ගොසිප් පුවත්තරු හුට පට

කෙනෙකුගේ හිතක් රිද්දන්න ලෝබයි

මාෂි සිරිවර්ධන ඇය දුටු පමණින්ම ඇගේ සුන්දරත්වය ගැන මම අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඇය ඒ තරමට සුන්දර ලස්සන යුවතියකි. රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම වෙළෙඳ දැන්වීම් ගණනාවකට පෙනී සිට ඇති ඇයට අපි ‘ලස්සන රහස් පිටුව’ සරසන්නට ආරාධනා කළෙමු. අද ලස්සන රහස් පිටුව බැබලෙන්නේ ඇගේ සුන්දරත්වයෙනි.

ඔච්චර ලස්සන වුණේ කොහොම ද?

“හැමෝම මාව දැක්කාම අහන්නේ ඔය ප්‍රශ්නේ. ඇත්තටම මට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන්නේ මගේ අම්මයි තාත්තයි ලස්සන නිසා මම ලස්සන වෙලා ඉපදෙන්න ඇති කියලා. එහෙම කිව්වාම සමහරු පිළිගන්නෙ නෑ. මම කියන්නේ ඇත්ත.”

ගොඩක් ලස්සන නිසා පුංචි කාලේ ඉඳලාම ලොකු වටිනාකමක් ලැබුණා කියලා හිතනවා ද?

“ඔව්, ඔව්… පුංචි කාලේදී මට මතකයි පාසලේදී මට හැමෝම කිව්වේ ‘බෝනික්කි’ කියලා. ලොකු පන්තිවලට එනකොට දකින අය කියන්න ගත්තා ප්‍රීටි සින්ටා වගේ කියලා. පුංචි කාලේ ඉඳලාම මේ වෙනකම්ම ලස්සන කියන වචන මාව දකින හැමෝගෙන්ම මම අහනවා. ඒ ගැන නම් ඉතින් සතුටුයි.”

ලස්සන නිසා ආඩම්බරයක් හිතට දැනිලා නැද්ද?

“තවම නම් එහෙම දැනිලා නෑ. මොහොතක් ගානේ වයසට යන ගඳ ගහන කුණු වෙන ශරීරයකට ආඩම්බර වෙන එක උදම් වෙන එක නම් අනුවණකමක් කියලයි මට නම් හිතෙන්නේ.”

ලස්සන කියන දේට වටිනාකමක් ලැබිලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවා ද?

“මෙහෙමයි මම හිතනවා ලස්සනටත් වඩා මේ ලෝකේ කෙනෙකුට තිබිය යුත්තේ බුද්ධිමත් බව. ගොඩක් ලස්සන නොවුණත් බුද්ධිමත්ව තීරණ අරන් තව කෙනකුට කරදරයක් නොවී විනයානුකූලව ජීවත් වෙන්න පුළුවන් නම් මතුපිටින් ගොඩක් ලස්සන නොවුණත් එවැනි කෙනකුට ලොකු වටිනාකමක් ලෝකයේ ගොඩනැගෙනවා.”

කාන්තාවක් විදිහට ඔබ හදවතින්ම ලස්සන වෙන්න මොනවා ද කරන්නේ?

“මනසින් උසස් මිනිසුන් විදිහට අනිත් අයට මෛත්‍රී කරන්න පුළුවන් නම් ධනාත්මක සිතිවිලිවලින් නිරතුරුවම ලෝකය දකින්න පුළුවන් නම් තව කෙනකුගේ හිතක් රිද්දන්න ලෝභකමක් දැනෙනවා නම් මම හිතනවා එය තමයි අපේ සුන්දරත්වය හදවතින්ම ආරක්ෂා කරන මෙවලම් වෙන්නේ කියලා.”

වර්තමානයේදී ඔබ ඔබේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න මොනවා ද කරන්නේ?

“ශරීරයට හිතකර කෑම ගන්න එකයි, වතුර ගොඩක් බොන එකයි, ව්‍යායාම කරන එකයි තමයි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඊට අමතරව මම හැම තිස්සේම ආහාරයට ගන්න උත්සාහ කරනවා ලෝකයේ තියෙන ගුණාත්මක බවෙන් වැඩිම කෑම.
ඒ වගේ කෑම පිටරටවල නම් ගාණ අඩුයි. ලංකාවේ වැඩිම මිලක් හිමි වන්නේ හොඳ කෑම බීමවලට නිසා හැමෝටම ගන්න අමාරුයි.

මම ඇඟ ගැන හිතලාම, හමේ පැහැය ලස්සනට තියා ගන්න ඕනේම කියලා හිතලාම ගන්න කෑම තමයි බ්‍රොකෝලි, ඇස්පරගස්, නිවිති, වට්ටක්කා ඇට, ආමන්ඩ්, රටකජු, ග්‍රීක් යෝගට්, බතල වගේ දේවල්. බේරිස් වර්ගත් හමට හරිම හිතකරයි. ඔය වගේ දේවල් මම හිතලාම ආහාරයට ගන්නවා. අනිත් දේ තමයි මම සීනි පාවිච්චි කරන්නෙ නෑ. මත්ද්‍රව්‍ය වගේම සීනි ශරීරයට අහිතකර නිසා මම තේ එකක් කිරි එකක් බිව්වත් පලතුරු යුෂ එකක් හැදුවත් සීනි එක්කරන්නේ නෑ.

සීනි වැඩිපුර ගන්නකොට හම ඉක්මනට වයසට යන්න රැලි ගැහෙන්න බලන නිසාත් වයසට යනකොට බෝ නොවන රෝග වගේ දේවල්වලින් ආරක්ෂා වෙන්න ඕන නිසාත් සීනි ගන්න පුරුද්දෙන් ඈත් වෙලා ඉන්නේ.”

ව්‍යායාම කරනවා ද?

“ඔව්, පුබුදු අයියාගෙයි මගෙයි ජීවිතේ කොටසක් තමයි ව්‍යායාම කරන එක. කොරෝනා ප්‍රශ්න නිසා දැන් ජිම් යන්න බෑනේ. ඒ නිසා වෝකින් පාත් එකකට ගිහින් කිලෝ මීටර් 6ක් විතර දවසකට ඇවිදිනවා.
පසුගිය ලොක්ඩවුන් කාලේදී එළියටවත් යන්න බැරි නිසා අපි දෙන්නාම ගෙදර යෝගා ව්‍යායාම කළා. ඇත්තටම යෝගා ව්‍යායාම කරන්න පුළුවන් නම් ඇඟත් කෙට්ටු වෙනවා. හමත් පාට වැටෙනවා. මූණත් ලස්සන වෙනවා.”

ආලේපන මොනවා ද ගල්වන්නේ?

“දවසකට මගෙන් මාව දකින ගොඩක් අය අහනවා ඉන්ජෙක්සන් ගහනවා ද පෙති බොනවා ද සුදු වෙන්න මොනවා හරි බොනවා ද ලස්සන වෙන්න කියලා. ඇත්තටම ඒ වගේ කිසිම දෙයක් නම් මම කරලා නෑ. මාසෙකට දවසක් සැලොන් එකකට ගිහින් ෆේෂල් එකක් දාගන්නවා. ඊට අමතරව කෑමට ගන්න හැම ගුණ පලතුරක්ම වගේ මූණේ ගාන පුරුද්දක් මට තියෙනවා.

මම කන්න කැමැති පලතුර තමයි ගස්ලබු. ගස්ලබු මූණේ ගාන එකත් මම නිරතුරුව කරනවා. මම හම්බ වෙන්න ඉන්නකොටත් අම්මා වැඩිපුරම කාලා තියෙන්නේ ගස්ලබු. ඊට අමතරව බෙලි, කෝමාරිකා වගේ දේවලුත් මූණේ ගානවා.”

කොණ්ඩය වෙනුවෙන් මොනවා ද කරන්නේ?

“ඉස්සර ඉඳලාම අම්මා තමයි තෙල් සාත්තු කරලා කොණ්ඩේ ලස්සනට තියාගන්න මට උදව් කරන්නේ.
නිවාඩු වෙලාවට ඔලිව් තෙල්වලට විටමින් E කරලක් දාලා රත් කරලා ඔළුවේ ගානවා. දැන්නම් මම ඔළුවට පාවිච්චි කරන්නේ සුදු පොල්තෙල්. සුදු පොල්තෙල් හිසකෙස්වලට ගොඩක් හොඳයි කියලා මුළු ලෝකයම පිළිගන්න කතාවක්.”

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?

“හදවතින් ගතිගුණවලින් වගේම මගේ ඇස් දෙකට මම දැකපු සුන්දරම ලස්සනම කාන්තාව තමයි මගේ අම්මා. ඇය තමයි මට මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා. ඩයනා කුමරියටත් මම ආසයි. ඇයට සමාන කළ හැකි රුවෙන් මෙන්ම ගුණයෙන් පොහොසත් අය තවමත් ලෝකයේ නැති තරම්.”

ඔබ ලස්සන නිසාම ද ක්‍ෂේත්‍රයට එන්නේ?

“මම හිතන්නේ ඔව්. මොකද අවුරුදු පහේදී තමයි මාව දැකලා කැලැන්ඩරයකට අරන් තිබුණේ. ඊට පසුව වෙළෙඳ දැන්වීම් දහයක විතර පුංචි කාලේ පෙනී ඉඳලා තියෙනවා. ළමා රංගන ශිල්පිනියක් ලෙසත් රඟපෑමේ නිරත වුණා. ඊට පසුව මා නැවත ක්‍ෂේත්‍රයට එන්නේ 2016 ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබුවාට පසුවයි.

මාව තවත් ප්‍රසිද්ධ වෙලා ගොඩක් ජනතාව හඳුනා ගත්තේ NSBM විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු කුමරි තරගයෙන් ජය ලැබීමත් සමඟ. මේ සියලු කරුණුවල එකතුවකින් තමයි අද මෙතන ඉන්නේ.
මේ වනවිට වෙළෙඳ දැන්වීම් 30කට වැඩි ප්‍රමාණයකයි, චිත්‍රපට හතරක පමණ රංගන දායකත්වයෙන් පෙනී සිට තිබෙනවා. රංගනය, අධ්‍යාපනය කරන ගමන්ම මම පුංචි ව්‍යාපාරයකුත් කරගෙන යනවා මාෂි කැෆේ කියලා.”

සුන්දරත්වය නිසා බොහෝ දුර පැමිණි ඔබට මොකද හිතෙන්නේ?

“මම බෞද්ධයෙක් විදිහට මම හිතන්නේ මම පෙර ආත්මවලදී කේන්ති නොගත් කෙනෙක් විදිහට ඉඳලා ඇති මේ ආත්මේ ලස්සන වෙලා උපදින්න කියලා. ඊට අමතරව ඉතින් හොඳ විදිහට අවංකව කාටත් කරදරයක් නොවී ජීවත්වෙන්න පුළුවන් නම් හදවතින්ම සියලු සත්වයන්ට මෛත්‍රී වඩවා ජීවත් වෙන්න පුළුවන් උසස් මනසක් ගොඩනගා ගත්තොත් මං හිතනවා ආයේ උපදින ආත්මවලදීත් යහපත් ආත්මයක් ලැබෙයි කියලා.
අපි කරන හොඳ නරකයි අපට නිරතුරුව ලැබෙන්නේ කියලා මං නිතරම විශ්වාස කරනවා.”

විලාසිතා කිරීමේදී සැලකිලිමත් ද?

“ඔව්. සැහැල්ලුව, චාම් බව, සරලකම අනුව තමයි මම කොයි තැනටත් ගැළැපෙන විදිහට ඇඳුම් තෝරගන්නේ. ගවුම්වලට මම ගොඩක් ආසයි.”

පුංචි කාලේදී දුවව ලස්සනට තියන්න අම්මා කරපු දේවල් එහෙම කියලා තියෙනවා ද?

“කියලා තියෙනවා, කියලා තියෙනවා. ඉපදෙනකොටත් ගොඩක් ලස්සන නිසා ඒ ලස්සන තවත් වැඩි කරගන්න මාස කිහිපයක් යනකොට ඔලිව් තෙල් ඇඟේ ගාලා තියෙනවලු. ඊට අමරතව අයිබ්‍රෝස්වල ඇස් පිහාටුවලත් ඔලිව් තෙල් ගානවාලු. ඊට අමතරව ඉතින් ඉපදුන දවසේ ඉඳලා මේ වෙනකම් හොඳම දේවල් කන්න බොන්න දීලා, මාව ලස්සනට තියන්න මාව නිරෝගීව තියන්න අම්මා නිතරම වෙහෙසෙනවා. තාත්තා ඉතාලියේ රැකියාව කළත් පුංචි කාලේ ඉඳලා ඉතාලි යනවා එනවා.

ඒ ගියාමත් ඉතින් හොඳම දේවල් කන්න බොන්න දෙන්නේ අපිව තවත් ලස්සන කරන්න ඕනේ කියලා. අම්මියි තාත්තායි දෙන්නාම නිසාම තමයි මම අද මෙහෙම ඉන්නේ කියලා හිතලා හැමදාම දෙන්නාට පින් දෙනවා.”

-අසුන්තා එදිරිසූරිය

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button