custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මම කටකතාවල වරදක් දකින්නේ නැහැ – පෙම්වතෙක් වෙන්න වයසක් බලපාන්නේ නැහැනේ

custom_html_banner1
Spread the love

මේ දවස්වල කෙරෙන ඔබේ අනෙක් රංගන කටයුතු ගැනත් කියමු?

හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පණ්ඩු” ටෙලිනාට්‍යයේ උත්තිය කුමාරයාගේ චරිතය මම නිරූපණය කරනවා. එම නාළිකාවෙන්ම විකාශය කෙරෙන “අහස් මාළිගා” ටෙලිනාට්‍යයේ මන්ත්‍රීවරයෙක්ගේ චරිතය නිරූපණය කරනවා.

රොෂාන් දැන් පෙම්වතාගේ චරිතයට සමුදීලා නේද?

එහෙම එකක් නැහැ. මම ඉස්සර ඉඳලාම හැම චරිතයක්ම වගේ කරල තියනවා. අවුරුදු විසිපහකට කලිනුත් මම මත්‍ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ගේ චරිතයක් කරලා තියෙනවා. ධර්මසේන පතිරාජ මහත්මයාගේ ටෙලිනාට්‍යයක අවුරුදු දහඅටේ ඉඳලා අවුරුදු අසූව දක්වා යන චරිතයක් නිරූපණය කරලා තියෙනවා. එහෙම විවිධ චරිත ඉස්සර ඉඳලා රඟපාපු අවස්ථා ගොඩක් තියෙනවා.

කොහොමද නොකඩවා මේ ජනප්‍රියත්වය සහ ආකර්ෂණය පවත්වාගන්නේ?

ඒක එහෙම හිතලා කරන දෙයක් නෙමෙයි. මම ලැබෙන චරිතවලට උපරිමයක් ඉෂ්ට කරන්න නිතරම මහන්සි වෙනවා. විවිධාකාර චරිත නිරූපණය කරන්නත් මට ලැබිලා තියෙනවා. ඒක ලොකු භාග්‍යයක්. මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ “ගොළු හදවත” ටෙලිනාට්‍යයෙන්. එතකොට මම පාසල් යන තරුණයෙක්. ඊට පස්සේ දිගින් දිගටම ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණවල විවිධාකාර චරිත රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

රොෂාන් පිලපිටියට වැඩිපුර ලැබිලා තියෙන්නේ කොයි විදිහේ චරිත අත්දැකීම්ද?

custom_html_banner1

එහෙම කියලා වර්ග කරන්න බැහැ. එක කාලයක් එක දිගට පෙම්වතාගේ චරිතය රඟපෑවා. පෙම්වතෙක් වෙන්න වයසක් බලපාන්නේ නැහැ. නමුත් අපේ රටේ සංස්කෘතියත් එක්කනේ කලා නිර්මාණ හැදෙන්නේ. ඒ නිසා යම් කාලයක එතනින් බැහැර වෙලා අනෙක් චරිත මම රඟපෑවා.

රොෂාන්ගේ රංගන ජීවිතයට අම්මාත් (මල්ලිකා පිලපිටිය) හේතුවක් වෙන්නැති?

අම්මා රඟපෑවේ විවාහ වෙන්න කලින්. ඊටපස්සේ අම්මා රඟපෑම අතහැරියා. මම ක්ෂේත්‍රයට ආවේ අම්මාගේ හැඳුනුම්කමක් මත නෙමෙයි. මගේ ගම හඟුරන්කෙත. මම ක්ෂේත්‍රයට ආවේ වේදිකා නාට්‍ය හරහා. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබුණේ අහම්බයකින්. රංගන ශිල්පියෙක් වෙන්න වුවමනාවක් මට කවදාවත් තිබුණේ නැහැ. ඒත් මම රංගන ගමන පටන්ගත්තාට පස්සේ අම්මා නිතරම මගේ දේවල්වලට මට සහයෝගය ලබාදුන්නා.

නළුවෙක් නොවුණා නම් රොෂාන් කවුරු වෙයිද?

අපිට ඒ කාලේ එහෙම අනාගතයක් ගැන හිතන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි රටේ තිබුණේ. 1988 – 89 වසරවල. ඒක තරුණයෝ පාරවල් අයිනේ පිච්චුණු කාලයක්. අපිට නිතරම දැනුණේ ජීවිතේ අවිනිශ්චිතකම. මම ඒ කාලේ සංගීත කණ්ඩායමක වැඩ කළා ගායකයෙක් විදිහට මුදල් හම්බ කරන්න. මේ කාලේ ජීවිතයට වගේම කලාව පිළිබඳවත් නිශ්චිත කාලයක්. ඒත් රටකට එහෙම වෙන්න හේතුව ගැන අපේ මිතුරන් අතර නිතර සාකච්ඡා තිබුණා. ඒ කාලයේ අපිට අනාගතය ගැන බලාපොරොත්තු තිබුණේ නැහැ.

භීෂණ සමයෙන් පසුව කඩාගෙන වැටුණු කලාව ගොඩනැඟුණු විදිහ ගැන කතා කරමු?

කලාව කියන එක යම් යම් කාලවල රටේ තත්ත්වයන් සමඟ තරුණයන්ගේ තිබුණු බලාපොරොත්තු සහ ආදරය සමඟ ඇදගෙන යන එකක් වෙලා. ඒක ඇම්මට, උණට කරගෙන යන වැඩක් වෙලා. ඒ කාලේ එහෙම විශේෂයෙන් කියලා ගොඩනැඟුණේ නැහැ. ඒකට හොඳම උදාහරණය මේ කාලය. මේ වගේ වසංගත කාලයකත් කලාවට තියෙන ආදරයට කලාව කරගෙන යන මිනිස්සු ඉන්නවා. ඒ වගේම ඒ කාලෙත් එහෙම ලොකු ගොඩනැඟීමක් පිබිදීමක් වුණේ නැහැ. වෙනත් රටවල වගේ කලාවට ප්‍රතිපත්ති අපේ රටේ නැහැනේ. ඒ නිසා මේ කාලේ වගේම ඒ කාලෙත් කලාවට අනුග්‍රහයක් ලැබුණේ අවම මට්ටමෙන්. ඒ පරම්පරාවත් මේක හිතේ හයියට ඇදගෙන ආවා.

ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක්ද?

දැන් වසර විසිපහක්.

ඒ වසර විසිපහ දිහා නැවත හැරිලා බැලුවොත්?

ඇත්තටම සතුටුවෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. මගේ ජීවිතේ කිසිම දෙයක් මම අසුබවාදී විදිහට දකින්නෙ නැහැ. මම කවදාවත් කිසිම දෙයකට දුක් වෙන්නේ නැහැ. මට ලැබෙන දේ තුළින් මම සතුටු වෙනවා. මම මගේ ජීවිතයට නීති දාගෙන නැහැ. මේ ගමන ආවේ හෙමින් සීරුවේ. ඒ නිසාම ආපු ගමන ගැන සතුටුයි.

සිනමාව තුළ මීට වඩා යමක් කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

මම එහෙම හිතන්නේ නැහැ. සිනමාවේ චරිත අපි හැමෝම අතරේ බෙදිලා යන්නේ. ලංකාවේ සිනමාව ගත්තොත් අවුරුද්දකට චිත්‍රපට කීපයයි හැදෙන්නේ. කාලෙන් කාලෙට එක එක දහරාවන්වල චිත්‍රපටි හැදෙනවා. මමත් චිත්‍රපට ගණනාවක වැඩ කරලා තියෙනවා. රඟපාපු චිත්‍රපට ඉදිරියේදී තව එන්නත් තියෙනවා. මම හිතන්නේ නැහැ මේකේ මමම ඉන්න ඕනේ කියලා. කලාකාරයෙක් විදිහට මම මැරෙන්න ඕනේ කියලාවත් මම හිතන්නේ නැහැ. මේක නැතිනම් මම වෙන රස්සාවක් කරනවා. මගේ ජීවිතේ කිසිම දෙයක් මෙසේ විය යුතුයි කියලා නැහැ.

ඒ කියන්නේ ඔබ වෘත්තිමය කලාකරුවෙක් නෙමෙයි?

නැහැ. වෘත්තිමය කියන කාරණාව හැදෙන්නේ කලාවට අපි ලබාදෙන කාලය සහ දායකත්වය අනුව. කලාව කියන එක වෘත්තියක් නම් කාටද වෘත්තීමය කලාකාරයෙක් කියන්න පුළුවන්? අපේ වෘත්තිය කොහෙවත් ලේඛනගත වෙලා නැහැ. අපි පාර පනිනකොට හැප්පිලා මැරුණත් මගේ පවුලේ අයට ලැබෙන දෙයක් නැහැ. මමත් වෘත්තියක් විදිහට කලාව කරන කෙනෙක්. කලාවට වෘත්තිමය භාවයක් හැදුණු දවසට මේක වෘත්තිමය කලාකරුවෙක් කියලා ඇත්තටම කියන්න පුළුවන්. රංගනය විතරක් නෙමෙයි සමස්ත කලාව මේකට අදාළයි. පෙරහැරේ නටන නර්තන ශිල්පියාගේ ඉඳලා චිත්‍ර මූර්ති ශිල්පීන් මේ හැමෝගෙම කලාවට වෘත්තිමයභාවයක් තියෙන්න ඕනේ.

රොෂාන් පිලපිටිය කියන ගායකයා කෝ?

මම විදේශ රටවල ප්‍රසංගවලට ගීත ගායනා කරනවා. ඒත් කොරෝනා වසංගතය නිසා මෑතකදී එහෙම ප්‍රසංග පැවැත්වුණේ නැහැ කිසිම රටක. මම මුල් කාලයේදී මගේම ගීත තුනක් කළා. ඊටපස්සේ ඒක වෘත්තියක් විදිහට කරගෙන යන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒක විනෝදාංශයක් විතරයි.

ජනප්‍රිය කෙනෙක්ගේ ජීවිතයේ පෞද්ගලික වශයෙන් වන විවිධ හැලහැප්පීම් සාමාන්‍ය කෙනෙක්ට වඩා ජනතාව අතරට යනවා. ඔබත් ඒ අත්දැකීමට මුහුණ දුන්නා?

ඇත්තටම මම ජීවිතේ වෙන කිසිම දෙයක් ඕනාවට වඩා ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. මම හරි දේ හරි විදිහට දකින්න පුරුදු වෙලා ඉන්නවා. මම දන්නවා නම් මම කරන්නේ හරි දෙයක් කියලා වෙන හැමදේම සතුටින් බාරගන්නවා. මම දැන් සතුටින් ජීවත් වෙනවා. මට දැන් හොඳ බිරිඳක් දරුවෙක් ඉන්නවා. ඒත් මගේ ජීවිතේ හැම දෙයක්ම මම උපේක්ෂාසහගතව සතුටින් බාරගන්නවා. මට පසුතැවීමක් නැහැ.

රොෂාන් සම්බන්ධයෙන් හැදුණු කටකතාවලට තටු ආපු කාලයක් තිබුණා?

කටකතා කියන එකේම තේරුම කිසිම පදනමක් නැතුව හැදුණු කතා කියන එකනේ. කටකතා මුළු ලෝකේම තියෙනවා. මුළු ලෝකේම ගොසිප් සයිට් තියෙනවා. ඒක ජනප්‍රිය මාධ්‍යයක්. මම ඒකේ වරදක් දකින්නේ නැහැ. මම ඒක මගේ දෙයක් කරගන්නේ නැහැ. මගේ දෙයක් වුණාම තමයි පසුතැවීමක් ඇති වෙන්නේ.

කලා ක්ෂේත්‍රයේ හොඳම යාළුවෙක් ඉන්නවාද?

මිත්‍රයින් ඉන්නවා. ක්ෂේත්‍රයේ හැමෝම මගෙ මිත්‍රයෝ. මිත්‍ර සමාගම්වලට වඩා මම ගොඩක්ම ප්‍රිය කරන්නේ ගෙදරට වෙලා ඉන්න. බිරිඳ සහ දරුවා එක්ක කාලය ගත කරන්න තමයි කැමැති.

රොෂාන් දැන් හුරතල් පුතෙක්ගේ තාත්තා කෙනෙක්?

මගේ බිරිඳ රිද්මා පිලපිටිය, පුතා රාහූල් පිලපිටිය. පුතාට දැන් අවුරුද්දයි මාස අටක් වෙනවා. බිරිඳගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා හැම වැඩකටම. එයා මගේ ජීවිතේ ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්.

රංගනයට අවතීර්ණය වුණු තරුණ පරම්පරාවට මොකක්ද කියන්න තියෙන්නේ?

දැන් අපිට පස්සේ පරම්පරාවල් දෙකක විතර තරුණයෝ ක්ෂේත්‍රයට ඇවිත්. තවත් තරුණ පිරිසක් හැදෙමින් පවතිනවා. ඒ අයට මට කියන්න තියෙන ප්‍රධාන දේ කරන දේ හරියට කරන්න කියන එක. රංගනය කියන්නේ සියයට සියයක්ම කැපවෙන්න ඕනේ වෘත්තියක්. අනිවාර්යයෙන්ම ඒ කැපවීම තියෙන්න ඕනේ. ඒ කැපවීම එක්ක ඉදිරියට යනවා නම් ගමන සුබයි.

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

ටෙලිනාට්‍ය කීපයක් සහ චිත්‍රපට කීපයක් භාරගත්තා. ඒවායේ රූගත කිරීම් කටයුතු ඉදිරියේදී ආරම්භ කරයි. ඒ වගේම කලින් කරපු චිත්‍රපට කීපයක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. සුනිල් ආරියරත්න මහත්මයාගේ කදිර දිව්‍යරාජයා, දේවින්ද කෝන්ගහගේගේ ගිරිවැසිපුර, මිෂෙල් ෆොන්සේකාගේ නිම්හිම් කියලා ඇතුළු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම මේ වසංගත තත්ත්ව අවම වුණොත් වේදිකා නාට්‍යත් නැවත පටන්ගනීවි. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ සුදු සහ කළු වේදිකා නාට්‍යය, අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕනේ වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ ජීවිතේ ලොකු ඉලක්ක නැහැ. ලොකු බලාපොරොත්තු නැහැ. මොකද ලොකු බලාපොරොත්තු ගොඩනඟාගෙන ඒවාට ඉටු කරගන්න බැරි වුණොත් කලකිරෙනවා. සතුටින් ඉන්න එක තමයි මගේ ප්‍රධාන දේ.

නිර්මාණි බණ්ඩාරනායක
සරසව්ය

01

02

03

04

05

06

07

08

09

10

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button