custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

ඒ කාලෙ ලියුම් ලැබුණෙ ගෝනි ගණන් – ටෙලිතිරයේ අහිංසකාවිය ඕලු ආවර්ජනය කරපු සුන්දර අතීතය

custom_html_banner1
Spread the love

පුංචි තිරයේ වැඩිම ආදරයක් ආකර්ෂණයක් දිනාගමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගත් ‘‘ඕළු’’ නාට්‍යයේ නැවත විකාශය සමගින් ඒ පිළිබඳ අද වන විට බොහෝ දෙනෙක් නැවතත් කතා කරන්නට පටන් අරන්. ඒ නිසාම ඔබේ ආදරය දිනාගත් ‘‘ඕළු’’ නම් ඒ අහිංසකාවිය මංජුලා කුමාරි සමගින් ඒ පරණ මතකයන් නැවතත් ආවර්ජනය කරන්න සිතුණා.

ඕළු නැවත විකාශයත් එක්ක මංජුලාගේ පරණ මතකයන් යළිත් සිහියට එනවා ඇති? 

ඔව් ඇත්තටම මීට වසර 10, 12 කට වඩා පැරණි නාට්‍යයක්නෙ ඕළු. 2005, 2006 වසරේ වගේ විකාශය වෙන්නෙ. ඉතින් ඒ රංගනය දැන් නැවතත් දකින්නට අවස්ථාව උදාවෙලා තියෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ නැවත විකාශයක් සිදුවෙනවා. ඒකත් ප්‍රධානම විකාශන කාලයකදි රාත්‍රී 9 ට. ඉතින් ඒ හරහා නැවතත් මට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා.

ඕළුට තිබුණ ආදරය ඒ පැරණි මතකය අලුත්වෙලා තියෙනවා. ඒ වගේම වර්තමානයේත් පිරිසක් අලුත් පරපුරක් ඕළුත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ කාලෙ හිටපු පුංචි දරුවො ටිකින් ටික ලොකුවෙලා අද වෙද්දි මේ හරහා එකතුවීමක් සිදුවෙලා තියෙනවා කියලා දකින්න තියෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඉතින් අවංකවම ඒ ගැන සතුටුයි.

ඒ කාලේ මංජුලාව දකිද්දි මොකද හිතෙන්නේ? 

ඇත්තටම ඒ රංගනය ගැන අවංකවම සතුටුයි. මමත් මේ නාට්‍යය එකදිගට බලන්නෙ පළවෙනි වතාවට. මොකද මේ නාට්‍යය රූගත කිරීම් සිදුකරන අතරතුරනෙ ඒ කාලේදි විකාශය වීම් සිදුවුණේ. ඒ නිසා ඒ දවස්වල අපිටත් රූපවාහිනියෙන් නරඹන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඉතින් මම හිතනවා ඒ නාට්‍යයේ චරිතයට මම සාධාරණයක් ඉෂ්ට කළා කියලා. මොකද මට ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර තුළින්ම ඒ දේ දැනුනා. චරිතය තාත්ත්විකව රඟපාන්න ලැබුණා කියලා මට හිතෙනවා. ඒ නාට්‍යය චරිතය තුළ තාත්ත්විකත්වයත් දැනුණ නිසා තමයි ප්‍රේක්ෂකයො ගොඩක් ඕළු චරිතයට ආදරය කළේ.

custom_html_banner1

ඒ ප්‍රේක්ෂක ආදරය තවමත් නොඅඩුව තියෙනවද? 

ඒ ආදරය නිසාම 2006, 2007, 2008 වසරවලදී ජනප්‍රිය නිළිය සම්මානය පවා දිනා ගන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම මේ නාට්‍යය විකාශය වූ කාලේදී සෑහෙන රසික පිරිසක් හිටියා මගෙත් එක්ක එකතුවෙලා. ඒ කාලෙදි මට ආදරය කරන රසික පිරිසකගෙන් ලිපි ගෝනි ගණන් ලැබුණා. ඉතින් ඒ දේවල්වලට පුළුවන් හැම වෙලාවකම මම ප්‍රතිචාර දැක්වුවා.

ඒ වගේම අපි රූගත කරන ස්ථානයටත් බොහෝ දෙනෙක් ඇවිල්ලා ඒ ආදරය අපේ කණ්ඩායමත් එක්ක බෙදාහදා ගත්තා. ඒ චරිත බොහෝමයක් වැළඳගත්තු පිරිසක් හිටියෙ. ඒ තරමට ජනප්‍රියත්වයක් ලැබුණා. සමහර වෙලාවට රූගත කිරීම් කරන්න බැරිව නවත්තගෙන හිටපු වෙලාවලුත් තිබුණා. ඒ ආදරේ ඇත්තටම ගොඩක් දැනුණා අපි හැමෝටම.

මෙගා නාට්‍යය ලංකාව තුළ ආරම්භ කළෙත් ඕළු හරහානෙ. ඒ කාලේ වෙනත් නාලිකාවල විකාශය වුණ විදේශ ටෙලිනාට්‍ය පවා නැවතීමක් සිදුවුණා. මෙගා විදේශ රැල්ලෙ අඩුවීමක් වුණා ඕළු නාට්‍යය මිනිස්සු ආදරෙන් වැළඳගතත්තු නිසා. අද එතරම් පිරිසක් ඒ කාලේ වගේ මේවාට නැති වුණත් ඕළු විකාශය වන කාලෙ ආදරණීය රසික රසිකාවියන්ගේ හදවතේ ඕළු කතාව රැඳිලා තිබුණා.

මේ චරිතය රඟපාද්දි ඇත්තටම සංවේදී වුණු අවස්ථා ඇති? 

ඔව් ඇත්තටම සංවේදී වුණා. මම මේ චරිතය රංගනය වෙනුවෙන් ග්ලිසරින් පාවිච්චි කළා ගොඩක් අඩුයි. ඒක ඇත්තටම මටත් පුදුමයක්. නාට්‍යයෙ මගෙත් එක්ක රංගනයෙ යෙදුණු අනිත් ශිල්පීන් පවා මගෙන් අහලා තියෙනවා සමහර අවස්ථාවන්හිදී කොහොමද මේ තරම් සංවේදී වෙන්නෙ කියලා. ඇත්තටම සමහර හැඟීම් එක්ක තමයි කඳුළු එන තරමටම ඒ රංගනයන් ඉබේම සිදුවෙන්නෙ.

සමහර චරිත ලක්ෂණ දකිද්දි කතාවෙ මගේ මව මිය යන මොහොතේදී වගේ ඒ සිදුවීම් හදවතටම දැනෙනවා. ඉතින් ඒ චරිතයන් එක්ක අපි ඉබේම ජීවත්වෙනවා. ඒ තාත්ත්වික බවට තමයි මිනිස්සු ආදරේ කළේ. ඒ මොහොතවල්වලදී මගේ මුහුණ ඉරියව් ඒ අංග චලන මිනිස්සුන්ට ගොඩක් දැණුණා. ඒ තුළින් තමයි චරිතය ඔවුන්ගේ හදවත්වලට කාවැදුණේ.

මංජුලා කතාවේ වගේම ඇත්තටම අහිංසකද? 

ඔව්, ඇත්ත ජීවිතේ චරිත ලක්ෂණත් ඕළු චරිතය තුළ ගොඩක් තියෙනවා. සමහර වෙලාවට අහිංසක වැඩියි කියලාත් හිතෙනවා.

දැන් දවස ගානේ කතාව නරඹනවාද? 

ඔව්. ගොඩක් වෙලාවට නරඹනවා. දැන් බබාලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නටත් විශේෂත්වයක් තියෙනවා. අම්මා ඕළු කියලා ඒ දෙන්නා ඉතින් බලාගෙන ඉන්නවා.

අසංග ඕළු කියන මංජුලා සහ සුරාජ් චරිත දෙක පුංචි තිරයට ගැළපෙනම යුගළක් වුණා. ඒ ගැළපීම ඔබ දකින්නෙ කොහොමද? 

ඔව් ඒ ගැළපීම ගැන බොහෝ දෙනෙක් අදටත් කතා කරනවා. ඇත්තටම මගේ චරිත රංගනයේ තාත්ත්විකත්වයත් එක්ක සුරාජ් අයියාගේ අසංග චරිතයත් හොඳින්ම ගැළපුණා. රංගනයේ අපි කොයි විදියෙ චරිත රංගනයක් කළත් වැඩක් නැහැ රංගනයේ යෙදෙන අනිත් රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වය ඒ සහයෝගය නැත්නම්. ඉතින් ඒ චරිතවල රංගන විලාසයන් හරියටම ඒ සිදුවීම එක්ක ගැළපුන නිසා තමයි මේ චරිත දෙක ගැන අදටත් කතාවෙන්නෙ.

එතැනින් පසුව සුරාජ්ට සහ මංජුලාට එක් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද? 

ඕළු නාට්‍යයෙන් පසුව ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඉන්පසුව මගේම ටෙලිනාට්‍ය නිෂ්පාදනයක් සිදු වුණා ‘‘සපුමලී’’ කියලා. එහි මමත් සුරාජ් මාපාත් එක්ව රංගනයේ යෙදුණා.

නැවත දෙන්නා එක්ක නැවත පුංචි තිරයෙ රංගනයකින් දකින්න ලැබෙයිද? 

ඇත්තටම රංගනයේ ඒ විදියට දකින්න ලැබුණොත් හොඳයි. නමුත් වර්තමානයේ මම වැඩි ප්‍රමුඛතාවයක් දීලා තියෙන්නෙ මගේ පවුලට, දරුවො දෙන්නට. ඒ නිසා බොහෝ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න වුණු අවස්ථා තිබුණා. කාර්යබහුල නොවී හොඳ නිර්මාණයකට දෙකකට දායකවෙන්න කැමතියි. දිගටම රූගත කිරීම් නැතිව කඩින් කඩ රූගත කිරීම් සිදුවෙන විදියට ඉදිරියට බලමු. එවැනි අවස්ථාවක් ආවොත් සලකලා බලන්න ඕනෑ.

රංගනය වෙනුවෙන් දායක වෙනවාට සැමියාගෙන් තහංචියක් නැද්ද? 

අනේ නැහැ. ඔහුගේ අකැමැත්තක් නැහැ. ඔහුගේ ව්‍යාපාර කටයුතු කරන ගමන් ඒ අවශ්‍ය තැන්වලදි මට සහයෝගය ලබාදෙනවා. ඒ වගේම අම්මයි ආච්චි අම්මයි දෙන්නත් ලොකු සහයෝගයක් ලබාදෙනවා. රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙන්න නම් කිසි ගැටලුවක් නැහැ. නමුත් දැන් දරුවෝ දෙන්නාම දාලා පැයකට දෙකටවත් වෙනම ඉන්න කැමති නැහැ. දරුවො දෙන්නගේ ඒ වයසේ හුරතලේට ඇබ්බැහි වෙලා. ඒ නිසාම ගෙදරින් පිට යන්න හිතෙන්නේ නැහැ.

අවුරුදු 10කට පෙර විකාශය වූ ඕළු ටෙලිනාටයත් වර්තමානයේ විකාශය වන ටෙලි නිර්මාණත් අතර වෙනස කොහොමද දකින්නේ? 

වර්තමානයේ විකාශය වන සමහර ටෙලිනාට්‍යයත් එක්ක බලද්දි ඕළු කියන්නෙ ඇත්තටම ගුණාත්මක බවින් ඉහළ ටෙලි නාට්‍යයක්. අද විකාශය වන සමහර ටෙලිනාට්‍ය ඇත්තටම අරුත් සුන් ටෙලිනාට්‍ය විදියට දකින්න තියෙන්නෙ. ආදරයම මූලික කරගෙන ඒ තුළ ගහගන්නවා මරාගන්නව, වෙඩි තියනවා.

ඒ දේවල් තමයි වැඩි වශයෙන් දකින්න තිනේනේ. ඒ දේවල් දැන් රැල්ලක් බවට පත්වෙලා. නමුත් ඕළු නාට්‍යය තුළ සමාජයට හොඳ යහපත් දේවල් ලබාදුන්නා. ගැමි පරිසරය ඒ අවට සුන්දරත්වය නාට්‍ය තුළ වචන භාවිතය භාෂා විලාසය ආදී හැමදේම තුළ හොඳ සංකලනයක් තිබුණා. නළු නිළි පිරිස, කාර්මික ශිල්පීන්, අධ්‍යක්ෂ ඇතුළු හැමදෙනාම මේ නිර්මාණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කර මිනිස්සුන්ට හොඳ දෙයක් ලබාදුන්නා. අද වනතුරුත් මේ නිර්මාණය පිළිබඳ මිනිස්සු කතා කරන්නේ ඒ ගුණාත්මක භාවය නිසාම තමයි. මිනිසුන්ගෙ හිත්වල රැඳිලා තියෙන නාට්‍ය අතළොස්ස අතරින් අදටත් ඕළු ගැන මතකයේ තියෙන්නෙ ඒ නිසා.

ධනු විජේරත්න 

Courtesy – Saaravita 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button