custom_html_banner1
ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්විශේෂාංග

“මගේ රැකියාව බස් රථ රියදුරෙක් කියලා කියන්න මමවත් මගේ පවුලේ අයවත් ලැජ්ජා වෙන්නේ නැහැ..” – ක්‍රිකට් නිසා කලකිරී ඕස්ට්‍රේලියාවට ගිය තුන් ඉරියව් ක්‍රීඩක චින්තක කියයි

custom_html_banner1
Spread the love

“මම කිහිප වතාවක් උත්සහ ගත්තා ඔවුන්ව අමතා ඒ ගැන අහන්න, නමුත් කතා කළේ නැහැ..”

කාලෙන් කාලෙට එක එක විදිහට දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙනවා. ඒ විදිහට පන්දුවාර විස්සයි විස්ස තරඟ සඳහා 2009 වර්ෂයේ ජාතික කණ්ඩායමට තරුණයෙක් එකතු වෙනවා. ඒ දකුණත් පිතිකරුවෙක් වගේම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට. ඔහුට ජාතික කණ්ඩායමේ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර පිටිය වර්ණවත් කරන්න අවස්ථාව ලැබෙන්නේ වසර දෙකක් වගේ කෙටි කාලයක්. ඒ තමයි චින්තක උමේෂ් ජයසිංහ. මව්බිමේදී දක්ෂතා දක්වන්න ඔහුට අවස්ථාව අහිමි වෙන නිසාම ඔහු විදෙස් ගත වෙනවා. පසුගිය කාලයේ ඔහුගේ නම යළිත් මතු වුණා ඒ ලෙජන්ඩ් ක්‍රිකට් එක්ක. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න චින්තක එක්ක මේ විදිහට අපි කතා කරන්න හිතුවා. එහේ බස් රථ රියදුරෙක් හැටියට ලොකු වැටුපක් ගන්න චින්තක ගැන විස්තර ඔහු අපට කිව්වේ මෙහෙමයි.

චින්තක කොහොමද ජිවිතේ..?

හොඳින් ජිවත් වෙනවා, සතුටින්. මෙහෙ ජිවිතේ ඉතිං කාර්යබහුලයි. මම දවස් හයක් මෙහේ රැකියාව කරනවා. පවුල් ජිවිතේ සාර්ථකව ගෙනියන්න නම් මට ඒ කැප කිරීම කරන්න වෙනවා. මොකද ලෝන් ගෙවන්න තියෙනවා , අනෙකුත් ගෙවීම් තියෙනවා . ලනකවේ වගේ නෙමෙයි ඒවා වෙලාවට ගෙවන්න ඕන . හේතු කියන්න බැහැ . ඒ නිසා වැඩකරන දවස් එකක්වත් අඩු කරොත් මාසේ අන්තිමට අතට එන මුදලත් අඩු වෙනවා . ඒ නිසා රැකියාවට මුල්තැන දීලා වැඩ කරනවා .ඒ වගේම කොතරම් කාර්යබහුල වුණත් දරුවෝ හා බිරිඳ එක්ක සතුටින් ජිවත් වෙනවා.

ඔබ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්නේ 2009 වර්ෂයේ, ඒ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට. අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තමයි ඔබ ජාතික කණ්ඩායමේ හිටියේ, ඒකට හේතුව..?

මම ජාතික කණ්ඩායම අවුරුදු දෙකක් නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ කිහිපයක් ක්‍රීඩා කළා. ඒ පන්දුවාර විස්සයි විස්ස තරඟ. 2010 වර්ෂයේ පන්දු වර විස්සයි විස්ස ලෝක කුසලානය පවා මම නියෝජනය කළා. මට ලැබුණු තරඟ මම උපරිම ලෙස ක්‍රීඩා කරමින් මගේ දක්ෂතා පෙන්නුවා කියලා මම හිතනවා. මට දුන්නු චාන්ස් එක මම පාවිච්චි කළා. නමුත් කණ්ඩායමෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණේ මගේ වරදකින් නෙමෙයි. මම හිතනවා එයට දේශපාලන බලපෑම් තිබ්බා කියලා.

ඔබ තේරීම් කමිටුවෙන් හෝ ක්‍රිකට් කළමනාකාරිත්වයෙන් ඒ ගැන විමසීමක් නොකරම ක්‍රීඩාවට සමුදුන්නාද..?

මම ක්‍රිකට් ආයතනයේ ඉහල කළමනාකාරිත්වයට කතා කරලා ඇහුවා ඇයි මම දක්ෂතා අතරේ ඉද්දි මාව කණ්ඩායමෙන් කපා හරියේ කියලා. එවකට හිටපු සභාපතිතුමා මට කිව්වා මම ක්‍රිකට් තේරීම් කමිටුවෙන් විමසීමක් කරලා ඒ ගැන දැනුම් දෙන්නම් කියලා. නමුත් මට කිසිම විදිහකින් දැනුම් දීමක් කළේ නැහැ. මම කිහිප වතාවක් උත්සහ ගත්තා ඔවුන්ව අමතා ඒ ගැන අහන්න. ඒ කවුරුවත් මට ඇහුම්කන් දුන්නෙවත් මගේ සම්බන්ධ වුණේවත් නැහැ. ඒ නිසා මම හිතුවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගහන එක තේරුමක් නැහැ කියලා.

custom_html_banner1

ඒ නිසාද පවුල පිටින් විදෙස් ගත වෙන්නේ..? එහෙම නැත්තම් හිතේ කලකිරිමටද..?

කළකිරීමක් වගේම හිතේ ලොකු මානසික පීඩනයක් ඇතිවුණා. ඇයි මෙහෙම කරන්නේ කියලා. ඒ මානසික පීඩනයෙන් ඉවත් වෙන්න හොඳම දේ තමයි විදෙස් ගත වීම කියලා මම තීරණය කළා. මම මාස පහකට තමයි ඕස්ට්‍රේලියාවට එන්නේ. මගේ පවුලේ අයත් එක්ක. ඒ ඉන්න අතරේ දරුවෝ පාසල් වලට දැම්මා. මට දුවලා දෙන්නෙක් ඉන්නේ. ලොකු දුවගේ වයස දැන් 16යි. නම දෙව්මි. අනිත් දුවගේ වයස 12යි. එයා ඔශ්මි. මගේ බිරිඳ ජීවා. අපි මෙහෙ ඇවිත් සතුටින් ජිවිතේ ගෙවනවා. ඉස්සර තිබ්බ කලකිරීම් දුක දැන් නැහැ. ටික කාලයක් ගියාට පස්සේ ඉබේටම හිත හදුනා. ඒ වගේම ටික දවසක් ඉන්නකොට මගේ ජාත්‍යන්තර තරඟ නියෝජන හා සුදුසුකම් එක්ක මට ඕස්ට්‍රේලියාවේ පදිංචියට අයදුම් කරන්න පුළුවන් වුනා. ඒ විදිහට තමයි අපි මෙහෙ 2012 වර්ෂයේ ඉදලා මෙහෙ ඉන්නේ.

ඔබට එක්දින තරග සඳහාවත් අවස්ථාවක් හිමි වුනේ නැහැ..?

මගේ ක්‍රීඩා රටාවත් එක්ක ටෙස්ට් ක්‍රීඩා කරන්න අපහසු වුනත් මට පහසුවෙන්ම එක්දින තරඟ සඳහා අවස්ථාව දෙන්න තිබ්බා. නමුත් මට ඒකටත් අවස්ථාව දුන්නේ නැහැ. ඒ හැමදේකටම හේතුව දේශපාලනය කියලා මම හිතනවා. ඒක තමයි ඇත්ත.

ඔබේ හිඩැස පිරෙව්වේ කවුද..?

මැතිව්ස් වගේම තිසර පෙරේරා තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්න හිටපු නිසා කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබ්බේ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ නිසයි මාව ජාතික කණ්ඩායමට කැදෙව්වේ. මගෙන් පස්සේ දුන්නේ ඉසුරු උදානට අවස්ථාව. එයත් දක්ෂයෙක්. නමුත් ඔහුත් මෑතකදී තමයි යළිත් කණ්ඩායමට කැදෙව්වේ. මොනවා කලාද කියලා හොයන්න ගියේ නැහැ මම ආයේ. තේරුමක් නැති නිසා.

අයෙමත් ලංකාවට එන්න අදහසක් නැද්ද, ඇවිත් මෙහෙ ජිවත් වෙන්න අමාරුත් ඇති නේද, එහෙ ගෙවන ජිවිතේ නිසා..?

ලංකාව තරම් සුන්දර රටක් අපිට ආයේ කොහෙන් ලබෙන්නද. මම ආදරේ ලංකාවට. මම ඇවිත් යන්න එනවා. දරුවෝ දෙන්නා නම් මෙහෙ ජිවිතේට හැඩගැහිලා ඉන්නේ. ඒ නිසා එයාලට නම් ලංකාවේ ජිවත් වෙන්න අමාරු වෙයි. නමුත් මම මගේ දරුවෝ ගැන සතුටු වෙනවා. නිවාඩුවකට කොහෙද යන්නේ කියලා ඇහුවොත් එයාලා කියන්නේ අපි ලංකාවට යමු කියලා. එයාලත් ලංකාවට ආදරෙයි.

ඔබ ගැන පසුගිය කාලයේ බොහෝ දෙනෙක් කතා කළා, කාලයක් නොපෙනෙන්න හිටපු චින්තක ඕස්ට්‍රේලියාවේ බස්රථ රියදුරෙක් විදිහට සේවය කරනවා කියලා..?

මගේ රැකියාව බස් රථ රියදුරෙක් කියලා කියන්න මමවත් මගේ පවුලේ අයවත් ලැජ්ජා වෙන්නේ නැහැ. ඒක ගෞරවාන්විත රැකියාවක්. හොඳ වැටුපක් හිමි වෙනවා. ඉතින් මම ක්‍රීඩකයෙක් වෙලා හිටියේ ලංකාවේ මිසක් මෙහෙ නෙමෙයි. ඒක මගේ රැකියාවට අදාලත් නැහැ. කොහොම නමුත් ඒ කතාව ආරංචි වෙලා ලංකාවේ ඒ කතාව වෙනස්ම විදිහකට ගිහින් තිබ්බා. මට ඇති වුණේ කළකිරීමක්. ලංකාවේ මිනිස්සු අනිත් අයගේ ඕපාදුප හෙව්වට මෙහෙ අල්ලපු ගෙදර මනුස්සයෙක් මැරිලා හිටියත් කුණු වෙලා යනකල් කවුරුත් දන්නේ නැහැ . අනුන්ගේ ඒවා හොයන්නේ නැති නිසා . ඒ ගැන නම් මට කලකිරීමක් හා දුකක් ඇති වුනා. හොරකම් කරලා ජිවත් වෙනවා නෙමෙයි නේ. හොරකම් කරලා ජිවත් වුනොත් තමයි ලැජ්ජා වෙන්න ඕන.

ඔබ ලංකාවේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් කියලා ඔබ රැකියාව කරන තැනින් කොහොමද දැනගත්තේ..?

මම දැන් රැකියාව කරන තැනට ඇවිත් අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි ආයතනයෙන් දැනගත්තේ මම ලංකාවේ ක්‍රීඩකයෙක් හැටියට හිටියා කියලා. මෙහෙ ඉන්දියාවේ අය ගොඩක් ඉන්නවා. එයාලා තමයි මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගෙන ඒක බොහෝ දෙනෙක් අතරට ගියේ. පසුව ආයතනයෙන් වීඩියෝ එකක් කළා අපි ආයතනයේ ඉන්න එක වටිනවා කියලා. සුරාජ් රන්දිව් හා සිම්බාබ්වේ ක්‍රීඩකයෙක් හිටියා. අපි තුන් දෙනාව දාලා interview එකක් කළා. ඒක 9Newsවල ගියා ඒක ජාත්‍යන්තර මට්ටමින් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක්. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ ගැන දැනගත්තා. ශ්‍රී ලංකාවේ තමයි ඒක උළුප්පලා දැම්මේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයින් පිරිසක් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, ඒ අය මුණගැහෙන්නේ නැද්ද, කට්ටිය එකතු වෙලා ක්‍රීඩා කරන්න අදහසක් නැද්ද..?

හැමෝම කාර්යබහුල ජිවිත ගත කරන අය. අපි උපන්දින උත්සවයක් හෝ වෙනත් උත්සවයක් තිබ්බොත් මුණගැහෙනවා. කට්ටිය එකතු වුනොත් නම් කණ්ඩායම් දහයක් විතර දාන්න පුළුවන්. එතරම් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ඉන්නවා.

මම වසර තුනක් ලෙජන්ඩ් කණ්ඩායමට ක්‍රීඩා කළා. මට අවස්ථාව අරන් දුන්නේ ටි. එම් ඩිල්ෂාන් අයියා. ඔහු නිසා මම යළිත් ක්‍රීඩකයෙක් බවට පත් වෙලා. ඊළග ලෙජන්ඩ් මැච් එක ලංකාවේ තියෙන්නේ කියලා දැනගන්න ලැබුනා. එහෙමවත් ලංකාවට එන්න පුළුවන් නිසා හරිම සතුටින් ඉන්නවා. නැත්තනම් කොවිඩ් ප්‍රශ්න ඉවර වෙලා තමයි එන්න වෙන්නේ . ඊට අමතරව මම මෙහෙ ක්‍රිකට් ක්ලබ් එකක වර්ෂයක් පාසා ක්‍රීඩා කරනවා.

හර්ෂණී වීරරත්න

01

02

03

04

05

06

07

08

09

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button