custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

මම ආව මාවත මොනතරම් දුෂ්කර ද? ඒ හින්දා ම අදත් මම සරල ජීවිතයක් අපේක්ෂා කරන්නෙ නෑ -ලේ දහදිය කඳුළු මතින් ජීවිතය ඇමිණූ මාන්යා සිංහ්

custom_html_banner1
Spread the love

‘කළ නො හැකි දෙයක් ලොව නැත’. මේ කියමන සැබෑවක් කළ ඇය සුරූපී ඉන්දීය දියණිය මාන්යා සිංහ් ය. පසුගියදා ‘ෆෙමිනා මිස් ඉන්දියා 2020’ රනර් අප් කිරුළ ට හෙවත් අනුශූරතාවට හිමිකම් කියන්නට සමත් වූ ඇය ත්‍රීවිල් රථ රියැදුරකුගේ දියණියකි.

අද ඉන්දියාවේ රැව් දෙන්නෙන් කිරුළ දිනූ මනාසා වර්ණාසි ගැන නොවේ. මාන්යා සිංහ් ගැනය. එයට හේතුව ඇය දිරියෙන් ජීවිතය දිනූ යුවතියක් වන නිසාමය.

මිස් ඉන්දියා කිරුළ අරඹයා වසරකට තරග වදින සුරූපිනියෝ බොහෝය. ඒ වෙනුවෙන් කළ යුතු කැපවීම් ද බොහෝය. මාන්යා යනු සාමාන්‍ය පවුලක දියණියකි. අපි ඇගේ දිරිය කතාව කියවමු. හෙට දිනයේ ඔබට ද ඇයවන් දිරිය දියණියක් වන්නට අවස්ථාව ඇත.

අවුරුදු 14 දි නිවෙස අතහැර ආව මාන්යා අවුරුදු 19 දි මිස් ඉන්දියා කිරුළක් දිනාගැනීම සරල දෙයක් නොවේ.

“මම මිස් ඉන්දියා වීම ගැන සිහින දකින්නට පවා බිය වූ අයෙක්. මම වගේ කෙනෙක් කොහොමද ඒ වගේ විශාල සිහිනයක් දකින්නේ. ඒ ගැන හිතන කොටත් මගේ ඇස්වලට කඳුළු පිරුණා. මම වගේ කෙනෙක් කොහොමද මේ වගේ දෙයක් කරන්නෙ. නමුත් අද මම එය ඇත්තටම කළා. හීන දකින්න පවා බිය වූ දෙය අද ඇත්තටම සැබෑවක් වෙලා. මම එය කළා කියන සැනසීම දැන් මා සතුයි. මම මගේ මාපියන්ට ආඩම්බරයක් ගෙන දුන්නා. ඔවුන් අසීමිතව සතුටට පත් කළා.”

“එදා මගේ ජීවිතේ පහසු එකක් වුණේ නැහැ. ඒක කියන්න බැරිතරම්, පහදලා දෙන්න නොතේරෙන තරම් දුෂ්කරයි. මම දැක්කෙ ලස්සනට ජීවිතය විඳින, ලස්සන ඇඳුම් අඳින, රස කෑම කන, ඉගෙන ගන්න පාසල් යන ගෑනු ළමයි. අවුරුදු 14 දී මගේ වයසෙ ඉන්න ගැහැනු ළමයි සතුටින් ජීවිත ගත කරනවා. එයාලා පොත් අරගෙන බෑග්වල දාගෙන ඉස්කෝලෙ යනවා.

ඒත් මට ඒ දේවල් අහිමියි. ඉස්කෝලෙ යන්න පොත් ගන්න, ඇඳුම් ගන්න සල්ලි නෑ. මට ඒ වරප්‍රසාද නැති නිසාම ඔවුන්ගේ ජීවිතවලට මගේ ජීවිතේ සමාන නෑ කියලා තේරුම් ගත්තා. අධ්‍යාපනය කියන්නේ මූලික අවශ්‍යතාවක්. ඒත් මම වගේ හුඟාක් දෙනකුට ඒක අහිමියි.” මටයි, මල්ලිටයි එක වේලක් කන්න දෙන්න මගේ තාත්තා මොනතරම් දුකක් වින්ද ද?

custom_html_banner1

“4 පංතියෙ ඉඳලා මගේ පාසල් ගාස්තු, විභාග ගාස්තු ගෙවාගන්න මගේ මාපියන් නොසෑහෙන වෙහෙසක් ගත්තා. අපමණ දුකක් වින්දා. එක සැරයක් අම්මා සතුව තිබූ එකම රන් ආභරණයත් මගේ විභාග ගාස්තු ගෙවන්න විකිණුවා. එහෙම දිවියක් ගෙවන කෙනෙක් කොහොම නම් මිස් ඉන්දියා තරගයකට ඉදිරිපත් වෙන්න පුළුවන් ද?”

“මිස් ඉන්දියා කියන්නෙ මගේ ළමා කාලෙ හීනයක් නෙමේ. ඒ වගේම මට වෛද්‍යවරියක් හෝ ඉංජිනේරුවෙක් වගේ කෙනෙක් වෙන්න ඕනෙ වුණෙත් නෑ. ඒත් මට මගේ මාපියන් සතුටු කරන්න ඕනෙ වුණා. මම ආව මාවත මොනතරම් දුෂ්කර ද? ඒ හින්දා ම අදත් මම සරල ජීවිතයක් අපේක්ෂා කරන්නෙ නෑ. සමහරවිට ඉදිරියේ දී මීට වඩා ජීවිතේ දුෂ්කර වෙන්න පුළුවන්.”

“ජීවිතේ අරමුණු ඉටුකරගන්න නම් මම ඉන්න ගමේ ඉඳලා හරියන්නෙ නෑ කියලා මට දැනුණා. ඒ හින්දා අවුරුදු 14 දී මම ගෙදරින් පැනලා යන්න තීරණය කළා. ඒ දවස මට අදත් මතකයි. කාත්කවුරුවත් නැතිව තනියම පුංචි කෙල්ලක් පරණ ඇඳුම් දෙකතුනක් ෂොපිං බෑග් එකක දාගෙන ගොර්කාපූර්වල ඉඳලා මුම්බායිවලට දුම්රියෙන් ආවා.”

“දුම්රියෙන් බැස්සට පස්සෙ සෙනග පිරුණු නගරය දැකලා මට බය හිතුණා. ඒත් කිසිම කෙනෙක්ට මේ පුංචි කෙල්ල දිහා බලන්න තරම් වෙලාවක් ඒ මහා නගරෙ තිබුණෙ නෑ. අතට අහුවෙන දෙයක් කමින් මං නගරෙ පුරා ඇවිද්දා. මම වගේ ගෑනු ළමයි, පිරිමි ළමයි නගරෙ ඇවිදින එක බොහොම සුලබ දෙයක්. ඒ නිසා කවුරුවත් අපිව ගණන් ගන්නේ නැහැ.

“ගෙදරින් පැනලා ඇවිත් දවස් දෙකකට පස්සෙ මට ගෙදරට කතා කරන්න ඕනෙ වුණා. මම තාත්තාට කතා කළා. තාත්තා අඬන්න ගත්තා. “ගෑනු ළමයෙක් ගෙදරින් පැනලා ගියාම මිනිස්සු කතා හදනවා. එක එක කතා කියනවා. ඒක මේ උත්තර් ප්‍රදේශෙට විතරක් නෙමේ. කොයි පැත්තෙ මිනිස්සුත් එහෙම කියනවා.” මම ගැන ඔහු කණගාටු වුණා. ඒ අතරෙ අඬන තාත්තා මගෙන් ඇහුවා “හොඳයි ඔයා දැන් ඔහේ තනියම මොකද කරන්නෙ?” කියලා. ඒකට මම විවිධ උත්තර දුන්නා මතකයි. මොකද මට නිශ්චිත අරමුණක් තිබ්බෙත් නෑ. කරන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියෙත් නෑ. ඒත් මගේ හිත ඇතුළෙ ජීවිතේ දිනන්න ඕනේ කියන බලාපොරොත්තුව නම් නොනැසී තිබුණා.”

Courtesy – Tharunee 

01

 

02

 

03

 

04

 

 

05

 

06

 

 

07

 

08

 

09

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button