custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

තාම අවුරුදු 17 යි – ලංකාවේ ළාබාලම පෞද්ගලික ගුවන් නියමුවරිය සත්නාරා

custom_html_banner1
Spread the love

නිල් අහස… මොනතරම් දේවල්වලට අපිම උපමාවලට ගන්නවද… ඒ අහසම අපේ මොනතරම් දේවල්වලට නිහඬවම උදව් කරනවද… ඒ නිසාම වෙන්න ඇති බහතෝරන වයසෙ ඉන්න පුංචි දරුවගේ ඉඳලා කරදඬු උස් මහත් වූ වැඩිහිටියන් දක්වාම මේ අහසට, අහස තරම්ම ආදරේ කරන්නේ…

පුංචි කාලේ ඉඳලා අහසට මේ විදියට ආදරේ කරන සමහර දරුවන්ම අහසේ පියාසර කරන්න.. ඒ අහස ජය ගන්න හීන එකතු කරන්න පටන් ගන්න අවස්ථාවන් තියෙනවා… ඔන්න එහෙම එකතු කරපු හීනවලට පණ දීලා අද වෙනකොට මේ පුංචි රටේ ළාබාලතම ගුවන් නියමු බලපත‍්‍රලාභිනිය වෙන්න ඇයට හැකියාව ලැබිලා… ඇය නුදුරු අනාගතයේදී ශ‍්‍රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය වෙන්නත් බැරිකමක් නැහැ… මේ ඇගේ කතාවයි…

කොහොමද සත්නාරා?

මම හොඳින් ඉන්නවා. මේ දවස්වල මම මගේ කමර්ෂල් පයිලට් ලයිසන් එක (CPL) සඳහා පුහුණුවීම් පටන් ගත්තා. ඒක තමයි මගේ සිහිනයට යන දෙවන පියවර. මම අද වෙනකොට ලංකාවේ ළාබාලම පෞද්ගලික ගුවන් නියමු බලපත‍්‍රය ගත්ත කෙනා.. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.

සත්නාරාට දැන් වයස කීයද?

දැන් මට අවුරුදු 17 ක් වෙනවා.

ඇයි සත්නාරාට ගුවන් නියමුවරියක්, අපි දන්න භාෂාවෙන් කිව්වොත් පයිලට් කෙනෙක් වෙන්න හිතුනේ…

custom_html_banner1

මේ සිහිනය මම දකින්න ගන්නේ මගෙ පොඩි කාලේ ඉඳලයි. එතැනිනුත් පළමු දේ තමයි මගේ අම්මි වැඩට ගියාම මට පොඩි පොඩි ටෝයිස් ගෙනත් දෙනවා. ඒවා ප්ලෙන්ස්. මම ඒවා කඩ කඩ හදනවා. ඒක තමයි ඒ කාලෙ මගේ ලොකුම වැඬේ වෙලා තිබුණේ. එතකොට මට වයස අවුරුදු 6 – 7 ක් විතර ඇති. ඊට පස්සේ මගේ ඉස්කෝලෙන් තමයි ඒ සිහිනය තවත් මට වැඩිදියුණු කළේ.

මොකක්ද ඔයාගෙ ඉස්කෝලේ?

බම්බලපිටිය, හෝලි ෆැමිලි කොන්වන්ට්

ඇත්තටම මොකක්ද ඒ ඉස්කෝලෙ සිද්ධිය…

මගේ රෝල් මොඞ්ල් එක වෙන්නෙ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පළමු ගුවන් නියමුවරිය වන කැප්ටන් අනූෂා මොහොමඞ්. ඇය එක වසරක අපේ ඉස්කෝලේ ක‍්‍රීඩා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා විදිහට ආවා. මම එතකොට ඉගෙන ගත්තේ අටේ පන්තියේ. ඒ වෙලාවේ එයා එක කතාවක් කිව්වා. මට ඒක අමතක කරන්න බැරි විදිහට මතකයේ රැඳුණා. ඇය එදා කිව්වා ” Fly high and never give up ” කියලා. ඒක තමයි මගේ ආත්ම විශ්වාසය වැඩි කළේ. එතැන ඉඳලා තමයි පයිලට් කෙනෙක් වෙනවා කියන එක මගේ ඇඟට ගොඩක් දැනෙන්න ගත්තේ. අහස උඩට යන්න ආසාවක් මට ඇති කළේ. ඒක තමයි අහස උඩට මාව අරගෙන ගියෙත්. එදායින් පස්සේ මට ලොකු අධිෂ්ඨානයක් ඇතිවුණා. වෙලාව කළමනාකරණය කරගන්න මම පුරුදු වුණා. O/L කළා. O/L හොඳට පාස් වුණා. O/L වලින් පස්සේ මම හිතුවා A/L කරනවට වඩා මගේ හීනෙට යන්න ඕන පාර තෝර ගන්න ඕන කියලා.

ඒ ගමනට ගෙදරින් මොන වගේ සහයෝගයක් ද ලැබුණේ…

අම්මිත් කිව්වා A/l නොකර මොකක් හරි ඩිග‍්‍රි එකක් කරලා මම කැමති දේ හදාරන්න කියලා. ඒකට අම්මි මට ඉඩ දුන්නා. කැප්ටන් අනූෂා මොහොමඞ් කියන්නෙ ශ‍්‍රී ලන්කන් එයර්ලයින්වල පළමු ගුවන් නියමුවරිය වූ නිසා මටත් කවදහරි ඕනෙ වුණේ අපේ රටේත් ළාබාලතම ගුවන් නියමුවරිය වෙන්න. මම ඒ අනුව තමයි පෞද්ගලික ගුවන් නියමු බලපත‍්‍රය අඩුම වයසකදී ගන්න පෙළඹුුණේ. මම අවුරුදු 16 දී ප්ලේන් එක තනියම පැද්දා. ඒකට අපි කියන්නේ සෝලෝ යනවා කියලා.පසුගිය මාර්තු මාසේ 04 වෙනිදා තමයි මම මගේ ප‍්‍රයිවට් පයිලට් ලයිසන් සම්පූැ්ණ කළේ. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණෙත්.

දැන් සත්නාරා මොනවද කරන්නේ?

මේ වෙනකොට මම මගේ වාණිජ ගුවන් නියමු බලපත‍්‍රය ලබා ගන්න පුහුණු වෙනවා. (commercial pilot license) ඒක ලබා ගත්තාම ලෝකයේ පිළිගත් ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් ලෙස මට රැකියාව කරන්න පුළුවන් වෙනවා. දැනට මම රත්මලාන සකුරා ඒවියේෂන් පාසලේ ඉගෙන ගන්නවා.

තව මොනවද තියෙන බලාපොරොත්තු?

තවත් මට ඕනේ ශ‍්‍රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමු පුහුණු උපදේශකවරිය වෙන්න. මම එතැනට යන්න බලාගෙන ඉන්නවා. ගුවන් සේවාවක රැකියාවකට යන්න කලින් මම ඒක සම්පූර්ණ කරගන්න ඕනේ.

ගුවන් නියමුවරියක් වෙන්න පුහුණු පාසලකට බැෙ​ඳන්න මොනවද ඕන සුදුසුකම්?

සාමාන්‍ය පෙළ විෂයන් 06 ක් එකවර සමත්ව තිබීම සහ ඉංග‍්‍රීසි සහ ගණිතය විෂයන්වලට ඒ සාමාර්ථ ලබා තිබීම තමයි අවම සුදුසුකම. ඒ වගේම වයස අවුරුදු 16 සම්පූර්ණ කර තිබීමත් අවම සුදුසුකමක් වෙනවා.ඊට අමතරව වාණිජ ගුවන් නියමු බලපත‍්‍රයක් ලබා ගැනීමේදී උපාධියක් සම්පූර්ණ කිරීමත් අනිවාර්ය වෙනවා.. මම මේ වෙනකොට සයිබර් සිකියුරිටි සහ නෙට්වර්කින් උපාධිය හදාරමින් ඉන්නවා.

කවුද ඔයාට මේ ගමනට ශක්තියක් වුණේ..

මම මුලින්ම මගේ දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන් ඉගෙන ගන්න හොඳ ප‍්‍රඥාවක් මට දුන්නට. ඊට පස්සේ මගේ අම්මි තමයි මට මෙච්චර දුරක් එන්න ලොකුම ශක්තිය වුණේ. මම ගන්න හැම තීරණයකටම අම්මි මට උදව් කළා. මට කිසිම දෙයක් එපා කිව්වේ නැහැ. මට හැම දෙයක්ම කරන්න ඉඩදුන්නා. මම කර ගෙන යන දෙයක යම් තැනක් වැරදුනොත් අම්මි මට උදව් කළා, එතැනින් ඉදිරියට යන්න. හැමදේකදීම අම්මි මගේ ළඟින් හිටියා.

ගැහැනු ළමයෙක් විදිහට බයක් ඇති වුණේ නැද්ද අහස ජයගන්න..

නැහැ… එහෙම හිතන්නෙත් නැහැ. අහසට ආදරෙයි නම්.. පියාසර කරන්න කැමැති නම්… ඒ දේ සමඟ හිතින්ම බැෙ​ඳනවා.. මට ඒක කරන්න පුළුවන් කියල හිතෙනවා. අහස ජයගන්න බය කියන දේ ජීවිතෙන් අයින් කරන්න ඕනේ. බයක් තිබුණොත් ජීවිතේට පියාසර කරන්න බැහැ. අවස්ථාවක් ලැබුණොත් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට එකතු වෙන්න කැමැත්තක් මට තියෙනවා. මොකද මගේ අම්මි වැඩ කරන නිසා. එහෙම නැති වුණොත් මාලදිවයිනේ ගුවන් සේවයට එකතුවෙන්න කැමැත්තකුත් මගේ තියෙනවා.

හරින්දී ලියනගේ
නවලිය
ස්තුතිය – ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ පසිඳු සමරවීරට

01

02

03

04

05

06

07

08

09

10

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button