ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

එන්න එන්න තරුණ වෙන කොරින්ගේ රහස

ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය තුළ අපට දැකගත හැකි ගායන රටාව, ප්‍රාසාංගික බව, තරු ගුණය ලංකාවට හඳුන්වාදීමට ප්‍රමුඛත්වය ගත් ගායන ශිල්පිනියක් ලෙස කොරීන් අල්මේදා අපට හඳුන්වාදිය හැකිය. මුල්කාලීනව බටහිර පන්නයේ ගීතවලට වැඩි නැඹුරුවක් දැක්වූ ඇය පසුකාලීනව රසිකයන් අතර ප්‍රචලිත වූයේ වේගරිද්මයේ ගායන ශිල්පිනියක් ලෙසටයි. ‘මගෙ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට’ වැනි ගීත තුළින් වේග රිද්මයේ ගීත ශෛලිය වෙනස් දිසාවකට යොමුකළ ඇය ‘මව්රට’ සමඟ කතාබහට එක්වූයේ මේ විදිහට.

කොහොමද ඉතින් ජීවිතේ මේ දවස්වල?

ඇත්තටම කොරෝනත් එක්ක තමයි පහුගිය කාලේ ගෙවුණේ. මේ තත්ත්වයත් එක්ක අපි ජීවත් වෙන්න පටන් අරන් දැන් අවුරුද්දකටත් වැඩියි. මම නම් හිතන්නෙ අපි හැම දෙයක් ගැනම සුබවාදීව හිතන්න ඕනෙ. එහෙම නොවුණොත් අපිට ඉදිරියට යන්න බැරි වෙනව. අපිට විතරක් නෙමෙයි මේ තත්ත්වය හැම කෙනෙක්ටම බලපෑව. නමුත් මේ වෙනකොට ඒ හැම ක්ෂේත්‍රයක්ම නැවත යථා තත්ත්වයට පත්වෙමින් තියෙනව.

මේ ලැබුණු කාලෙන් අලුත් වැඩකට සම්බන්ධ වුණා නේද? දැන් යෝග හදාරනව කියලත් ආරංචියි?

නෑ… නෑ… මම යෝග අභ්‍යාස කරන්න පටන් ගත්තෙ දැනට අවුරුදු තුනහමාරකට විතර කලින්. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ තමයි මම යෝග හදාරන්නෙ. හරිම ආසාවෙන්, උනන්දුවෙන් තමයි මම ඒ සඳහා යොමුවෙලා ඉන්නෙ. යෝග හරහා මනුස්සයෙක්ගෙ ඇඟ විතරක් නෙමෙයි ඇතුළාන්තයේ ඉඳන් ගොඩනගනව. ඇඟ ඇතුළෙ තියෙන හැම ඉන්ද්‍රියකටම පවා මේකෙන් බලපෑමක් තියෙනව. මේ වගේ කාලවකවානුවක මනස නිරවුල්ව තබාගන්න යෝග කියන අභ්‍යාසය ගොඩක් ඉවහල් වෙනව.

ඇයි එකපාරම ඒ වගේ දෙයකට යොමුවෙන්න හිතුණෙ? මොනවද එයින් ඔබට ලැබුණේ?

මගේ ජීවිතයේ මට මුහුණදෙන්න වුණ සිදුවීම් එක්ක මීට අවුරුදු හතරකට විතර කලින් මම පොඩි මානසික පසුබෑමක හිටිය. ඒ වෙලාවෙ මම දෙවියන්ගෙන් පවා යාඥා කර කර ඉල්ලුවෙ මගේ මනස ශක්තිමත් කරන විදිහක් ගැන. එහෙම හොය හොය ඉන්නකොට තමයි මට අනෝජා අක්කගෙන් ඇරයුමක් ආවෙ යෝග කරන්න. මම ඊට අවුරුදු දහයකට විතර කලින් ඇයත් එක්ක යෝග වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තිබුණ. ඒ අනුව තමයි එයා මට නැවතත් ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න කියල කතා කළේ.

ඒ නිසා ඔබ ආගමෙන් ඈත්වීමක් සිදුවෙලාද?

නෑ. ඒ නිසා වුණේ දෙවියන් වහන්සේ එක්ක තිබුණ මගේ බැඳීම තව තවත් වැඩිවීමයි. මම හිතන්නෙ ඒක නිකන් වුණ දෙයක් නෙමෙයි. උන්වහන්සේ තමයි මට ඒ මාර්ගය පෙන්නුවෙ කියල මම විශ්වාස කරන්නෙ.

යෝග නිසා ජීවිතයෙ යම් වෙනසක් වුණා කියල ඔබ හිතනවද?

මම හිතනව මගේ ජීවිතේට ලොකු වෙනසක් මේ හරහා සිද්ධවුණා කියල. මම කලින් ඉඳන්ම ශක්තිමත් කාන්තාවක්. මට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා. නමුත් කොච්චර ශක්තිමත් කෙනෙක්ට වුණත් ජීවිතයේ වැටෙන තැනක් එන්න පුළුවන්. අන්න එහෙම වෙලාවක මේ අභ්‍යාසය ඉතාම වැදගත් කියල මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. යෝග අභ්‍යාසවලදි උගන්වන ‘ප්‍රාණයාම’ කියන භාවනාව අපේ ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ඉතාමත් උපකාරි වෙනව. ඉතින් මේ වගේ කාලයක මේකෙ ඇති වටිනාකම කියල නිම කරන්න බැහැ. මම මේ වෙනකොට ඉතාම තෘප්තිමත්, මානසික අතින් ශක්තිමත්, හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරනව. ඒ සියලු දේවල් මගේ ජීවිතේට ලැබුණෙ මේ යෝග අභ්‍යාස හරහා මගේ ජීවිතේට ලැබුණු දේවල් නිසා. මේ අවස්ථාව මට ලබාදුන්නට අනෝජ අක්කටත් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනව.

පහුගිය කාලෙ කලාකරුවන් ආගම් මුල්කරගෙන කරපු දේවල් ගැන සමාජයෙ ලොකු කතාබහක් ඇතිවුණා. ඔබෙත් සූදානම එවැනි දේකටද?

මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැතිම මාතෘකා දෙකක් තමයි දේශපාලනය සහ ආගම කියන දෙක. හැම පුද්ගලයෙක්ටම අයිතියක් තියෙනව තමන්ට කැමැති ආගමක් අදහන්න සහ තමන්ට කැමැති දේශපාලනයක නිරත වෙන්න. ඒක ඉතාම පෞද්ගලික දෙයක්. මම යෝග කරනකොට පවා ගොඩක් දෙනෙක් හිතුවෙ යෝග කියන්නෙ හින්දු ආගමේ නැත්නම් බෞද්ධ ආගමේ දෙයක් කියල. ඇත්තම කිව්වොත් යෝග පටන්ගත්තට පස්සෙ දෙවියන් වහන්සේට මම තවත් ළංවුණා. ඔබ ඔය කියන සිද්ධිය මමත් දැක්ක සමාජ මාධ්‍යවල යනව. මට එතැන තියෙන එකම අපැහැදිලි දේ තමයි ඔවුන් විශ්වාස කරන දේ වීඩියෝ කර කර ප්‍රදර්ශනය කරන එක. ඔවුන් යම්කිසි දෙයක් විශ්වාස කිරීමේ අයිතිය සහ ඒ වෙනුවෙන් ඔවුන්ට යම්කිසි දෙයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඇයි ඒක වීඩියෝ කර කර ප්‍රචාරය කරන්නෙ. අන්න එතන තමයි මට ප්‍රශ්නයක් ඇතිවෙන තැන.

කොරින් අල්මේදා ගායිකාවක් නොවුණ නම් අද ඉන්නෙ කොතැනද?

ඇත්තටම මම ජීවිතයේ එහෙම මහලොකු ගෝල්ස් තියාගෙන, හීන මවාගෙන ජීවත් වුණ කෙනෙක් නෙමෙයි. ඇත්තටම මම දන්නෙ නැහැ මම ගායිකාවක් නොවුණ නම් කොහොම කෙනෙක් වෙයිද කියල. නමුත් ගායිකාවක් විදිහට මම ඉන්න තැන සහ ගායිකාවක් විදිහට ආපු ගමන ගැන මම ඉතාමත් තෘප්තිමත්. ඒ සඳහා දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුතිවන්ත වෙනව.

අනුකරණය කරන්න ගොඩක් අය ආවත් කොරින් ළඟටවත් එන්න ඒ කාටවත් හැකිවුණේ නෑ?

මම නම් කියන්නෙ නෑ කවුරුත් මාව අනුකරණය කරනව කියල. ඒක මිනිස්සුම කියන දෙයක්. එක එක ශෛලීන්වන ගීත කියන පිරිස් හැමදාම මතුවෙනව. මම කියන ශෛලියෙම ගීත කිව්ව පලියට ඔවුන් මාව අනුකරණය කරනව කියන්න බැහැ. මේ ක්ෂේත්‍රයෙ හැමෝටම කාලයක් තියෙනව. හැමෝටම බැහැගෙන යන කාලෙකුත් එනව. මට එහෙම කාලයක් ආවමත් ඉතාමත් ගෞරවාන්විත විදිහට ඒ කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.

ඔබේ පුතත් මේ වෙද්දි කලාවට සම්බන්ධව වැඩ කරනව?

ඔහු පෞද්ගලික ආයතනයක නිර්මාණ අධක්ෂවරයෙක් විදිහට තමයි රැකියාව කරන්නෙ. ඒ අතරතුර තමයි කලා කටයුතුවලට යොමුවෙලා තියෙන්නෙ. ඔහු රංගනයට, ගායනයට, ලියන්න වගේ ක්ෂේත්‍ර කිහිපයකම දක්ෂතා තියෙන කෙනෙක්. ඒ අනුව තමයි දීපා මේතා කියන ඉන්දියානු අධ්‍යක්ෂවරියගෙ ‘ෆනී බෝයි’ කියන ෆිල්ම් එකේ රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබුණෙ. මවක් විදිහට මට ඔහු ගැන ඉතාමත් ආඩම්බරයි.

ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

මගේ අලුත්ම ගීතයෙ වැඩකටයුතු මේ වෙනකොට අවසන් වෙමින් යනව. ඒක මගේ ගොඩක් සින්දු වගේම ටිකක් ෆන් සින්දුවක්. ‘අපි නටමු’ කියල නම් කරල තියෙන ඒ ගීතය ළඟදීම අහන්න ලැබෙයි.

ඉන්දික වික්‍රමරත්න
Courtesy : Mawrata.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button