custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අපට එක දොරක් වැහෙනකොට තව දොරවල් කිහිපයක්ම ඇරෙනවා

custom_html_banner1
Spread the love

ඉරණම සමඟ සටන් වැද ජීවිතය දිනූ ඇය ඔරු පැදීමෙන් ආසියාතික පදක්කම් දිනු දක්ෂ ක්‍රීඩිකාවක්

ඇය වෛද්‍ය සමිතා සමන්මලී. මීට දස වසරකට පෙර මුළු රටම හැඬවූ ඒ අහිමිරි සිදුවීමේ කතා නායිකාව ඇයයි. එදා වෛද්‍ය ශිෂ්‍යාවක් වූ ඇය දෛවයට අභියෝග කරමින් සියලු බාධක ජයගෙන අද වෛද්‍යවරියක වී රටට සේවය කරන්නීය.

එමෙන්ම ඉන් ඔබ්බට ගොස් ක්‍රීඩාවෙන්ද දස්කම් පාන ඇය දකුණු කොරියාවේ පැවැති ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය නියෝජනය කරමින් කාන්තා කේවල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. සැබවින්ම ඇය අප රටට ආඩම්බරයකි.

දිරිය දියණියක වගේම වර්තමානයේ අප රටට අවශ්‍යම වන සුව විරුවකු වු ඇගේ නවමු තොරතුරු සොයා පසුගියදා අප ඇගේ නිවෙසට ගොඩ වැදුණෙමු.

අපි ඔබේ කුඩා අවධියෙන්ම කතාව පටන් ගමු. ඒ නිසා ඔබේ ගම, පවුලෙ විස්තර මුලින්ම කියන්න.

මම ඉපදුණේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ආසන්නයේ තිබෙන මකුළුදූව නම් ගම් ප්‍රදේශයේ. මුලින්ම පාසල් ගියේ මකුළුදූව කනිෂ්ට විද්‍යාලයට. උසස් අධ්‍යාපනය සඳහා මරදාන ගෝතමී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත්වෙලා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා.

මගේ තාත්තා ජී. ඩී. සිරිසේන. ඔහු අප අතරින් වෙන්වෙනකොට මගේ වයස අවුරුදු 12 යි. අම්මා විමලාවතී. මට ඉන්නෙ එක් සහෝදරියක් විතරයි.

ඔබේ දෙපා අප්‍රාණික කළ ඒ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ මතක් කළොත්.

custom_html_banner1

ඒ වෙනකොට මම විශ්ව විද්‍යාලෙ තෙවැනි වසරෙ. එදා මමයි යාළුවො ටික දෙනෙකුයි ඕර්ධ්ඛ්ඩ් එකට ගියෙ මෙඩිකල් එක්ෂිබිෂන් (වෛද්‍ය ප්‍රදර්ශනයක්) කරන්න තොරතුරු දැනගන්න. 2008 දැයට කිරුළ ප්‍රදර්ශනය අවසන් වුණේ ඊට කලින් දවසෙ.

එම ප්‍රදර්ශනයට සවිකර තිබුණු කුටියක් යටින් යනවිට යකඩ බාර් එකක් ඇවිත් මගේ ඔලුව උඩට වැටුණා. එච්චරයි මට මතක. සිහිය එනවිට මම රෝහලේ. එම යකඩ බාර්වල ඇණ සියල්ලම ඉවත්කර තිබුණු බව දැනගත්තේ මේ සිදුවීමෙන් පසුවයි. ඒ සිදුවීමෙන් මගේ හිසට දැඩි ලෙස හානි වෙලා මගේ වාසනාවට මොළයට කිසිදු හානියක් සිදුවී නැහැ. නමුත් මගේ දෙපා අප්‍රාණික වෙලා.

එදා ඔබ වෙනුවෙන් බොහෝ දෙනෙක් හඬනැගුවා. ඒ ගැන මතකය අවදි කළොත්.

ඇත්තටම මම මුලින්ම දන්නෙ නැහැ මගෙ තත්ත්වය එතරම්ම බරපතලයි කියලා. මගෙ යාළුවො තමයි ගොඩක් දේවල් කළේ. එයාලා මං වෙනුවෙන් කැම්පේන් එකකකුත් කළා. එයාලා මට ලොකු ශක්තියක් වුණා.

ඒ වගේම මාධ්‍ය ආයතනවලිනුත් මට විශාල සහයෝගයක් ලබාදුන්නා. ලංකාවෙ වගේම විදේශ රටවල අයගෙනුත් මූල්‍ය ආධාර පවා ලැබුණා. මම කවුද කියලා නොදැන වුණත් එයාලා මං වෙනුවෙන් ඒ ආධාර ලබාදුන්නා.

මම දන්න නොදන්න හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් මාව දිරිමත් කළා. එදා මට ශක්තියක් වුණ හැමෝටම මම අදත් ස්තුති කරනවා.

ඒ හැමදෙයකටම මුහුණ දීලා ඔබ ඔබේ ඉලක්කයට යනවා. අද ඔබ වෛද්‍යවරියක්. ඒ පිළිබඳ කතා කළොත්.

එදා සිදුවුණ අනතුරින් පස්සේ මාස හයක් පමණ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා. ඉන්පසු චීනය සහ සිංගප්පූරුව යන රටවලට ගොස් වැඩිදුර ප්‍රතිකාර ලබාගත්තා. නමුත් ඒ ප්‍රතිකාරවලින් පස්සෙ මට නැවත නැගිටින්න බෑ කියන එක දැනුණා. මේ වෙනුවෙන් තවත් කරන්න දෙයක් නැහැ කියන එක මට පිළිගන්න වුණා. මම දැන් යථාර්ථය තේරුම් ගන්න ඕනෙ. මගෙ ඉදිරිය මේ අනුව හදාගන්න ඕනෙ කියන සිතිවිල්ල ඇතිවුණා.

ඉන්පසු මම තීරණය කළා අතරමඟ නැවතුණ මගේ අධ්‍යාපන කටයුතු නැවත අරඹන්න ඕනෙ කියන එක. ඒ වෙනුවෙන් මට මගෙ යාළුවො, කථිකාචාර්යවරු ගොඩක් උදව් කළා. 2011 වසරෙදි මම උපාධිය අවසන් කළා. 2012 වසරෙදි සීමාවාසික පුහුණුව සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වුණා. මේ තත්ත්වයෙන් රෝගීන් පරීක්ෂා කරන්න නොහැකි බව වැටහුණු නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයට ඇතුළත් වුණා.

එහිදී ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගන්නත් අවස්ථාව උදාවුණා.

ඉන්පසු තරුණ, වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඇති ඒකකයට සම්බන්ධවෙලා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් කළා.

එතන ඉන්නකොට 2017 වසරේදී ඕස්ට්‍රේලියා රජය ලබාදුන් ශිෂ්‍යත්වයක් මඟින් ෆ්ලින්බර්ස් විශ්ව විද්‍යාලයේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකරගත්තා.

නැවත මම ලංකාවට ආවෙ 2019 අවුරුද්දෙ. ඒ ඇවිත් නැවතත් සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ තරුණ, වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයන් සඳහා වූ ඒකකයේ වැඩකළා.

2020 නොවැම්බර් මාසයේදී සිට රාගම පුනරුත්ථාපන රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කරනවා. මගේ රැකියාව ගැන තෘප්තිමත් හැඟීමක් තිබෙනවා.

මේ දේවල්වලට ඔබේ ඉලෙක්ට්‍රෝනික් රෝද පුටුව උදව් වුණාද?

ඇත්තෙන්ම ඔව්. ඒක මට ලබාදුන්නෙ ඛ්ධ්ඛ් එකෙන්. මගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න මට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

මේ පුටුවෙ තියෙන විශේෂත්වය හිටගෙන ඉන්න පුළුවන් එක. ඒ නිසා රෝගීන් පරීක්ෂා කරන්න එය මට පහසුවක් වුණා.

ආබාධිත බව පසෙකලා ඔබ ක්‍රීඩාවට යොමුවෙනවා. මුලින්ම සම්බන්ධ වුණු විදිහ පිළිබඳ කතා කළොත්.

අනතුරින් පස්සෙ මම ක්‍රීඩා කීපයකටම යොමුවුණා. ඇත්තෙන්ම ඒ මගෙ හිත හදා ගන්න. බොහෝ අය කරදරයක් වු විට එය තමාගේ ඉරණම විදිහටයි දකින්නේ. සමහරු ජීවිතය පිළිබඳ ආසාව අතහැර දමනවා. නමුත් මම කියවලා තියෙනවා ඉරණම සමඟ සටන් වැද ජීවිතය ජයගත් අය ගැන. ඒ නිසා මම තීරණය කළා මම මගේ ඉරණමට අභියෝග කළ යුතුයි කියලා.

ඒ අනුව මුලින්ම ටෙනිස් සෙල්ලම් කළා.

ඊට පස්සෙ බැඩ්මින්ටන් සෙල්ලම් කළා. ඔස්ට්‍රේලියාවෙ ඉඳලා ආවට පස්සෙ ඔරු පදින්න එන්න කැමැතිද කියලාම ගේ මිතුරියක් ඇහුවා.

ඒ අනුවයි ඔරු පදින්න යොමුවන්නෙ. අපි දිගටම පුහුණුවීම් කළා. එහි කෝච් (පුහුණුකරු) විදිහට කටයුතු කරන්නෙ ලසන්ත වැලිකල මහතා. එයා ඇහුවා ටූනමන්ට් එකක් තියෙනවා යමුද කියලා. 2019 ආසියාතික ඔරු පැදීමේ තරගාවලියට එකතුවෙන්නෙ ඒ විදිහටයි. එහිදීමට ලෝකඩ පදක්කම දිනා ගන්න හැකියාව ලැබුණා.

ආබාධිත අය මේ වගේ දේවල්වලට යොමුවෙනවා ගොඩක් අඩුයි. නමුත් මම කියන්නෙ මේ ක්ෂේත්‍රයේ ඒ සඳහා ලොකු අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් මේ සඳහා යොමු වෙනවා හරිම අල්පයි. ආබාධිත බව පසෙකලා ක්‍රීඩාවට යොමුවෙන්න පුළුවන්නම් සිතට දැනෙන මානසික සැනසීම වචනවලින් කියන්න බැරි තරම්.

ඔබ හැම දෙයක්ම කළමනාකරණය කරගනිමින් ඔබේ අරමුණට එනවා. ඒක පුංචි කාලෙ ඉඳලා ඔබතුළ තිබූ පුරුද්දක්ද?

අපි හැමෝගෙම ජිවිතවල අරමුණක් තියෙනවා. ඒ අරමුණු තමයි අපිව ජීවත් කරවන්නෙ. මට එක දෙයක් ගැන හිතුණොත් ඒ ඉලක්කයට මම කොහොමහරි යනවා. ඒක සැබෑ කරගන්නතුරු මට ඉවසිල්ලක් නැහැ. ඒ වගේම තමයි අපි කුමක් හෝ කාර්යයක නියැළිලා ඉන්නකොට ඒක ජීවිතය ඉස්සරහට ගෙනියන්නත් උදව්වක් වෙනවා. විශේෂයෙන්ම ආබාධිත අය ඉදිරියට යන්න උත්සහයක්වත් නොගන්න තරම්. එයාලා පසුගිය දේවල් ගැන නොලැබුණු දේවල් ගැන අහිමිවුණු දේ ගැන සිතමින් කාලය ගතකරන්න පුරුදුවෙලා. මම කියන්නෙ ලැබුණු දේ ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම අපට තියෙන්නෙ ඕනෙ. අපිට එක දොරක් වැහෙනකොට තව දොරවල් කීපයක්ම ඇරෙනවා. ඒ අනුව ඉදිරියට යන්න පුළුවන් හැකියාව අපට තියෙන්න ඕනෙ. ඒ වගේම තමයි නිතරම කායික ව්‍යායාමයක නිරතවෙන්න පුළුවන් නම් ඒකත් අපේ ජීවිතයට ගොඩක් හොඳයි.

ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳ කතා කළොත්.

ම්…. මට ලොකු බලාපොරොත්තු නැහැ. කාටවත් කරදරයක් නොවී ජීවිතය ඉදිරියට ගෙනයන්නයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම තමයි වෘත්තීමය පැත්තෙන් වගේම ක්‍රීඩාවෙනුත් ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබ ආබාධයට ලක්වෙලත් ඔබේ අරමුණු ඉටුකරගත්තා. වත්මන් තරුණ තරුණියන්ට දෙන්න පුළුවන් පණිවුඩය කුමක්ද?

හැම කෙනෙකුගෙම ජීවිතයට අරමුණක් තියෙන්න ඕනෙ. අපි හිතන අයුරින්ම ඒ දේවල් ඉටු නොවෙන්න පුළුවන්. නමුත් පසුබට නොවී නිරන්තරයෙන් උත්සාහ කරන්න. හැම වෙලාවකම ජීවිතයට අරමුණු කීපයක් තබාගන්න. එකක් වැරැදුණොත් අනිකට යන්න. ඒ විදිහට ජීවිතය ජයගන්න. හිතුවොත් කළ නොහැකි දෙයක් නැති බව නිතරම සිහියට ගන්න. අරමුණු අපිව ජීවත්කරන බව හොඳින් මතක තබාගන්න. එවිට අපට කවදාවත් වරදින්නේ නැහැ.

ඇගේ යහපත් බලාපොරොත්තු ඉදිරි කටයුතු ඒ අයුරින්ම සාර්ථක කරගන්නට හැකිවේවායි පතමින් අපි ඇයට සමුදුන්නෙමු.

උදයංගනී ලියනආරච්චි
Source – තරුණී පුවත්පත

01

02

03

04

05

06

07

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button