දේශීය පුවත්

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියල්ලන්ටම රු. 7,500ක මාසික විශේෂ දීමනාවක් – අගමැති

කොවිඩ් – 19 මර්දනය කිරීමේ කටයුතුවලට ඍජුවම සම්බන්ධවී සිටින සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම දෙනාට මාසිකව රුපියල් 7500ක විශේෂ දීමනාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14දා) දින රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අනුව කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කරමින් කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමට එහි අවදානමද ගෙන කටයුතු කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම දෙනාට මාසිකව රුපියල් 7500 බැගින් මෙම විශේෂ දීමනාව මාස 3ක කාලයකට ලබාදීමට නියමිතයි.

එම සෞඛ්‍ය අංශවල සියලුම දෙනා කරනු ලබන සේවාවන් අගය කිරීමක් සහ ඔවුන් තවත් දිරි ගැන්වීමේ අරමුණෙන් මෙවැනි විශේෂ දීමනාවක් එම සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල පිරිස් වෙත ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව රජයේ රෝහල්වල හෙද කාර්ය මණ්ඩලවලට විශ්‍රාම යා හැකි වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමද මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට පෙර හෙද කාර්ය මණ්ඩලවල විශ්‍රාම ගිය වයස වූයේ අවුරුදු 60ය.

මෙම යෝජනා දෙකටම අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබුණේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Courtesy – Mawbima 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button