custom_html_banner1
විශේෂාංග

කොළඹ වරායේ බහාලුම් මෙහෙයවන දකුණු ආසියාවේ ප්‍රථම කාන්තාවෝ – දොඹකරයට නඟින්නේ උදේ 7.00 ට, පරණ දොඹකරවල වැඩකරන එක අමාරු දෙයක්

custom_html_banner1
Spread the love

කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම මනුෂ්‍ය ජීවිතයේදී විවිධ අවධි ගණනක් පසුකරයි. විශේෂයෙන්ම කාන්තාවක්, දියණියක, තරුණියක, මවක ලෙස විශාල වැඩ කොටසක් ඉටුකරමින් රටෙහි ආර්ථිකය වගේම පවුලේ ආර්ථිකය නංවාලීමට විශාල වැඩ කොටසක් ඉටු කරයි.

අභියෝගවලට බිය නොවී පිරිමින් මෙන් නැඟී සිටින කාන්තාවන් තිදෙනෙකු ගැනයි අද කියන්න යන්නේ. කොළඹ වරායේ බහාලුම් මෙහෙයවන දකුණු ආසියාවේ ප්‍රථම දොඹකර ක්‍රියාකාරිනියන් දහදෙනා ශ්‍රී ලංකාවේ වීම ආඩම්බර විය යුතු කරුණකි. මේ ඒ දහ දෙනාගෙන් තිදෙනෙකි. ප්‍රසාදි මණතුංග, දිල්හානි ගුණරත්න, මධුෂානි උදේශිකා.

මේ කතාබහ ඔවුන් සමඟයි.

දොඹකරයට නඟින්නේ්පවුලේ ප්‍රශ්න එළියෙන් තියලයි – ප්‍රසාදි මණතුංග

 

ශ්‍රී ලංකාවේ දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ ප්‍රථම කණ්ඩායමේ ඔබත් සාමාජිකාවක්?

ඇත්තටම ප්‍රථම කණ්ඩායමේ සාමාජිකාවක් වීම ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා. මං මුලින්ම වරායටය්‍ ආවේ වැඩ සහයක කියන තනතුරට. ඒ තනතුරේ අවුරුදු දෙකක් විතර වැඩ කරගෙන යද්දී තමයි මේ තනතුරට ආවේ.ප්‍රථම දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ කණ්ඩායමේ 10 දෙනෙක් ඉන්නවා. පවතින කෝවිඩ් තත්ත්වයත් එක්ක වැඩමුර දෙකක් විදිහට තමයි මේ දවස්වල වැඩකරගෙන යන්නේ.

මේ වෘත්තිය තෝරා ගනිද්දී එහි අනතුරුදායකබව ගැන දැනගෙන හිටියද?

custom_html_banner1

වරායට එනකන්ම මොකක්ද කරන්න තියෙන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ. කුමක් හෝ රැකියාවකට වරායට ආවම ඒ රැකියාව සම්බන්ධයෙන් දවස් 11 ක පුහුණුවක් ලබා දෙනවා. එහිදී රැකියාවට සම්බන්ධ සියලුම දේ පුහුණු කරනවා. ඒ පුහුණුවෙන් පස්සේ තමයි කිව්වේ කාන්තා දොඹකර ක්‍රියාකරු කියලා ප්‍රථම වතාවට තනතුරක් හදනවා කියලා. එහිදී ඔවුන් ඇහුවා කවුද කැමැති ඒ තනතුරට එන්න කියලා. ඒ වෙනකොට ඒ පුහුණුවට කාන්තා, පිරිමි ඔක්කොම 111 ක් විතර සම්බන්ධ වෙලා හිටියා.

එතැනදි එරන්දි ෆනැන්ඩු තමයි මුලින්ම අත උස්සලා කිව්වේ එයා කැමැතියි කියලා. ඊට පස්සේ මං අත ඉස්සුවා. ඔහොම කාන්තාවන් කිහිප දෙනෙක්ම අත ඉස්සුවට පස්සේ තමයි එයාලා තීරණය කළේ කාන්තාවන් වෙනුවෙන් මේ තනතුර හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ සම්මුඛ පරික්ෂණ කැඳෙව්වා. අයදුම්පත් 150 ක් ඇවිත් තිබුණත් අන්තිමට ඉතුරු වුණේ 10 දෙනෙක් විතරයි. අනිත් අය විවිධ හේ්තු නිසා ඉවත් වුණා.

ඔවුන් ඉවත්ව ගියේ රැකියාවේ ඇති අවදානම් බව නිසා ද?

ගොඩක් අයගේ සිතුවිල්ලයි එයට බලපෑවේ. කාන්තාවන්ට මේවා කරන්න බැහැ. පිළිගැනීමක් නැහැ. සමහර අය උඩ නගින්න බයයි. ඒ වගේ හේතු බලපෑවා.

මේ වෘත්තිය තුළදී යම් අතපසුවීම්ක් සිදුවුවහොත්?

පුහුණුව තුළදී සෑම දෙයක් ගැනම කියලා දෙනවා. කාන්තාවක් වුණාම අපහසු දවස් තියෙනවා. පිරිමි අයට වගේ නෙවෙයිනේ. එවැනි දවස්වලදී වුවත් අපහහසුතා විඳදරාගෙන තමන්ගේ හිතේ ශක්තියෙන් වැඩකරන්න අවශ්‍ය පුහුණුව වරාය අධිකරිය ලබා දුන්නා.

දොඹකරවල නැග්ගාම දුරකථන පාවිච්චි කරන්න බැහැ. ඉතිං ශරීර අවශ්‍යතා වුවත් විඳදරාගෙන ඉන්න ඕනේ උඩට නැග්ගට පස්සේ. ගෙදර ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න ඔක්කොම එළියෙන් තියලයි දොඹකරයට නඟින්නේ. මොකද මෙතැන වැඩ කරද්දී හිත වෙන තැනක තිබුණොත් අපි අතින් ඇතිවන පොඩි වැරැද්දකින් කෝටි ගණනක පාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසයි මේක අනිත් වෘත්තීන්ට වඩා වගකීම් වැඩි වෘත්තියක් වෙන්නේ.

දියණියන් දෙදෙනෙකුගේ මවක් සහ ආදරණීය සැමියකුගේ බිරියක් විදිහට මෙවැනි වෘත්තියක නියැලීම අපහසු නැති ද?

මගේ ලොකු දුවට වයස අවුරුදු 15 යි. පොඩි දුවට 8 යි. මගේ පවුලේ අය නම් මේ රැකියාවට එනවට කැමැති වුණේම නැහැ. නැන්දම්මා තමයි මේ රැකියාව කරගෙන යන්න උදව් කළේ. වෙන නැන්දම්මලා ඒකේ අනිත් පැත්තනේ. ඉතිං ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න මං වාසනාවන්තයි.

සැමියා දසුන් හිරන්ත. ඔහු ව්‍යාපාරිකයෙක්. එයාත් මට ලොකු සහයෝගයක් දෙනවා. මම දවසට පැය තුනයි නිදාගන්නේ. හැමදාම පාන්දර 3.30 ට නැඟිටිනවා. මම උදේ 7 වෙද්දී දොඹකරේ ඉන්න ඕනේ. බබාලගේ කෑම ලෑස්ති කරලා කළුතරින් පිටත් වෙද්දී වෙලාව හරි.

වැඩ ඉවර වෙලා ගෙදර එද්දී රාත්‍රි 9 පහුවෙනවා. ඒ ඇවිල්ලත් ගෙදර දොරේ වැඩ ටික ඉවර වෙලා ඇඳට යද්දී රාත්‍රි 12 පහුවෙනවා. කොතරම් කාර්යය බහුල වුණත් සතුටින් තමයි වෘත්තිය කරගෙන යන්නේ.

මම වෙනස් විදිහට හිතන කෙනෙක් – දිල්හානි ගුණරත්න

 

කාන්තාවකට මෙවැනි රැකියාවක් අභියෝගයක් නෙවෙයි ද?

කාන්තාවකට කළ නොහැකි දෙයක් නැහැ. සිතිවිල්ලයි වැදගත්. අතීත කාන්තාවට වඩා වර්තමාන කාන්තාව ඉදිරියෙන් ඉන්නවා. සාම්ප්‍රදායික මතවලින් ඔවුන් ඈත්වෙලා ඔවුන්ගේම ගමනක් යනවා. මමත් මේ රැකියාවට ආවේ අභියෝග බාර ගන්න ගොඩක් කැමැති නිසා. මම ඉස්සර ඉඳන්ම ටිකක් වෙනස් විදිහකට හිතන කෙනෙක්. මට ඕනේ වුණේ වෙනස් දෙයක් කරන්න. මං හරි ආසයි පොඩි කාලේ ක්‍රිකට් ගහන්න. මට උණක් තිබුණා දවසක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එන්න ඕනේ කියලා.

ඒ කාලේ තිබ්බ අපහසුකම් එක්ක බාහිර වැඩවලට වඩා අධ්‍යාපනටයි මුල් තැන දුන්නේ. ඉතිං මට ඒ හීනය සැබෑ කරගන්න බැරිවුණා. මාධ්‍යවේදිනියක් වෙන්නත් ලොකු ආසාවක් තිබ්බා. මම පාසල් ගියේ කෑගල්ල ස්වර්ණ ජයන්ති මධ්‍ය විද්‍යාලයට. ගම පොල්ගහහවෙල. මම සංගීත කණ්ඩායමකත් හිටියා. මගේ සැමියත් ඒ සංගීත කණ්ඩායමේ හිටියේ. ඔහුව හමුවුණේ එතැනදී.

ඔහු ද ඔබේ ගමනට සවිය වුණේ?

ඔහු ජනක දිසානායක. ඉදිකිරීම් අංශයේ රැකියාවක් කළේ. ඒ නිසා ඔහුට දොඹකර ගැන හොඳ දැනුමක් තියෙනවා. මමත් නොදන්න දෙයක් තිබුණොත් ඔහුගෙන් තමයි අහන්නේ. ඔහුත් මමත් දෙන්නම රැකියාවක් කළාම පුතා ගැන බලන්න විදිහක් නැහැනේ. ඒ නිසා ඔහු රැකියාවෙන් ඉවත් වුණා. ඒ කැපකිරීම මං වෙනුවන් ඔහු කළා. ඒ නිසා එයාගේ කැප කිරීමට හරියන්න මම පවුල වෙනුවෙන් සෑම යුතුකමක්ම ඉටු කරනවා. පුතාට වයස අවුරුදු 5 යි. අම්මත් සැමියත් ගෙදර කටයුතු බලාගන්නවා. ගෘහණියකගේ අතින් විය යුතු වගකීම් මා පැහැර හරින්නේ නැහැ. පාන්දර 2.30 ට නැඟිටලා උයලා පිහලා තමයි එන්නේ.

වෘත්තීය ජිවිතයේදී ඔබ ලබපු අමතක නොවනම අත්දැකීම මොකක් ද?

මුලින්ම මේ රැකියාව කරන්න ගනිද්දී මේක පිරිමි අයගේ ආධිපත්‍ය තියෙන රැකියාවක්නේ. ඔවුන් නිතරම කිව්වේ අපි අතින් වැරැදි වෙයි. අනතුරු වැඩි වෙයි, පාඩු සිදුවෙයි. ඒ වගේ දේවල් එක්ක මේ වෘත්තියට මුහුණ දෙන එකම ලොකු අත්දැකීමක් වුණා. අපි 10 දෙනාගේ තියන එකමුතුකම සහ කළමනාකාරිත්වයේ සහයෝගයත් එක්ක ඒ අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න හැකි වුණා.

මුල් දවස්වල නැවක් ආවම ඒවායේ කන්ටේනර් බාන්න ගෙඩක් අමාරු වුණා. අපිට වැඩ කරන්න තියෙන්නෙත් පරණ දොඹකරවල. පරණ දොඹකරවල වැඩ කරන එක ගොඩක් අමාරු දෙයක්. කොහොම හරි පිරිමි අපට සාපේක්ෂව අපි හොඳට වැඩ කරන නිසා කාටවත් වචනයක් කියන්න බැරි වුණා. ඉතිං අපි විසින්මයි මේ තනතුර උපයාගත්තේ. ඒ වගේම ජයබහාලුම් අංශයේ සියලුම සේවකයින් අපිට ගොඩක් උදව් කළා.

කාන්තාවන්ටත් අනතුරුදායක දේ කරන්න පුළුවන් – මධුෂානි උදේශිකා

 

දොඹකර ක්‍රියාකාරිනියක් වීම මොනවගේ අත්දැකීමක් ද?

කාර්යාලයක පුටුවක ඉඳගෙන කරන රැකියාවකට වඩා මේ රැකියාව වෙනස්. මේ වෘත්තිය තුළ හැමදාම අලුත් යමක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි. මේ වෘත්තිය අත්දැකීම් ගොඩක එකතුවූවක්. කාන්තාවක් මෙවැනි රැකියාවක් කරනවා කිව්වම බොහෝ අය විවිධ විදිහට බලන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. කාන්තාව කියන්නේ ලද බොලඳ චරිතයක් කියලා හිතන සමාජයක්නේ අපිට තිබුණේ. ඒක දැන් ගොඩක් වෙනස් වෙලා. තවත් වෙනස් විය යුතුයි. පිරිමින්ට වගේම කාන්තාවටත් අනතුරුදායක දේ, වගකීම් සහගත දේ නිවැරැදිව කරන්න පුළුවන් කියලා දැන් ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. දැන් කාලේ කාන්තාවන් කරන වැඩ ගොඩ දිහා බැලුවම ඒක නිකන්ම ඔප්පු වෙනවා.

ඔබේ පවුලේ අයත් මේ රැකියාව තෝරා ගන්නවට විරුද්ධ වුණා ද?

තමන්ගේ දුව මේවගේ අනතුරු සහිත රැකියාවක් තෝරාගන්නවට මොන මව්පියෝද කැමැති වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. හැම මවකම පියකුම බලන්නේ තමන්ගේ දරුවගේ ආරක්ෂාව ගැනනේ. දියණියක් මේ වගේ රැකියාවක් තෝරා ගද්දී තවත් හිතන්න වෙනවා. ඒ වගේ අපේ ගෙදර අයත් විරුද්ධ වුණා. තාත්තත් වරායේ වැඩ කළේ. තාත්තා අකමැති වුණත් අම්මගේ උනන්දුවක් තිබුණා. දැන් අම්මා නැති වෙලා අවුරුදු 5 ක් වෙනවා. අද අම්මා හිටියනම් එයා තමයි මං ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ.

පාසල් යන කාලයේ ඉඳන්ම අභියෝ බාර ගන්න කැමැති ද?

මම අධ්‍යාපනය ලැබුවේ සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලයෙන්. මගේ ගම බියගම. මම පාසලේ දක්ෂ ක්‍රීඩිකාවක්. තරග රැසකට සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. සංගීත කණ්ඩායමෙත් සාමාජිකාවක්. ඒවගේම ඡායාරූප ශිල්පිනියක්. ඕනෑම දෙයකට මං ඉදිරිපත් වෙන්න දෙවරක් හිත්නනේ් නැහැ.

මේ දහ දෙනා අතරේ තියෙන්නේ මොනවගේ එකමුතු කමක්ද?

අපි ඇත්තටම එකම පවුලක් වගේ. එකම පවුලේ අක්කලා නංගිලා වගේ් අපි ඉන්නේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවත් කට්ටිය එක්ක එකතුවෙලයි විසඳගන්නේ. වෘත්තියේ ප්‍රශ්න විතරක් නෙවෙයි පවුලේ ප්‍රශ්නත් අපි කතා බහ කරනවා. එක්කෙනෙක්ට ප්‍රශ්නයක් කියන්නේ ඒක 10 දෙනාගෙම ප්‍රශ්නයක් වගේ තමයි.

ඉදිරි බලාපොරොත්තු?

අපි දහදෙනාගෙන් 8 දෙනෙක්ම විවාහකයි. අනිත් කෙනාත් ළඟදි විවාහ වෙනවා. මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං මේ රැකියාව දිගටම කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මං හිතනවා ප්‍රථම කණ්ඩායමට පස්සේ තවත් කණ්ඩායම් ඉදිරියේදී බිහි වෙයි කියලා.

ඡායාරූප – ශාන් රූපස්සර / විදුමිණි දිසාකරුණා
Source – තරුණි පුවත්පත

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button