වන විට සිය ඥාති සහෝදරියක් පමණක් විවාහ කරගෙන සිටිනවා.

4. පියරේ කසිරාගෙයි

යුරෝපයේ කුඩාම කුඩා රාජ්‍යයක් ලෙස සැලකෙන මොනෝකෝ රාජ්‍යයේ වර්තමාන රාජ්‍යබාරය උසුලන දෙවන ඇල්බර්ට් කුමරුගේ වැඩිමහල් සහෝදරිය වන කැරොලයින් කුමරියගේ සහ ඇයගේ දෙවන සැමියා වන ස්ටෙෆානී කසිරාගෙයිගේ බාල පුත්‍රයා වන පියරේ, සිය මවගේ අඩිපාරේ යමින් සමාජ සේවා කටයුතු සිදු කිරීමට වැඩි කැමැත්තක් දක්වන අයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. එමෙන්ම අතිශය කෙළිලොල් දිවියකට ප්‍රිය කළ මෙම කුමාරයා ජනමාධ්‍යවේදිනියක වන බ්‍රියට්‍රිස් බොරෝමියෝ සමග විවාහ වූ අතර මේ වන විට එම යුවළට දරුවන් දෙදෙනෙක් සිටිනවා.

5. හුසේන් බින් අබ්දුල්ලා

ජෝර්දානයේ වර්තමාන රජු වන දෙවන අබ්දුල්ලා රජුගේ සහ රානියා බිසවගේ වැඩිමහල් පුත්‍රයා ලෙස එරට ඔටුන්න හිමි කුමරා බවට පත්ව සිටින හුසේන් බින් අබ්දුල්ලා කුමරු වර්තමානයේ ජෝර්දානයේ යුද්ධ හමුදාවේ සේවය කරනවා. විවිධ අවස්ථාවල ජෝර්දාන් රජු විදේශ සංචාර සඳහා සහභාගී වන අවස්ථාවල දී අදාළ ධූරයේ වැඩබැලීම පැවරුණේ ඔටුන්න හිමි කුමරුටයි. 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ මූලාසනය ඉසිලූ ලාබාලතම තැනැත්තා බවට පත් වීමේ වාර්තාව අබ්දුල්ලා කුමරු විසින් හිමිකරගනු ලැබුවා.

6. ලොරෙන්සෝ බෝර්ගීස් කුමරු

ඉතාලියේ ප්‍රධාන පෙළේ වංශාධිපති පවුලක් වන බෝර්ගීස් පවුලේ සාමාජිකයෙකු වන ලොරෙන්සෝ, වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටිනවා. සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්ව සිටින ඔහු තත්ත්වයෙන් උසස් ඉතාලි නිෂ්පාදන සඳහා ඇමරිකාව තුළ සාර්ථක වෙළඳපොළක් නිර්මාණය කිරීමට සමත් වුණා. මෙම කඩවසම් කුමරු විවිධ අවස්ථාවල රියැලිටි ටීවී තරඟ සඳහා දායකත්වය ලබාදීමෙන් එරට තුළ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා.

7. මටීන් කුමරු

වර්තමාන බෘනෙයි සුල්තාන්වරයාගේ හතරවැනි පුත්‍රයා වන මටීන් කුමරු සිය මූලික අධ්‍යාපනය තම මව්බිම තුළදී ලබාගත් අතර පසුව සැන්ඩ්හර්ස්ට්හි රාජකීය යුද ඇකඩමිය වෙත ඇතුළත් වුණා. එසේම මහා බ්‍රිතාන්‍යයේ ගත කළ කාලය තුළ තම උසස් අධ්‍යාපන කටයුතු ද නිම කළ ඔහු දක්ෂ ගුවන් යානා නියමුවෙකු ලෙස සැලකෙනවා. එසේම පෝලෝ ක්‍රීඩාවට දැඩි උනන්දුවක් දක්වන මටීන් කුමරු අවස්ථා කීපයකදීම ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා තම දායකත්වය ලබා ලබා දුන්නා.

Courtesy – Lifie.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button