විදෙස් පුවත්

පිලිප් කුමරු 100වැනි විය අභියස – හෘද රෝගී තත්ත්වයටත් සාර්ථක ප්‍රතිකාර

එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරුගේ කලින් පැවැති හෘද රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා තවදුරටත් ලන්ඩන් නගරයේ ශාන්ත බර්තෝලමියු රෝහලේ රඳවාගෙන සිටී. එඩින්බරෝහි අදිපාදවරයා ලෙසින් හැඳින්වෙන පිලිප් කුමරු, හදවත් සැත්කමකට පෙර කෙරෙන ප්‍රතිකාර මාලාවට සාර්ථකව මුහුණ දුන් බවත් බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

මේ වන විට 99 වැනි වියේ පසුවන පිලිප් කුමරු දින 16 ක කාලයක් තිස්සේ රෝහල්ගතව සිටී. පළමුවෙන්ම ඔහු ලන්ඩනයේ පිහිටි 7 වැනි එඩ්වඩ් රෝහලට ඇතුළත් කරන ලදි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එංගලන්තයේ පැරණිතම රෝහල වන ශාන්ත බර්තොලමියු රෝහලට ඇතුළත් කරන ලදි.

මීට පෙර, වසර 2011 දී, රජපවුල නත්තල් සැමරීමට සූදානම් වන අවස්ථාවේදී පපුවේ වේදනාවක් හේතුවෙන් පිලිප් කුමරුන් සැන්ඩ්රින්ග්හැම් මාළිගයේ සිට ගුවන් ගිලන් රථයකින් (හෙලිකොප්ටරයකින්) පැප්වර්ත් රෝහල කරා රැගෙන යන ලදි. එහිදි පිලිප් කුමරුන්ගේ ධමනියකට කෘතිම දැලක් (STENT) ඇතුළත් කරන ලදි.

පිලිප් කුමරු තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ. එළඹෙන ජුනි මාසයේදී පිලිප් කුමරුට අවුරුදු 100 සම්පූර්ණ වෙයි.

-බීබීසී වාර්තාවක් ඇසුරෙන් ලංකාදීප

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button