custom_html_banner1
විශේෂාංග

කොරෝනාවෙන් බැට කන ගැබිනි මවුන් උෂ්ණයෙන් බේරා ගමු

custom_html_banner1
Spread the love

උෂ්ණ කාලයේදී ගැබිනි මවක් සැලකිලිමත් විය යුතු කරුණු 
මේ දිනවල දහවලට මෙන්ම රාත්‍රි කාලයේදී ද අපට දැනෙන උෂ්ණත්වයේ වෙනසක් නැත. මෙම උෂ්ණත්වය ගර්භණී කාන්තාවකට කෙසේ දැනෙන්නේද යන්න විමසා බැලීමේදී වෛද්‍ය මතය වන්නේ ගර්භණී කාලයේදි කාන්තාවකගේ ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් සාමාන්‍ය කාන්තාවකට වඩා ගර්භණී කාන්තාවක් උෂ්ණත්වයට වැඩිපුර සංවේදීබවක් පෙන්වන බවය.

මෙයට හේතුව වන්නේ ඇය තමන්ගේ ගර්භය රැක ගැනීම , ශරීර වර්ධනය , ශරීරයේ වෙනස්කම් ඇති කර ගැනීමට හා ශරීර කෘත්‍යන් කර ගැනීමට වෙනදාට වඩා ක්‍රියාශීලීව වැඩ කිරීමට පටන් ගැනීමයි.

මෙතැනදී විශේෂිත හෝමෝන නිපදවීම ආරම්භ කරන අතර එවන් අවස්ථාවක වැඩිපුර උෂ්ණත්වයකට ඇයට මුහුණදීමට සිදුවුවහොත් එය තදබල ලෙස බලපෑම් ඇති කිරීමට සමත්වේ. සාමාන්‍ය ඇවතුම් පැවතුම් වෙනස් කරලා ඒ උෂ්ණත්වයට ඔරොත්තුදිය හැකි ලෙසට ඇය අනුගත වීම මෙවන් කාලයේදී අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.

උෂ්ණ අධික කාලයේදී ගර්භණී මවකට දැනෙන අපහසුතා 

හිස කරකැවීම, වැඩිපුර දහඩිය දැමීම, හුස්මගැනීමේ වේගය වැඩිවීම, නාඩි වැටීම වේගවත් වීම, ශරීරයට පණනැති ගතිය, කෑම අරුචිය.

මෙවන් උෂ්ණ අධික කාලයකදී ඇයට දැනෙන මෙවැනි ශාරිරික අපහසුතාවන්ගෙන් වැළකී සිටීමට නම් ඇය විශේෂිත වූ ඇවතුම් පැවතුම් හා ආහාර රටාවක් අනුගමනය කළ යුතු බව ආයුර්වේදයේ සඳහන් වන්නේය.

සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් නිරෝගීව සිටීමට නම් සෘතු චර්යා පිළිපැදිය යුතු බව ආයුර්වේදයේ පැහැදිලිව සඳහන් කර ඇත්තේය. මේ සංසිද්දිය ගර්භණී කාන්තාවටත් ඒ ලෙසින්ම බලපානු ඇත.

custom_html_banner1

සැලකිළිමත්විය යුතු කරුණු 

ඇදුම් පැළඳුම් – ආයුර්වේදයේ සඳහන් වන්නේ තද රතු වර්ණයන්ගෙන් යුතු මෙන්ම තද පැහැති වර්ණ ඇදුම් ඇඳීම නොකළ යුතු අතර සුදු වර්ණයෙන් හෝ ළා පැහැති වර්ණයෙන් යූතු සැහැල්ලු ඇදුම් ඇඳීම. එමෙන්ම ස්වාභාවික කෙඳිවලින් සැකසූ ඇඳුම් තෝරා ගැනීම (කපු ඇදුම්)

එදිනෙදා වැඩකටයුතු කිරීම– ශරීරයේ වෙහෙසෙන කටයුතු උදේ වරුවේ සහ සවස් වරුවේ කිරීම. තදින් හිරුරැස් පවතින දහවල් කාලයේදී වෙහෙසට පත්වෙන දහඩිය දමන වැඩ කටයුතුවලින් මදක් ඈත්ව විවේකී ස්භාවයෙන් පසුවීම.

දහවල් නින්ද – ආයුර්වේදය තුළ පුද්ගලයන්ට දහවල් නින්ද සුදුසු නොවන බව සඳහන් වන්නේය. එහෙත් මෙවන් උණුසුම් කාල සීමාව තුළ ගර්භණී මවකට සුළු කාලයක් සඳහා දහවල් නින්ද නැතහොත් විවේකය සුදුසු බව නිර්දේශ කර තිබේ. ඇයට නිදා ගැනීමට නොහැකි නම් කැමති පොතක් කියවීම, සංගීතයකට සවන් දීම, හෝ ඇය කැමති විනෝදාංශයක යෙදීම කළ හැකිය. මෙහිදී අනවශ්‍ය උණුසුමකට ශරීරය නිරාවරණය වීමෙන් ඇතිවන අපහසුතාවන්ගෙන් වැළකී සිටීමට හැකිවන්නේය.

 

ස්නානය – ආයුර්වේදයට අනුව ගර්භණී කාන්තාවක් දිනපතා ඇල්දියෙන් ස්නානය කළ යුතුය. ගර්භණී කාන්තාවක් ස්නානය කරන ඇල්දියට වෙනිවැල්ගැට, බෙලිකොළ තැම්බූ වතුර හා රෝසමල් පෙති මිශ්‍රකර ස්නානය කිරීම සුදුසුය. දහඩිය දැමීම හේතුවෙන් හා හෝමෝනවල වෙනස්කම් හේතුවෙන් සම මත දහඩිය බිබිලි, උෂ්ණ බිබිලි ඇතිවීම ගර්භණී කාන්තාවන් තුළ දක්නට ලැබෙන බැවින් මෙම ඖෂධ මිශ්‍ර ඇල් ජලය ස්නානය ඉතාමත් යහපත්ය.

ආහාර පාන – කාන්තාවක් ගැබිනියක් වූ පසුව ඇයගේ ගර්භය ආරක්ෂා කර ගැනීම සීත ආහාර සුදුසුබව ආයුර්වේදයේ සඳහන් වන්නේය. මේ ශ්‍රීෂ්ම කාලයේදී සීත ආහාර වඩාත් වැදගත්ය. මෙහිදී සාරණ , පිපිඤ්ඤා, කැකිරි, පතෝල වැනි එළවළු ද පලතුරු ලෙස කොමඩු, උක්ගස්, සීනි කැකිරි,මිදි හඳුන්වා දිය හැකිය. තවද ශීත ආහාරයක් වුවද ඇයගේ ආහාරය හැම විටම සමබල විය යුතුය. මෙහිදී බිත්තර, මාළු, කිරි වැනි දේ ආහාරයට එකතු විය යුතුය.

එසේම උෂ්ණ අධික ආහාරයන් වන බලමාළු, ඉස්සෝ , කකුළුවෝ, අච්චාරු, විනාකිරි , බිලිං වැනි ආහාර නොගැනීමට වගබලාගත යුතුය.

ශරීරය සිසිල් කරන පානයන් ලෙස හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කිරීම ඉතාමත් වැදගත්ය. ස්භාවික පානයන් වන ඖෂධීයපානයන් ගර්භණී මවකට ඉතාමත් යෝග්‍ය බව ආයුර්වේදයේ සඳහන් වන්නේය. බෙලි මල්, රනවරා, පොල්පලා, ඉරමුසු වැනි ඖෂධ තම්බා ජලය පානය කළ හැකිය. එසේම මෙවැනි ඖෂධීය කොළ වර්ග කැඳ වශයෙන් පිළියෙලකර පානය කිරීමට ද හැකිය.

 

තවද ස්වාභාවික පලතුරු යුෂ එනම් කොමඩු, දෙහි, දොඩම්, අඹ, මෙන්ම තැඹිලි, බාර්ලි, සව්, සුප්. එළකිරි , මුදවාපු කිරි, මෝරු, වැනි දේ පානය කළ හැකි වන අතර

 

මෙම පානයන් සැකසීමේදී ලුණු හා සීනි භාවිතය ඉතාමත් අවම කළ යුතුය. ශරීරය විජලනය නොවී ආරක්ෂා කර ගත යුතු කාලයක අවදානම් සහගත ලෙස ආහාර පාන සකසා නොගත යුතු බව ආයුර්වේදයේ සඳහන් වන්නේය.

ශ්‍රීෂ්ම සෘතුවේ ශරීරය සිසිල් කර ගැනීමට උපදෙස්
රාත්‍රි කාලයේදී සඳඑළියට නිරාවරණය වීම- නිදහස් එළිමහනේ සඳඑළිය විඳීම මනස සැහැල්ලු කරන්නාක් මෙන්ම ශරීරය සිසිල් කිරීමක්ද සිදුවන්නේය.

 

විනෝදාංශයක් සඳහා ගමන් බිමන්වල යෙදෙන්නේ නම් ගංගාවල් ආශ්‍රිතව , ජලාශ , දියඇළි, වතුරමල් පවතින උද්‍යානවල විවේකී සුවයෙන් සිටීම මෙවැනි කාලයේදී ඉතාමත් වැදගත් වන්නේය. මෙවැනි ස්ථානයන් ශරීරය සිසිල් කරනවා මෙන්ම මනස සුවපත් කිරීමද වැදගත් වන්නේය.
ආයුර්වේදයේ සඳහන් කර ඇත්තේ වෙනිවැල්ගැට , සුදුහඳුන් වැනි ඖෂධයන් චූර්ණයක් ලෙස සකස් කර ශරීරයේ ගැල්වීමෙන් ශරීරයට සිසිලසක් ලබා ගත හැකි බවය.

කාන්තා රෝග පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

කෞමදී කරුණාගොඩ

දේශීය වෛද්‍ය විද්‍යායතනය

කොළඹ විශ්වවිද්‍යාලය

සටහන – ශ්‍රියානි විජේසිංහ

Courtesy – Aruna 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button