custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

“අපි වූහාන්වලට ලෑන්ඩ් කරන්න යනකොට ගුවන්තොටුපළින් කිව්වා රෝගියෙක් හමුවෙලා ගුවන්තොටුපල වැහුවා කියලා” – මෙරින් ඩ්‍රයිව්හි මඟ දෙපස චායි තේ රස බෙදන අපේ ගුවන් නිය­මුවා

custom_html_banner1
Spread the love

මොහොමඩ් සමීන් මට හමුවන්නේ මෙරින් ඩ්‍රයිව්හි චායි තේ විකුණන ජංගම වෙළෙඳ කුටියක දී ය. තේ විකුණන ජංගම කුටි කොළඹ වීදිවල ඕනෑ තරම්ය. මෙරින් ඩ්‍රයිව්හි ද එවැනි කුටි සුලබය. එහෙත් ‘චායි‘ තේ විකුණන මොහොමඩ් සමීන් විශේෂය. හේතුව ඔහු මෙරින් ඩ්‍රයිව්හි ජංගම තේ කුටියේ ව්‍යාපාරය පටන් ගන්නට පෙර ජාත්‍යන්තර ගුවන් සමගාමක ගුවන් නියමුවෙක් නිසාය.

මේ කියන්නේ කොවිඩ් ලෝකය වෙනස් කර ඇති තරමය. ඒත් ජීවිතයේ ඇත්ත ස්වරූපය අවබෝධ කරගත් මිනිසුන් බිඳ වැටෙන්නේ නැත. ඔවුහු ජීවත් වීම කලාවක් කරගෙන නිර්මාණශීලිව ඊට මුහුණදෙති. මෙරින් ඩ්‍රයිව්හි චායි තේ ව්‍යාපාරයට මුල්වන වියට්නාම් ගුවන් සේවයේ ගුවන් නියමු මොහොමඩ් සමීන් ඒ ජීවිතාභියෝගය විඳින අපූරුව ඔහුගේ සැහැල්ලු කතා බහෙන්ම පෙනුණි. ඔහු කතාබට එක්වන්නේත් ඒ සැහැල්ලුවෙන්ම

“ මගෙ ගම ගාල්ල ගිංතොට. ඉස්සරවෙලාම මම ගුවන් යානයකින් ගමන් කළේ ටජ්මහල බලන්න. සහරා එයා ලයින් එකේ ෆ්ලයිට් එකක. ඒ වෙනකොට මම ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයෙ පහේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා. ඒ ගමනෙදි තමයි මට හිතුණේ මම ගුවන් නියමුවෙක් වෙන්න ඕන කියලා. උසස් අධ්‍යාපනයට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ආවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ අමෙරිකාවේ ගුවන් පාසලක පාඨමාලා හදාරලා ගුවන් නියමු බලපත්‍රය ලබා ගෙන කටාර් එයාර්වේස් ගුවන් සමාගමේ රැකියාවට බැඳුණා. ඊට පස්සෙ තමයි වියට්නාම ගුවන් සේවයට ගුවන් නියමුවරයෙක් විදිහට සම්බන්ධ වෙන්නේ.“

“ඔබ ඔබේ ගුවන් නියමු වෘත්තියෙදි ලබපු අමතක නොවන අත්දැකීම මොනව ද?.“ මම විමසුවෙමි.

“ ප්‍රවාහන මාධ්‍ය අතර තිබෙන ඉතාම ආරක්ෂිතම මාධ්‍යය තමයි ගුවන් ගමන. ඒ තරම්ම ආරක්ෂිතයි. මගෙ සේවා කාලයෙ අමතක නොවන අත්දැකීම් දෙකක් තියනවා.

සාමාන්‍යයෙන් ගුවන් යානයක් ඔවුන් ලෑන්ඩ් කරන ගුවන්තොටුපළ වගේම තවත් ගුවන් තොටුපළකුත් හදිසි ගොඩබෑමක් සඳහා අමරතව සූදානම් කරගන්නවා. අපි ගිය ගුවන් ගමනක ගමනාන්තය වුණේ චීනයේ වූහාන් නගරයට නුදුරු නගරයක ගුවන්තොටුපළක්. ලෑන්ඩ් කරන්න යනකොට කාලගුණය හොඳ නෑ. අපි වූහාන්වලට ලෑන්ඩ් කරන්න යනකොට ගුවන්තොටුපළින් කිව්වා රෝගියෙක් හමුවෙලා ගුවන්තොටුපල වැහුවා කියලා. වෙනත් ගුවන්තොටුපළකට යානය ගොඩබැස්සුවම තමයි දැන ගත්තෙ ගුවන්තොටුපළ වැහුවෙ කොවිඩ් ආසාදිතයෙක් නිසා කියලා. ඒ දවස්වල ලෝකය කොවිඩ් ගැන දන්නෙ නෑ. කොහොමත් එදා අපි වූහාන්වලට යානය ගොඩබැස්සුවා නම් විශාල කරදර තොගයකට මුහුණ දෙන්න වෙනවා.

තවත් දවසක් යානය පදවන් යද්දි අඩි තිස්තුන්දාහක උඩකදි යානයේ නියමු කුටියේ වීදුරවක් කැඩුණා. මම වහාම තීන්දු කළා එය ළඟම ඇති ගුවන්තොටුපළකට ගොඩ බාන්න. එදා ඒ ගත් තීන්දුව මොනතරම් නිවැරදිද කියලා හිතුණේ වෙන්න ගිය අනතුරේ ස්වරූපය සිහි වෙද්දි.“

custom_html_banner1

ගුවන් නියමුවෙක් වූ මොහොමඩ් සමීන්ට චායි තේ විකුණන ව්‍යාපාරිකයකු වීමට දැනුණේ කෙසේ දැයි දැන ගැනීමට මහත් කුහුලක් ඇති වූයේය.

“ මුලින්ම අපිට වැටහීමක් තිබෙන්න ඕන ලෝකය යන්නෙ කොතෙන්ට ද කියලා. මිනිස්සු ඉදිරිපිට අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගයට මුහුණ දෙන ආකරය අනුව ලෝකයේ පැවැත්ම තීන්දු වෙනවා.

වියට්නාමයේ ගුවන් සේවයෙ ඉද්දි සති 3ක් රැකියාව කරන මට සතියක නිවාඩුවක් ලැබුණා. ඒ කාලයෙදී මම ලංකාවට එන්නේ මගෙ බිරිය හා දරුවන් සමඟ කාලය ගෙවන්න. පසුගිය වසරේ මාර්තු 16 දා වියට්නාමයේ සිට ලංකාවට ආවේ සුපුරුදු නිවාඩුවට. නැවත වියට්නාමයට යන්න නියමිතව තිබුණේ මාර්තු 23 දා. නමුත් කොවිඩ් වසංගතය ලෝකයට අගුළු දැම්මා. වියට්නාම කොමියුනිට්ස් පක්ෂය පිටරටින් පැමිණ සේවය කරන අයගේ සේවා තාවකාලිකව අත්හිට­ුවනු ලැබුවා. මට ලංකාවේ නවතින්න සිද්ධ වුණා. මේක අනපේක්ෂිත සිදුවීමක්.

ඒත් මේ කාලය තමයි මම මේ ව්‍යාපාරය සඳහා තෝරගත්තේ. බම්බලපිටිය  මෙරීන් ඩ්‍රයිව්හි පියාජියෝ ත්‍රිවිලරයේ චායි ටී ෂොප් එක ආරම්භ කළේ එහෙමයි. මේ ව්‍යාපාරය ත්‍රී විල් එකකට සීමා කරන්න හිතාගෙන නෙමෙයි පටන් ගත්තේ. ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න. ඊට පස්සෙ ජාත්‍යන්තර වෙළෙඳපළට අරන් යන්න.“

ඒ ඔහුගේ සැලසුමය. ඔහු කල්පනා කරන ආකාරය අපූරුය.

“ චායිවාලා කියන්නේ තේ හදන පුද්ගලයා කියන එකයි. අපේ යාළුවෝ 5 දෙනෙක් ඒ කාලේ ඉඳලා බිස්නස් එකක් ගැන හිතුවට ඒක පටන් ගන්න වෙලාවක් තිබුණේ නෑ. කොරෝනා නිසා ලැබුණු විවේකය අපේ සංකල්පය යථාර්ථයක් කරගන්න හැකි වුණා. අපි කල්පනා කළා පෝෂ්‍ය ගුණයෙන් යුක්ත නව තාලේ කිරි තේ එකක් හොඳ සේවාවකුත් එක්ක පහසු මිලට ලබා දෙන්න. වෙනස තියෙන්නේ මේ කිරි තේවලට එනසාල්, කුරුඳු පොතු, කරාබුනැටි වගේ කුළු බඩු මිශ්‍ර කිරීම. මේක ඉන්දියාවට ආවේණික ක්‍රමයක්. අපි තීරණය කළා අපේ දූපත් තේ රසයට ඉන්දියානු මසාලා එකතු කරලා අලුත් රසයක් ගේන්න. චායි ටී අත්හදා බැලුවේ එහෙම..“

“චායි තේවලට තියෙන ඉල්ලුම කොහොම ද?.“ අමීන්ගෙන් අසුවෙමි.

“මේ වසරේ මාර්තු 16 දින අපේ ජංගම අලෙවි රථය මෙරින් ඩ්‍රයිව් එකට දැම්මෙ. පළවෙනි දවසේ අපි බලාපොරොත්තු වුණේ චායි ටී කෝප්ප 200ක් විකුණන්න වුණත් කෝප්ප 1000ක් විකුණුවා. අපිට පුහුණු කරපු සේවකයො පස් දෙනක් හිටියා. එත් පස්දෙනාට ඒ වැඩ කොටස කරලා ඉවර කරන්න බැරිවූ නිසා තව 6 දෙනෙක් අලුතින් බඳවා ගන්නත් සිදු වුණා. දැන් අපට විශාල ඉල්ලුමක් තියනවා. ඊට හරියන සැපයුම් දෙන්න බෑ…“

සමීන්ගේ බිරිය ෂහොමා ඉක්‍රාම්ය. ඔහුට ඇගෙන් ලැබෙන පිටුහවල ගැන ඔහු කීවේය. ඉමාන්, සාලියා දරුවන් දෙදෙනා සමඟ දැන් සමීන් අලුත් ගමනකය.

“කොවිඩ් අවසන් වූ පසු ඔබ යළි ඔබේ වෘත්තියට යනව ද?.“

ඔහු බලාපොරොත්තු සහගතව උත්තර දුන්නේය. ඇත්තටම මේ මැයි මාසෙ මැද හරියෙ තමයි යන්න හිටියේ. වියට්නාමය කොවිඩ් හොඳින් පාලනය කළා. කොවිඩ් තුන්වන රැල්ල ඉන්දියාවට වගේම වියට්නාමයටත් දරුණු වුණත් ඔවුන් එයත් පාලනය කළා. රෙස්ටොරන්ට් පවා විවෘත කළා. නමුත් පිටරවලින් කිසිවෙක් ගෙන්නවා ගත්තෙ නෑ. ඔක්තොම්බර් වෙද්දි නැවත රැකියාවට යන්න හැකි වේවි යන බලාපොරොත්තුව තිබෙනවා.

ඒක කාලය විසින් තීරණය කරාවි. අභියෝගවලට ගැළපෙන ආකාරයට ජිවිතය හැඩගස්වාගන්න ආත්ම ශක්තියක් සහ පෞරුෂයක් මට තියනවා.

නිශානී හේරත් බන්නැහැක
රසඳුන

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button