custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අප්පච්චිගෙන් පස්සේ මම වැඩිපුරම ආදරේ අපේ අගමැතිතුමාට

custom_html_banner1
Spread the love

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂිකා, චමිත්‍රි රඹුක්වැල්ල, ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණියයි. කොළඹ 07, කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකද වෙයි.

චමිත්‍රි කුඩා කාලේ ඉඳලා හැදෙන්නේ වැඩෙන්නේ දේශපාලන පරිසරයක. ඒක මොන වගේ අත්දැකීමක්ද?

මම තමයි අපේ ගෙදර වැඩිමහල් දියණිය. මට තව නංගිලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මල්ලි තමයි ගෙදර බාලයා. අපි පුංචිම කාලේ හැදුනේ වැඩුණේ නුවර. අප්පච්චි දේශපාලනයට එන්න කලින් ඔහුගේම ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. මම පුංචි වුණත් අප්පච්චි දේශපාලනයට එන්න කලින් අපි ගතකරපු කාලය ගැන මට හොඳට මතකයි. ඒ කාලේ අපිට තිබු‍ණේ බොහොම සාමාන්‍ය ජීවිතයක්. හැබැයි ඉතින් අප්පච්චි දේශපාලනයට ගියා කියලත් ඒක වෙනස් වුණේ නැහැ. ඒකට හේතුව අපේ අම්මා. අපේ පවුල දේශපාලනීකරණය කරන්න අම්මට ඕනේ වුණේ නැහැ. අප්පච්චිගේ දේශපාලනය අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. ඒත් අපි පවුලක් විදිහට හැමදාම මේ පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි අම්මා නිතරම කියන්නේ. ඒ වගේම අප්පච්චි වුණත් ගේ ඇතුළට දේශපාලනය අරගෙන ආවේ නැහැ. ඒ නිසා කියන්න තරම් විශේෂ අත්දැකීමක් ඒ තුළින් අපි වින්දේ නැහැ.

පොඩි කාලේ චමිත්‍රිට අම්මගෙන්, අප්පච්චිගෙන් සීමා වැටිලා නැද්ද?

පුංචි කාලේ අපි දඟ වැඩක් කළත් අම්මා නම් වෙලාවකට පොඩි කෝටුවකුත් අරගෙන පස්සෙන් එලවනවා. ඒ වෙලාවට අපි දුවගෙන ගිහිල්ලා හැංගෙන්නේ අප්පච්චි ගාව. අප්පච්චි කිසිම වෙලාවක අපිට පන්තියේ පළවෙනියා වෙන්න කියලා නැහැ. ඔහු කිව්වේ ඔයාලා දවසක පාර අතුගෑවත් ඒ වැඩේ උපරිමෙන්ම කැපවෙලා කරන්න කියන එකයි. ඒ ඇරෙන්න කිසිම වෙලාවක සීමා මායම් දාලා අපිව කොටු කරන්න අප්පච්චි උත්සාහ කළේ නැහැ.

අප්පච්චි දීලා තියෙන හොඳම උපදේශය මොකක්ද?

මගේ අප්පච්චිට තියෙන්නේ ටිකක් විතර සැර පෙනුමක්නේ. ඒත් ඔහුට කිසිම වෙලාවක තරහ යන්නේ නැහැ. ඉතින් ඔහු අපිටත් නිතරම කියන්නේ හිතට එන ත රහා පාලනය කරගන්න කියලා. ඒ වගේම ත රහා ගියාම කටට එන හැම වචනයක්ම ගිරවෙක් වගේ කියන්න එපා කියලත් ඔහු කියනවා. තරහක් ආව වෙලාවකට අපි කෙනෙක්ට කියන දේවල්වලට පස්සේ සමාව ගත්තත් ඒ කෙනාට ඒකෙන් දැනුණු සිත්තැවුල නැති වෙන්නේ නැහැනේ. ඉතින් තරහක් ආවොත් කොහොම හරි ඉවසගෙන ඉඳලා පස්සේ හිමින් සැරේ ඒ ප්‍රශ්නය ගැන කතාබහ කරලා විසඳගන්න කියන එක තමයි අප්පච්චි අපිට දීලා තියෙන හොඳම උපදේශය.

custom_html_banner1

ගෙදර අය එක්ක නුවර ජීවත් වුණ චමිත්‍රි පාසල් අධ්‍යාපනයට කොළඹට එනවා. ඊටපස්සේ තනියම ජීවත් වෙන්න අමාරු වුණේ නැද්ද?

ඇයි නැත්තේ? මාව කොළඹ 07 කාන්තා විද්‍යාලයට ඇතුළත් කරන්න අම්මයි අප්පච්චියි තීරණය කළ දවසෙ මම හොඳටම ඇඬුවා. පාසලට භාරදුන්න පළවෙනි දවසේ මටත් වඩා අප්පච්චි ඇඬුවා. මුලින්ම දුක හිතුණත් පස්සේ මම ඒ ජීවිතේට හුරු වුණා. හොස්ටල් එකට ආවට පස්සෙ හැම වැඩක්ම තනියම කරගන්නත්, ස්වාධීනව ජීවත් වෙන්නත් මම ඉගෙන ගත්තා

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

උසස් පෙළ විභාගයෙන් පස්සේ මට විදේශගතව උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් ලැබුණා. ඒත් මම ඒ ගමන යනවට අප්පච්චි වැඩිය කැමති වුනේ නැහැ. ඔය අතරේ නැවතත් මට ඒ වගේම අවස්ථාවක් ලැබුණා. ඒ සැරේ නම් මම කොහොමහරි අප්පච්චිගේ අවසරය අරගෙන ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන්න ගියා. ආපහු ලංකාවට ආවට පස්සේ රැකියාවක් කරන්න ඕනේ කියලා මට හිතුණා. පස්සේ මම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නාට්‍ය ගුරුවරියක් විදිහට කාලයක් සේවය කළා. ඊටපස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධ වුණා. ඒ අතර අවුරුදු තුනක් විතර ඇමෙරිකාවේ විදේශගතව සේවය කළා. පස්සේ ලංකාවට ඇවිල්ලා ඉන්නකොට ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් එතුමාගේ කාර්යාලයේ කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා මට කිව්වා. දැන් මම අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා.

ඔබ කුඩා කාලයේ ඉඳලා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ගේ ඇකයේ හැදුනු, වැඩුණු කෙනෙක්. දැන් එතුමා සමඟ වැඩ කරන එක මොන  වගේ අත්දැකීමක්ද?

අප්පච්චිගෙන් පස්සේ මම වැඩිපුරම ආදරේ අපේ අගමැතිතුමාට. එතුමාට බණින කෙනෙක් වුණත් එතුමාව හම්බවෙලා වචනයක් දෙකක් කතා කළත් ආයෙත් බණින්නේ නැහැ. ඔහු ඒ තරම් ගුණවන්ත පුද්ගලයෙක්. අපේ අතින් දෙයක් වැරදුණත් එතුමා ඒකාට කෑගහලා බණින කෙනෙක් එහෙම නෙමෙයි. දුව, පුතා මේක මේ විදිහට වෙනස් වුණොත් හොඳයි නේද කියලා හිත නොරිදෙන විදිහට ඒක කියලා දෙනවා. කලාතුරකින් හරි කාටහරි බැණ්නයි කියලා හිතමුකෝ. ඊටපස්සේ බැණලා විනාඩි කිහිපයක් ගියාට පස්සේ අර දරුවට මාත් එක්ක කෑම ටිකක් කන්න එන්න කියන්න කියලා කියනවා. මට විතරක් නෙමෙයි මේ කාරණා හැමෝටම පොදුයි. එතුමා එක්ක එකට වැඩ කරන්න ලැබීම ඇත්තටම මගේ වාසනාවක්.

එතුමාගෙන් ලැබුණු හොඳම උපදේශය ගැනත් මතක් කරමු?

උපදේශ නම් ගොඩක් දෙනවා. හැබැයි දැන් කවදද බඳින්නේ කියන එක තමයි මාව දකින දකින හැමවෙලේම මගෙන් අහන්නේ. තව එතුමා හැමවෙලේම කියන දෙයක් තමයි හැමවෙලේම ඉවසන්න පුරුදු වෙන්න කියන එක. රජයේ සේවකයෙක්, එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක් සමාජයට මොන සේවය කළත් ඔවුන්ගේ අතින් සුළු හෝ අතපසුවීමක් වුණොත් සමාජයෙන් එල්ලවෙන ඇණුම් බැණුම් නම් සුළුපටු නැහැ. ඉතින් මේවා පෞද්ගලිකව ගන්නේ නැතුව රට ගැන හිතලා රටට සේවයක් කරන්න කියලා තමයි එතුමා අපිට කියන්නේ.

චමිත්‍රි නිහතමානීකම කාන්තාවකට ආභරණයක් කියලා හිතන කෙනෙක්ද?

ඇත්තටම නිහතමානීකම කාන්තාවකට නෙවෙයි මනුෂ්‍යයෙකුට ආභරණයක්. අපේ තත්ත්වය, තරාතිරම මොකක් වුණත් තවත් මනුෂ්‍යයෙක් එක්ක කට පුරා හිනාවුණා කියලා වචනයක් දෙකක් කතා කළා කියලා අපෙන් මුදලක් වැයවෙන්නේ නැහැනේ. යුරෝපීය රටවල බොහෝදෙනා ආගන්තුක කෙනෙකුට වුණත් සුබ උදෑසනක්, ස්තූතියි, සමාවෙන්න වගේ ඉතාම ආචාරශීලී වචන භාවිතා කරනවා. හැබැයි ලංකාවේ අපි අතර මේ වචන හුවමාරු වෙන්නේ හරිම අඩුවෙන්. කෙනෙක් උදව්වක් කළාම ස්තූතියි කියන එක, සුළු වරදක් වුණත් සමාවෙන්න කියන එක මදිපුංචිකමක් නෙමෙයි.

ආදරය ගැන මොකද හිතෙන්නේ?

මම නම් ආදරය කියලා කියන්නේ කැපකිරීමට. සැබෑ ආදරය කියන වචනයට නම් මම ටිකක් අකමැතියි. ‘සැබෑ’ කියන වචනය ආදරය ඉස්සරහින් දාන්න ඕනේ නෑ. මොකද ආදරේ කියන්නෙම සැබෑ දෙයක්. බො රු ආදරේ කියලා දෙයක් මේ ලෝකේ නැහැනේ.

චමිත්‍රි ළඟදි නැන්දා කෙනෙක් වුණා නේද? ඒ සතුට දැනෙන්නේ කොහොමද?

ඇත්තටම නැන්දා කෙනෙක් වෙච්ච එක තමයි මම මගේ ජීවිතේ විඳපු සතුටුදායකම හැඟීම. මගේ මල්ලි රමිත් රඹුක්වැල්ල, හැමදාම අපේ පවුල වෙනුවෙන් දේවල් කළ කෙනෙක්. හැබැයි මල්ලියි, එයා විවාහ වෙච්ච නංගියි අපිට තෑගි කරපු මේ ‘ආර්යා’ පුංචි දෝණි ඒ කිසිම දේකට සම කරන්න බැහැ. අප්පච්චි, මම වගේම මගේ නංගිලා දෙන්නත් වැඩත් එක්ක ගොඩක් කාර්යබහුලයි. හැබැයි මේ දවස්වල අපි හැමෝම කොහොමින් කොහොමහරි වෙලාව හොයාගෙන නිතරම වගේ මල්ලිගෙ ගෙදර යනවා. දැන් අපිට පුංචි දෝණිව නොබල ඉන්නම බැරිවීම තමයි ඒකට හේතුව.

ඉදිරියේදී දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?

මට ලෝකේ වෙන කිසිම තැනකදි මගේ රටේදි දැනෙන ජාතිකාභිමානී හැඟීම දැනෙන්නේ නැහැ. ඒ නිසා අපේ රට රැකගන්න අපි හැමවෙලේම කැපවෙන්න ඕනේ. මම මගේ රට වෙනුවෙන් දෙයක් කරන්න කැමතියි. හැබැයි ඒකට දේශපාලනයට එන්නම ඕනේ කියලත් මම කියන්නේ නැහැ. දේශපාලන අංශයෙන් හෝ වෙනත් මොනයම් අංශයකින් හෝ රට වෙනුවෙන් මට පුළුවන් දේ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් කාන්තාවන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

මම ස්ත්‍රීවාදය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම හිතන විදිහට ස්ත්‍රී අපිට වෙනම අනන්‍යතාවයක් තියෙනවා. ට්‍රෙන්ඩ් එකට යන ගමන් පිරිමින්ගෙන් සම තැන ඉල්ලනවට වඩා අපිට කරන්න වැඩ තියෙනවා. අපේ රටේ කාන්තාවන් දේශපාලනයට එනවා හරි අඩුයි. සමහර තැන්වලදී මෙතන කාන්තා නියෝජනය වැඩි වුණා නම් හොඳයි නේද කියලා මට ප ෞද්ගලිකව හිතිලා තියෙනවා. ඉතින් කාන්තාවන් මේ වගේ දේවල් ගැන හිතනවා නම් හොඳයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
ධරණී 

01

02

03

04

05

06

07

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button