custom_html_banner1
ප්‍රධාන පුවත්විශේෂාංග

කොවිඩ්-19 සුලබ රෝග ලක්ෂණවලට අමතරව සුලබ නොවන ලක්ෂණ ගැනත් පැහැදිලිව දැන ගනිමු

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 රෝගීන්ගේ වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ යන අතරතුර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රෝග ලක්ෂණ සහිතව ඇතුළත් කරනු ලබන රෝගීන්ගේ ප්‍රමාණය ද ඉහළ යමින් පවතී.

කොවිඩ්-19 රෝග ලක්ෂණ පිළිබඳව සියලු ම දෙනාට ම පාහේ යම් අදහසක් ඇතත් එම රෝග ලක්ෂණ ඇති වීමේ අනුපිළිවෙළ, ඒවායේ සුලබතාව, බරපතළ තත්ත්වයට පත්වීමට ගතවන කාල සීමාව හා රෝග ලක්ෂණ පැවතිය හැකි කාල වකවානු ආදිය පිළිබඳව බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් නැති බැවින් විදේශ රටවලදී සිදු කරන ලද සමීක්ෂණ රාශියකින් සොයා ගන්නා ලද කරුණු කිහිපයක් පිළිබඳව මෙලෙස ඔබගේ අවධානය යොමු කිරීම කාලෝචිත යැයි සිතමි.

සුලබ ලෙස දැකිය හැකි රෝග ලක්ෂණ

  1. උණ (12%-30% දෙනෙකුට පමණ)
  2. කැස්ස(30% දෙනෙකුට පමණ) *බහුලව ඇති වන්නේ වියළි කැස්සකි.
  3. අධික මහන්සිය (40% දෙනෙකුට පමණ)

සුලබ නොවන වෙනත් රෝග ලක්ෂණ

  1. හුස්ම ගැනීමේ අපහසුව (රෝගය මතු වූ දින සිට දින 5- 8 තුළ ඇතිවෙයි)
  2. ගඳ, සුවඳ හෝ රසය නොදැනීම (40% දෙනෙකුට පමණ )
  3. ඇඟපත වේදනාව
  4. හිසරදය
  5. උගුර බැරැන්ඩිය
  6. සෙම්ප්‍රතිශ්‍යාව
  7. ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන ඔක්කාරය, වමනය හා බඩ එළිය යාම

රෝග ලක්ෂණ ඇති වීමේ අනුපිළිවෙල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි නමුත් සමීක්ෂණ මගින් තහවුරු කර ගන්නා ලද සුලබව ම දැකිය හැකි රෝග ලක්ෂණ අනුපිළිවෙල මෙසේ වෙයි.

  1. උණ
  2. කැස්ස
  3. ඔක්කාරය හෝ වමනය
  4. බඩ එළිය යාම

කොවිඩ්-19 රෝග ලක්ෂණ බරපතළ බව අනුව සුළු, මධ්‍යම, ඉතා වැඩි (Severe) ලෙස කාණ්ඩ ගත කළ හැකිය.

  • සුළු (Mild) – හුස්ම ගැනීමේ අපහසුව හැර ඉතිරි රෝග ලක්ෂණ අඩු වැඩි ලෙස පැවතිය හැක.
  • මධ්‍යම (Moderate) – ඉහත කී අනෙකුත් රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව හුස්ම ගැනීමේ අපහසුව ඇති නමුත් ඔවුන්ගේ රුධිරයේ ඔක්සිජන මට්ටම (SpO2) 94% හෝ ඊට වැඩියෙන් පවතියි.
  • ඉතා වැඩි (Severe) – ඉහත කී අනෙකුත් රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව හුස්ම ගැනීමේ අපහසුවක් සමග රුධිරගත ඔක්සිජන් මට්ටම (SpO2) 94% ට වඩා අඩු අය යි.

මෙම තත්ත්වයට පත්වීමට පළමු රෝග ලක්ෂණය ඇති වූ දින සිට සතියක පමණ කාලයක් ගත වේ. මෙම රෝගය නිසා අසාධ්‍ය වන අය දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ වන විට පළමු රෝග ලක්ෂණය මතු වූ දින සිට දින 9-12 ක් පමණ ගත වී තිබිය හැකිය.

කොවිඩ්-19 වැළඳී රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් සියයට අසූවක් (80%) පමණ ඉහත සුළු හා මධ්‍යම කාණ්ඩ වලට අයත් වන අතර ඉතා වැඩි (Severe) තත්ත්වයට පත්වන්නේ සියයට විස්සක් (20%) පමණ පිරිසකි.

මෙහි ඇති අනෙක් වැදගත් කරුණ වන්නේ, රෝගී වන අයගෙන් සියයට විස්සක් (20%) පමණ රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීමයි.

custom_html_banner1

ඔවුන් නොදැනුවත්ව අනෙක් අයට රෝගය බෝකරනු ලබයි. මෙය වළක්වා ගත හැක්කේ පසුගිය සති දෙකක පමණ කාලයක් ඇතුළත කොවිඩ්-19 රෝගීන් බහුල ප්‍රදේශවලට ගොස්, සෙනග ගැවසෙන තැන්වල සෞඛ්‍ය පුරුදු නිසි ලෙස නොපිළිපැදි බවට සැකයක් තිබෙන අය අදාළ සිදුවීම සිදුවී දින 12කට පමණ පසු PCR පරීක්ෂණයකට යොමු වීමෙනි.

නැතිනම් පසුගිය සති දෙකක පමණ කාලයක් තුළදී ආසාදිතයෙකු සමග සමීප ඇසුරක් තිබුණෙ නම් ඒ බව සෞඛ්‍ය නිලධාරීන්ට නොසඟවා, නිරෝධායනය වී පරීක්ෂණවලට යොමු වීමෙනි.

රෝගය සුව වීමේදී එක් රෝග ලක්ෂණයක් හෝ රෝගය මතු වී දින දහයක් (10ක්) පමණ වන විටත් පවතින අතර සම්පූර්ණ සුවය ලැබීමට ගතවන කාලය වයස හා පුද්ගල සෞඛ්‍ය තත්වය මත රඳා පවතී.

සමහර පුද්ගලයින්ට සති කිහිපයක් හෝ මාස කිහිපයක් යනතුරු පහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතිනු ලබන අතර එය සාමාන්‍ය තත්ත්වයකි.

  1. අධික මහන්සිය
  2. හුස්ම ගැනීමේ අපහසුව
  3. හන්දිපත් වේදනාව
  4. පපුවේ වේදනාව හෘද ස්පන්දනය වැඩි වීම
  5. මානසික ව්‍යාකූලභාවය (Confusion)

මතක තබා ගත යුතු කරුණු…

  1. කොවිඩ්-19 රෝගයට අදාළව විවිධ රෝග ලක්ෂණ ඇති අතර ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බව.
  2. රෝගය වැළඳුණු පසුව අසාධ්‍ය තත්ත්වයට පත්වීමට ඉඩකඩ ඇති බව හා එය මාරාන්තික විය හැකි බව.
  3. නිසි ලෙස මුහුණු ආවරණ පැළඟඳීම, සබන් යොදා දෙඅත් නිතර සේදීම, පුද්ගල දූරස්ථභාවය තබා ගැනීම, නිතර අපිරිසිදු වන අන් අය ස්පර්ශ කරන පෘෂ්ඨයන් විෂබීජ නාශක වලින් නිතිපතා පිරිසුදු කිරීම වැනි සරල පුරුදු මගින් මෙම රෝගයෙන් වැළකිය හැකි බව.

මූලාශ්‍ර – Healthline Medically reviewed by Cameron White, M.D., MPH — Written by Jill Seladi-Schulman, Ph.D. on February 16, 2021

වෛද්‍ය වජිර රාජපක්ෂ
ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ – අම්පාර

වෛද්‍ය වජිර රාජපක්ෂ
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button